Ads 468x60px

.

මහියංගණ වෙහෙර බිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරේ

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ 2600 වැනි වසර සමරමින් කේශ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේදී ඊයේ (08) ඇරැඹිණි.
බුදුන් වහන්සේ ප්‍රථම වරට මෙරටට සපැමිණි මහියංගණ රජමහා විහාරස්ථානය දසලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණ.
බංගලාදේශයේ චිතගොං සිට මෙරටට වැඩම කරවන ලද මේ කේශ ධාතූන් වහන්සේලා දින තුනක් මෙහිදී ජනතාවට ප්‍රදර්ශනය කෙරේ.


 බුදුන් වහන්සේගේ ලංකා ගමනයේ 2600 වැනි වසර සැමරීම වෙනුවෙන් මහියංගණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන උත්සව මාලාවේ සුවිශේෂීතම අංගය ලෙස මෙය හැඳින්විය හැකිය. බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ප්‍රථම වරට ලැබුණු පුදබිම වන මහියංගණය පුදබිම හා පූජා නගරය ෂඩ් වර්ණ බෞද්ධ ධජ පතාකවලින් සරසා තිබුණි.
බුද්ධත්වයෙන් නවවැනි මාසයේ දුරුතු මස පසළොස්වක පෝදා බුදුන් වහන්සේ මෙහි වැඩම කළේ යක්‍ෂ ගෝත්‍රිකයන් දමනයටය. වැඩ සිටින්නට තැනක් ඉල්ලූ බුදුන් වහන්සේට යක්ෂයන් මුළු ලක්දිවම පූජා කළ බවත්, එහි වැඩ සිට දහම් දෙසමින් යක්ෂයන් දමනය කළ බවත් ඉතිහාසයේ සඳහන්ය.

බුදුන් වහන්සේගෙන් බණ අසන්නට පැමිණ සිටි සුමන සමන් දිව්‍යරාජයා උන්වහන්සේගේ කේශ ධාතු ඉල්ලාගෙන එම දහම් දෙසුම පැවැති තැන සත් රියනක් උස රන් පැහැ දාගැබක් ඉදිකළ බව මහා වංශයෙහි සඳහන්ය.

කේශ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත් ජනාධිපතිතුමා සමන් දේවාලයේ ආගමික කටයුතුවලටද එක් විය. දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ පැවැති සංඝගත දක්‍ෂිණාවටද ජනාධිපතිතුමා එක්විය.මහියංගණ පුදබිමේ පිංකම් මාලාව අද (09) දක්වා පැවැත්වේ. අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක, මහියංගණ රජමහා විහාරාධිපති ගලගම ශ්‍රී අත්ථදස්සි අනුනාහිමි, විහාරස්ථානයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි, සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ, පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, පළාත් ඇමැති අනුර විදානගමගේ මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

 
Related Posts with Thumbnails