Ads 468x60px

.

වේයන්ගොඩ කාමාතුර ගුරුවරුන් රකින්නේ දේශපාලනඥයින් - දෙමාපියන්ගෙන් චෝදනා

උසස් පෙළ හදාරන පාසල් සිසුවියන් රවටා ඔවුන්ට ලිංගික අතවර කළ බව කියන වේයන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක ගුරුවරයොගේ සිද්ධිය හෙළිවීමත් සමග ප‍්‍රදේශයේ දොමපියන් අතර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබෙනවා. මේ සම්බන්ධව සොයා බැලීමේදී දෙමාපියන් කියා සිටියේ තම දරුවන් බේරා ගැනීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් විය යුතු බවයි. මෙම පාසලට අරක්ගෙන සිටින කාමාතුරයන් වහාම ඉවත් කරදීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් විය යුතු බවයි ඔවුන් වැඩිදුරත් පැවසුවේ.
ඒ තරමටම ප‍්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ සහාය මත අදාළ දූෂිතයින් රැඳී සිටින බව දෙමාපියෝ පවසනවා.මෙම තත්ත්වය මත උසස් පෙළ සිසුවියන්ගේ දෙමාපියන් උදෑසන පාසලට තම ළමුන් රැගෙන ඒමටත් පාසල් නිම වන විට ඔවුන් රැගෙන යාමටත් පාසල වෙත එන අයුරු දක්නට හැකි විය.කවුරුත් මේවාට කතා කරන්නේ නැහැ. අපි කතා කළොත් අපි විතරයි. එහෙම වුණත් දරුවාට පාසලට යන්නත් බැරි වෙනවා. අපි  ඒ නිසා දරුවා පාසලට යනකම් බලා ඉන්නවා. 

ළමයා ගේට්ටුව ඇතුළෙන් පන්ති කාමරය තුළට ගියාම තමයි අපි ගෙදර එන්නේ. ඒ තරමටම මෙම කාමාතුර ගුරුවරයාගෙන් අපිට ළමයින් රැක ගන්න වෙලා. අඩුම තරමේ ඒ සර්ගේ පන්තිය පවත්වන වේලාවට අපි ළමයකු පන්තිය ළඟින්වත් යවන්නේ නැහැ යැයි මෙම සිද්ධිය සම්බන්ධව උසස් පෙළ සිසුවියකගේ මවක් පැවසුවාය. මෙම ගුරුවරයාගේ බලපෑම්වලට ලක්වූ තවත් සිසුවියකගේ මවක් පැවසුවේ මෙම පාසලේ විදුහල්පතිවරයා පටන් මෙවැනි  චෝදනා එල්ල වූවන් බවයි. 

මීට වසර පහකට කලින් මේ පාසලේ සර් කෙනෙක් පිරිමි ළමයකුට ලිංගික අඩන්තේට්ටම් කරලා අහුවුණා. ඒක ගුරුවරියක් දැකලා පැමිණිලි කළා. සිද්ධිය ඔප්පු වුණත් සාධාරණයක් ඉටු වුණේ නැහැ. අන්තිමට වුණේ ඇසින් දුටු ගුරුවරිය මාරු කර යැවීම පමණයි. දරුවාට ලිංගික අතවර කරපු ගුරුවරයා අද මේ පාසලේම නියෝජ්‍ය විදුහල්පති ධුරය දක්වා උසස් වෙලා තියෙනවා.

ඒ වගේම විදුහල්පතිවරයාටත් නයිවල ප‍්‍රදේශයේ පෙර පාසල් දැරිවියක් දූෂණය කිරිමේ චෝදනාවට රිමාන්ඞ් භාරයටත් පත් වුණා. තවත් නඩු විභාග වෙනවා. එවැනි අයව තමයි පාසලේ ඉහළ තනතුරුවලට දාලා තියෙන්නේ. දේශපාලන බලපුළුවන්කාරකම් නිසා මේ අය තනතුරුවල රැඳී සිටිනවා. මේ නිසා කවුරුත් මේවාට විරුද්ධව කතා කරන්නේ නැහැ. මොකද අපි කතා කළොත් අපේ දරුවන්ටත් පාසල් නැති වෙනවා. අපි තනි වෙනවා. ඒ නිසා කොහොම හරි දරුවව රැක ගන්න අපි උත්සාහ කරනවා යැයි පාසල් සිසුවියකගේ මවක් හෙලි කළාය.
මේ වසරේ මෙම පාසලේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දැරියන් අතරින් ඇතැමුන් මෙම ගුරුවරයා අතින් අතවරයට ලක්ව ඇත්තේ උපකාරක පන්ති සඳහා සහභාගි වෙන ලෙස බල කර ගෙන්වා ගැනීමෙන් පසුවය. මෙම දේශපාලන විද්‍යා ගුරුවරයා දහවැනි වසරින් පහළ සිසුන්ට පුරවැසි අධ්‍යාපනයද උගන්වා තිබෙනවා. මෙම ගුරුවරයාගේ උපකාරක පන්තිය පිහිටා ඇත්තේ නිට්ටඹුවේ ඉන්ධන පිරවුම් හලක් ආසන්නයේ.
මෙම උපකාරක පන්ති පැවැති ගොඩනැගිල්ලේ මුලින්ම පන්ති පවත්වා ඇත්තේ සවස 2.00 සිට 4.00 දක්වාය. මෙම ගොඩනැගිල්ලේම කොටසක පැවැති ශිෂ්‍යත්ව පන්තියේ ළමුන්ගේ කෑගැසඳීම වැඩි බව කියමින් උසස් පෙළ සිසුවියන්ට හවස 4.00 සිට 6.00 දක්වා දේශපාලන විද්‍යා පන්තියක් පවත්වා ඇත.
අපේ ළමයයි තව ළමයින් කිහිප දෙනෙකුයි දේශපාලන විද්‍යාව විෂය තෝරා ගත්තේ අවුරුද්දක් පහුවෙලා. ඉතින් ළමයින් මේ විෂය අල්ල ග න්න  ඕන නිසා ගුරුවරයා කියන හැම දෙයක්ම කරනවා. ඒ අය හවස් වෙනකම් පන්තිවලට ගියේත් ඒ නිසයි. අන්තිමට දරුවා වරදට පෙළඹවාගෙන අතවරයට ලක්කරන්න කටයුතු කරලා තිබුණා. කවුරුත් මේ ගැන පැමිණිලි කරන්න කැමැති වුණේ නැහැ. මොකද පොලීසියට ගියාම පැමිණිල්ලක් ලියද්දි ළමයාගේ චරිතය අමු අමුවේ නැසෙනවා. ඊට වඩා හොඳයි දරුවාව පරිස්සම් කරගෙන වෙච්ච දේ නොකියා ගෙදරට වෙලා ඉන්න එක. අද හැමෝම ඉන්නේ ඒ මතයේම තමයි. මොකද දේශපාලන බලවතුන්ගේ හිතවතුන් නිසා ගුරුවරයාට වුණත් නීතියෙන් ගැලවිලා යන්න පුළුවන් යැයි අතවරයට ලක්වූ දැරියකගේ පියෙක් අප හා පැවසුවේය.
මේ ගුරුවරයා ගෙවල්වලට කතා කරලා අපේ දුවලා එක්ක කතා කර කර ඉන්නවා. ගම්පහට එන්න කියලා කතා කරනවා. එක එක දේවල් කියන්න ගත්තට පස්සේ මට ගුරුවරයා ගැන සැකයක් ඇති වුණා. ඊට පස්සේ හොයලා බලද්දි මෙම ගුරුවරයාගේ ඉතිහාසය හොඳ එකක් නොවන බව හෙළි වුණා. ඊට පස්සේ මම කරදරයක් වෙන්න කලින් මගේ දුවව දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න එක නවත්වලා වෙනත් විෂයකට මාරු කළා. ඉතිරි මාස ටික විභාගය තියෙනකම් දුවට ගුරුවරයෙක් ගෙදරට ගෙනල්ලා උගන්වන්න ගත්තා. 
දෙශපාලන විද්‍යාව කළොත් ඇගයීම්වලට පාසලේදී මේ ගුරුවරයා ළඟට යන්න වෙන නිසා අපි විෂය ඉගෙනීම නැවැත්තුවා. මොකද එතැනදී හරි ගුරුවරයා මුණගැහෙන්න තියෙන ඉඩ නවත්වන්න අපිට  ඕන වුණා යැයි ගුරුවරයාගේ දැලට හසුවීමට ගොස් බේරුණු දැරියකගේ මවක් පැවසුවාය.
මෙම ගුරුවරයා මීට වසර තුනකට පෙර එළුවාපිටිය ප‍්‍රදේශයේ පාසලක දැරියකට අතවර කිරීමේ චෝදනාවකට ලක්ව ගම්වාසීන් විසින් ප‍්‍රදේශයෙන් පළවා හැරි අයෙකි. මොහු තමාට පාතාල සබඳකම් ඇති බව කියමින් ළමුන්ව බිය වද්දවා ඇති බවද දැන ගන්නට ඇත. අතරමගදි ළමුන් හමුවුවහොත් තමන්ට සර් කියා අමතනු වෙනුවට අයියා කියා අමතන්නැයි ද මෙම ගුරුවරයා දැනුම්දී තිබී ඇත.
මොහු පාසල් සිසුවියන් විනෝද චාරිකා සඳහා ගෙන ගොස් විවිධ ලිංගික හිංසනයන්ට ලක්කර ඇතත් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බව දෙමාපියෝ චෝදනා කරති. හන්තාන ප‍්‍රදේශයේ චාරිකාවකට රැගෙන ගිය මෙම සිසු පිරිස භාරව එක් ගුරුවරියක්වත් රැගෙන නොයාමද ගැටලූවකි.
මෙම පාසල් උසස් පෙළ දරුවන් අතර මේ තත්ත්වය තුළ විනය පිරිහී ගොස් ඇති බවත් ඇතැම් සිසු සිසුවියන් පාසල් කාලය තුළ තාප්ප අයිනේ අශෝබන ලෙස හැසිරෙන අවස්ථා එමටව දැකගත හැකි බව දෙමාපියෝ පවසති. වරෙක පොලිස් නිලධාරියකු තාප්පයෙන් එබී බලා අශෝභන ලෙස හැසිරුණු ළමුන්ව පලවා හැරි අවස්ථාවන්ද දෙමාපියන්ට දැකගත හැකි විය.
මේ සම්බන්ධව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් කුමාර මහතාගෙන් කළ විමසුමකදී කියා සිටියේ මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් පොලිසීය වෙත ලැබීනොමැති බවයි.  මේ සම්බන්ධව දෙමාපියන් පවසන්නේ පොලීසිවලට ගියාම අපේ දරුවන්ගේ වැරදි කියනවා. දරුවන්ට හිතාගන්න බැරි දේවල් අහනවා. ඒ නිසා දරුවන්ගේ අනාගතය ගැන හිතලා කවුරුත් පොලීසිවලට යන්න උත්සාහ කරන්නේ නැහැ. 
අපි ඉල්ලන්නේ ප‍්‍රසිද්ධියේ පොලිසිවලට ගිහිල්ලා ළමයින්ගේ චරිත දූෂණය නොකර රහස් පොලිසිය හෝ විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා මෙම කාමාතුරයන්ගෙන් දරුවන් බේරා දෙන ලෙස යැයි දෙමාපියෝ පවසති. මාධ්‍ය මගින් හෝ මෙවැනි වැරදි පෙන්වා දෙනවා නම් එය දරුවන් ආරක්ෂා කර ගැනීමට කරන මහඟු මෙහෙවරක් බව දෙමාපියෝ පෙන්වා දෙති. මෙම සිද්ධියට මාධ්‍ය මගින් හෙළි වීමත් සමග සිද්ධියට මුහුණ පෑ සිසුවියන්ගෙන් තොරතුරු පිටතට යෑම වැළැක්වීමට අදාළ ගුරුවරයා ඊයේ දිනය පුරා උත්සාහයක නිරත වූ බව ද වාර්තා වනවා.
 
Related Posts with Thumbnails