Ads 468x60px

.

මගෙ සිහිනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න - දිලිනි

අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලැබීමෙන් අනතුරුව කලා ක්ෂේත්‍රයට පිවිසුණු දිලිනි ලක්මාලි වසර 3 ක් වැනි සුළු කාලයකදී තම රංගන කුසලතාව නිර්මාණ කීපයක් ම මනාව පෙන්වා ඇති නිළියකි.රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන මෙම සුරූපී නිළිය උඩරට නර්තනයට සහ ගායනයට ද හපන්කම් දක්වන්නියකි.




කොහොමද ඔබේ මේ දවස් ගෙවෙන්නේ?
මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘උත්පලා’ ටෙලිනාට්‍යයෙන් සිරස රූපවාහිනියෙන් විකාශය වන ‘පිනි අග පුළිඟු’ ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම්වලට විටින් විට සහභාගි වෙනවා.


ඔබ කලාවට පිවිසුණේ අහඹු ලෙස ද?
2008 වසරේ ස්වාධීන රූපවාහිනි සේවය පවත්වපු සිංහල අවුරුදු උලෙළේ අවුරුදු කුමරිය වුණේ මම. ඒ නිසාම මම ඉදිරිපත් වුණේ අහම්බෙන්... දවසක් මමයි අම්මයි මහරගම ටවුන් එකට ගිය වෙලාවක මහරගම තරුණ සේවා සභාවේ පැවැත්වුණු අවුරුදු කුමරිය තරගයක මූලික සම්මුඛ පරීක්ෂණයට අම්මගෙ ඉල්ලීමට මම ඒකට ඉදිරිපත් වුණා. අන්තිමේ අවුරුදු කුමරිය වුණේ මම. මම මුලින් ම රංගනයෙන් දායක වුණේ ජානක සිරිවර්ධනගේ ‘පිනි බිංදු’ ටෙලිනාට්‍යයට. ඉන්පසුව මම මේ වනවිට ටෙලිනාට්‍ය 20 කට පමණ එක් වෙලා තියෙනව. ටෙලිනාට්‍ය 6 ක් පමණ එන්න තියෙනව.


ඔබේ පාසල් ජීවිතය කලාවත් සමඟ ගෙවුණ ද?
කලපළුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයට සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විදුහලට තමයි මම පාසල් ගියේ. පාසලේ දී මම වැඩියෙන් ම ආශා කළේ නැටුම්වලට. පාසල් තූර්ය වාදක කණ්ඩායමෙත් සිටියා. වේදිකා නාට්‍ය කීපයකටත් මම සහභාගි වුණා. පාසලේදී මම බොහෝ දුරට කලාවත් එක්ක තමයි ගත කළේ.


රංගනයට පිවිසීම ඔබේ සිහිනයක් සැබෑවීමක් ද?
නැහැ කොහෙත් ම නෑ. මගේ හීනය වුණේ ගුවන් සේවිකාවක් වීම. හැබැයි මම දැනගෙන හිටියා මා තුළ යම් කලා හැකියාවක් තියෙන බව. ඒත් මේ වගේ ගමනක් එන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ.


ඔබ මෙතෙක් කළ රංගනයන්ගෙන් වඩාත් ම කැමැති...?
ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු ‘නිල් නෙතු’ ටෙලිනාට්‍යයේ මාතවී කියන චරිතයට මම ගොඩක් කැමැතියි. ඒ වගේ ම ප්‍රේක්ෂකයින් මාව හඳුනාගත්තේ ‘නිල් නෙතු’ ටෙලිනාට්‍යයේ රංගනයෙන්. ඒ වගේ ම ‘කප් සුවහස් කල්’ ‘රන්තලිය වලව්ව‘ වැනි ටෙලිනාට්‍යවලටත් මට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.


ඔබ මෙතෙක් රඟපා ඇති චරිත බොහොමයක් එක සමානයි කිව්වොත්...?
නැහැ. ඒක නිවැරැදි නෑ. මම විවිධ චරිත රඟපාලා තියෙනව. මේ දිනවල විකාශය වන ‘උත්පලා’ ටෙලිනාට්‍යයේ මගේ රංගනය වෙනස්. හැබැයි මම රඟපෑ චරිත බොහොමයක් ගැමි චරිත බව මම පිළිගන්නව.


ඔබ රඟපෑ පළමු වේදිකා නාට්‍යයෙන් ම ඔබ සම්මානයට පාත්‍ර වුණා?
ඔව්. 2008 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි වුණේ මට. ඒ සුනිල් චන්ද්‍රසිරිගේ ‘සිහිනවලට පාට දෙන්න’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන්. වේදිකාවේ රංගනයට මට ලොකු අභියෝගයක් වුණා. ඒත් මම හිතනව මම ඒක සාර්ථකව ජයගත්ත කියලා.


සිනමාවට ඔබේ දායකත්වය...?
සනත් අබේසේකරගේ ‘මහින්දාගමනය’ චිත්‍රපටයට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේ ම වෛද්‍ය කපිල සූරියආරච්චිගේ ‘ප්‍රතිරූ’ චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වුණා. ‘ප්‍රතිරූ’ තවම තිරගත වෙලා නෑ. ඒක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණු ඉතා ලස්සන චිත්‍රපටයක්.


වේදිකාවේ දිගටම රැඳෙන්න බලාපොරොත්තුවක් නැති ද?
ඇත්තෙන් ම රංගනයට ආධුනික මා වැනි අයට තම රංගන හැකියාව දියුණු කරගන්න තියෙන හොඳම තැන තමයි වේදිකාව. පසුගිය දවස්වල වේදිකා නාට්‍ය කීපයකටම ආරාධනාත් ලැබුණා. ඒත් ටෙලිනාට්‍යවලට යොමුවෙලා ඉන්න නිසා මම බාර ගත්තේ නෑ. නමුත් මම ඉදිරියේදී ඉඩ ලැබෙන වෙලාවට වේදිකා නාට්‍යවලට යනවා.


රංගනයට පිවිසීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?
ඇත්තෙන් ම ගොඩක් සතුටුයි. මම දිගටම කලාවේ රැඳෙන්නත් බලාපොරොත්තු වෙනවා.


ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ඔබ අතර ඇති සම්බන්ධය?
මම ප්‍රවීණයන්ට අතිශය ගරු කරන කෙනෙක්. ඔවුනුත් මට හරිම ආදරෙයි. ප්‍රවීණ ශිල්පීන්ගෙන් ශිල්පිනියන්ගෙන් මට උපරිම සහායක් ලැබෙනවා.


ඔබේ පවුලේ තොරතුරු?
අම්මයි තාත්තයි මල්ලියි මමයි තමයි අපේ පවුල.


ඔබ පෙම්වතියක් ද?
ඔව්.


 
 
Related Posts with Thumbnails