Ads 468x60px

.

නව වසරේ අපේ අලුත් වැඩසටහන්


ක්‍රිස්තු චරිතයට ජීවන්
අපේ රටේ ප්‍රවීණ කලාකරුවන් පිරිසක් එක්වෙලා පළමු වතාවට එළැඹෙන පාස්කුව වෙනුවෙන් පාස්කු නාට්‍යයක් නිර්මාණය කරන්නට සූදානම් වෙන බව පසුගිය දා අපිට දැනගන්නට ලැබුණා.‘තඹකන්දේ පාස්කුව 2012’ නමින් නම් කොට ඇති මෙම නාට්‍යයේ ආශිර්වාද මුහුරත් මෙහෙය පසුගිය දිනෙක පැවැත්වුණා. මේ නාට්‍යය පාස්කුව ලබන එළැඹෙන අප්‍රේල් මාසෙදී එළිදක්වන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව.


මෙයට රංගනයෙන් දායක වෙන්නේ ප්‍රවීණ නළු නිළි කැළක්. ජීවන් කුමාරතුංග ජේසුතුමන් ගේ චරිතය රඟපාමින් ද සනත් ගුණතිලක පිලාත් රජු ලෙස ද නීටා ප්‍රනාන්දු මරියතුමිය ලෙස ප්‍රධාන චරිත රඟමින් ද මෙයට එක් වෙනවා රොබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, රෝයි ද සිල්වා, නිරෝෂන් විජේසිංහ, රිචඩ් වීරක්කොඩි, ඥානාංග ගුණවර්ධන, ජයලාල් රෝහණ, කුමාර තිරිමාදුර, රිචඩ් මානමුදලි, බුද්ධික රඹුක්වැල්ල, සුරේෂ් ගමගේ, අර්ඩ්ලි වෙදමුණි, මොරින් චාරුණි, කාංචනා මෙන්ඩිස්, දමිතා අබේරත්න, සුමනා අමරසිංහ, රෙබෙකා නිර්මලී, හයසින්ත් විජේරත්න ඇතුළු ප්‍රවීන හා නවක නළු නිළි පිරිසක්ද.
පාස්කුව වෙනුවෙන් සැකසුණු මේ නාට්‍යයේ චරිත නිරූපණය කරනවා.



තරුෂි ‘ගුරුවරියක්’
යොවුන් පරපුර නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පිනියක වන තරුෂි පෙරේරාට ගුරුපත්වීමක් ලැබිලා කියලා අපිට ආරංචි වුණා. හිටි හැටියේම ලැබුණු මේ ගුරු පත්වීම මොකක්ද? ඇය උගන්වන්නේ මොනවාද? මොන පාසලේද? කියලා අපිට දැනගන්න හිතුණා. මේ හින්දම අපි ඇයට කතා කළා.
”ඇත්තටම මට ගුරු පත්වීමක් ලැබුණා. ඒ ගයා රම්‍ය අල්විස් ගේ ‘රන්සිරිමල්’ ටෙලිනාට්‍යයේ. එහි පාසල් ගුරුවරියකගේ චරිතය තමයි මම රඟදක්වන්නේ. නැතිව සැබෑ දිවියේ මම රංගන ශිල්පිනියක් මිසක් ගුරුවරියක් නෙවෙයි. මම ගුරුවරියන් ගේ චරිත කොතෙකුත් රඟපාල තිබෙනවා. නමුත් මේ ගුරු චරිතය ඊට හාත්පසින්ම වෙනස්. මෙය සුවිශේෂී චරිතයක්. ඉතාම ගැඹුරු ලෙස චරිතය තුළට කාවැදී එහි රංගන කටයුතු සංයමයකින් ඉවසීමකින් සැබෑ ලෙස ඉදිරිපත් කළ යුතුයි. මෙය මට අලුත්ම අත්දැකීමක් වගේම මගේ ප්‍රේක්ෂකයන්ටත් අලුත්ම අත්දැකීමක් රසයක් ගෙන දෙන චරිතයක් වේවි කියා මම හිතනවා.





චන්දික සතුටින්ලු
චන්දික නානායක්කාර මේ දවස්වල ඉන්නේ බොහොම සතුටින්. ඒ කරුණු කිහිපයක්ම නිසයි “මේ දවස්වල ඔහු රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය, චිත්‍රපට බොහොමයක් ප්‍රේක්ෂක ජනතාවට දැකගන්නට පුළුවන්. ඒ අතර ‘සෙල්වම්’ චිත්‍රපටය විශේෂයි.’සෙල්වම්’ හි මම රඟපෑවේ හමුදා නිලධාරියාගේ ප්‍රධාන චරිතයයි. ‘හමුදා නිල ඇඳුම ඇතුළේ ඉන්නේ සුන්දර මිනිහෙක්’ කියන පණිවුඩය මේ චරිතය හරහා මට ලොවට දෙන්න පුළුවන් වුණා. ඒ ගැන ඇත්තටම මට සතුටුයි.

ඒ වගේම මම සන්නාම තානාපති විදිහට කටයුතු කරන ‘සළුසල’ ආයතනයේ අලෙවිය, ප්‍රවර්ධනය වැඩි දියුණු වෙලා. එයත් මගේ සතුටට කාරණයක්. මෙතෙක් කාලයක් පාඩු ලබන ආයතනයක් විදිහට කතාබහට ලක්වුණු ‘සළුසල’ අද වෙනකොට දියුණු වෙමින් ලාභ ලැබීමත් එහි සේවකයින්ට කාලයකට පස්සේ බෝනස් මුදලක් ලබාදීමට මටත් දායකවීමට ලැබීම ගැන හරිම සතුටුයි. ඒත් එක්කම මේ දවස්වල ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රවර්ධනයට අතදීමක් ලෙස මමත් තවත් සහෝදර නළු නිළියන් කිහිප දෙනෙක් සමඟ ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ගිහින් ඒ සේවක පිරිස් දැනුම්වත් කරනවා. එයට දායක වන්නේත් බොහොම සතුටින්.






සුන්දර රූමතියකට ඇරයුමක්
රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් විදිහට කලා ලොවේ නමක් දිනූ චන්න පෙරේරා ගැන පසුගිය කාලයේ අලුත් තොරතුරක් දැනගන්න ලැබුණෙ නැති තරම්. චන්න වසර තුනකට පස්සේ ටෙලිනාට්‍යයක රඟපාන බව අපිට දැනගන්න ලැබුණා. මේ ගැන අපි චන්නගෙන්ම විමසුවා.

”මම වසර කිහිපයකට පසුව ටෙලිනාට්‍යයකට දායක වුණා. ඒ ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයටයි. මම හිතන්නේ එය මේ වසරේ සිට විකාශ වීමට නියමිතයි. ඇත්තටම පසුගිය වසර තුන පුරාම මම හිටියේ කාර්ය බහුලව. ඒ මගේ දෙවන චිත්‍රපටය වුණු ‘කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටයේ වැඩකටයුතු වලට මැදිවෙලා. දැන් එය ප්‍රදර්ශනය කරන්නට සූදානම්.

ඒ වගේම මගේ රසික ජනතාවට අලුත්ම ආරංචියක් වගේම ආරාධනාවකුත් කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ තමයි, මම මගේ තෙවන චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වසරේ මුල පටන් ගන්නට සැලසුම් කොට තියෙනවා. මෙතෙක් මගේ චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළේ ඉන්දියානු නිළියන්. නමුත් මේ චිත්‍රපටය සඳහා මම තීරණය කළා ප්‍රධාන චරිතයට ලංකාවේ සුන්දර තරුණියක් තෝරාගන්නට. රංගනයට දක්ෂ, යොවුන් සුන්දර තරුණියන්ට මේ සඳහා අවස්ථාව ලබාදීමට මම සූදානම්.

ඒ වගේම අවුරුදු එක හමාරකට පමණ පසුව මම රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණයකුත් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ උදයකාන්ත වර්ණසූරිය ගේ ‘සෙනසුරු මාරුව‘ චිත්‍රපටයයි. මේ නිසාම මේ දවස්වල කලා නිර්මාණ හරහා මම කාර්යබහුලයි.
 
Related Posts with Thumbnails