Ads 468x60px

.

දින නියමයක්‌ නැතිව ජ"පුර සරසවිය වැසේ

සිසු විරෝධතා උත්සන්න වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ තුන දින නියමයක්‌ නොමැතිව ඊයේ (08 වැනිදා) සිට වසා දමන ලදී. කළමනා කරණ අධ්‍යයන, ව්‍යවහාරික විද්‍යා සහ ශාස්‌ත්‍ර යන පීඨ මෙලෙස වසා දමා නේවාසිකාගාරවලින් ද ඉවත් වන ලෙස සිසුන්ට 

දැනුම් දුන්න ද උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතා ඉවත් කරන්නැයි බල කරමින් අඛණ්‌ඩ උපවාසයේ යෙදී සිටින සිසුහු ඉවත් නොවූහ.

විශ්වවිද්‍යාලය අවට පොලිසිය මෙන්ම යුද හමුදා සාමාජිකයන් ද යොදවා සිටිනු දක්‌නට ලැබිණි. සිසුන්ගේ විරෝධතා ක්‍රියාමාර්ග නිසා විශ්වවිද්‍යාලය වසා දැමීමේ තීරණය ගෙන ඇත්තේ උපකුලපතිවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුවය. පසුගිය 05 වැනිදා අලුයම විරු සිසු ස්‌මාරකයට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සිද්ධියෙන් පසුව සිසුන්ගේ විරෝධතා ක්‍රියාමාර්ග උත්සන්න වූ අතර වාහනයකින් පැමිණි කීපදෙනකු විසින් සිසුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක්‌ ද වාර්තා විය.

එහිදී සිසුන් චෝදනා කර සිටියේ විශ්වවිද්‍යාලයේ පෞද්ගලික ආරක්‍ෂක අංශ සාමාජිකයන් මෙම පහරදීමට සම්බන්ධ බවය. එම චෝදනාව ආරක්‍ෂක අංශ ප්‍රතික්‍ෂේප කළ නමුත් දෙපාර්ශ්වය අතර යළිත් ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවීමට ගිය අවස්‌ථාවේ යුද හමුදා සාමාජිකයන් පැමිණීම නිසා එය වැළකී ගොස්‌ තිබේ. එම අවස්‌ථාවේ සිසුන්ගේ පහරදීමකින් ආරක්‍ෂක අංශ සාමාජිකයකුට සුළු තුවාල සිදුවී ඇත.

සිසු සිසුවියන් මෙලෙස බලහත්කාරයෙන් විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම බරපතළ අනාරක්‍ෂිත තත්ත්වයක්‌ යෑයි ද එහෙයින් අධිකරණ නියෝගයක්‌ හෝ ගෙන සිසුන් ඉවත් කිරීමට සිදුවන බව ද විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙක්‌ ඊයේ සවස පැවසීය. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විමසීම සඳහා උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය අසාර්ථක විය.



 

සිසුන්ට අනතුරක්‌ වුණොත් වගකීම උපකුලපති බාරගත යුතුයි


ජයවර්ධනපුර ශිෂ්‍යයන්ට යම් අනතුරක්‌ සිදුවුවහොත් ඊට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වගකීම බාරගත යුතු යෑයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියෝ පැවසූහ. අත්තනෝමතික ලෙස විශ්වවිද්‍යාලය තුළ පරිපාලනයක්‌ ගෙන යන උපකුලපති එන්. එල්. ඒ. කරුණාරත්න මහතා විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලෙස සිසුන් ගෙන ගිය විරෝධතා හේතුවෙන් මේ වනවිට උපකුලපතිවරයාගේ මැදිහත්වීම මත ආරක්‌ෂක අංශ සාමාජිකයන් බව කියන පිරිස්‌වලින් සිසුන්ට මරණ තර්ජන ඇතුළු විවිධ තර්ජන එල්ලවෙමින් පවතින බව ද උන්වහන්සේ ඊයේ (08 වැනිදා) ජZපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ.

ඊයේ (08 වැනිදා) වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගේ ජංගම දුරකථනවලට සහ ඔවුන්ගේ නිවෙස්‌වලට ගොස්‌ විවිධ පුද්ගලයන්, තර්ජන එල්ල කර ඇති බව පැවසූ උන්වහන්සේ විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම සිසුන්ගේ ආරක්‌ෂාවට හේතුවක්‌ බව ද කීහ. එමෙන්ම විශ්වවිද්‍යාල භූමියෙන් සිසුන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවහොත් සිසුන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීම එම බලධාරීන් වගකීම බාරගත යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
 
Related Posts with Thumbnails