Ads 468x60px

.

කඳුළුගෑස්‌ වලින් ඔළුව හිල්වන්නේ කොහොමද?

යුද ජයග්‍රහණය නිසා ජනතාව තුළ උපන් අනුපමේය භක්‌තිය ප්‍රයෝජනයට ගෙන සද්භාවයෙන් සහ යහ පාලනයෙන් ඉදිරියට යැමට ඇති අවස්‌ථාව ආණ්‌ඩුව විසින් නිසි පරිදි ප්‍රයෝජනයට ගනු ලබන බවක්‌ නො පෙනේ. ඊයේ උදේ හලාවතදී පැවැති ධීවර උද්ඝෝෂණයේදී තරුණයකු මියගියේ හිසට වෙඩිල්ලක්‌ වැදීමෙනි. අඟල් තුනක්‌ පමණ විශාල හිලක්‌ ඔහුගේ හිසේ පසුපස කොටසේ සෑදී තිබිණි. 


මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය කියවමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ කලහකාරී ලෙස හැසිරුණු ධීවරයන් පිරිසකට කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කළ බවය. කඳුළුගෑස්‌ වලින් ඔළුව හිල්වන්නේ කොහොමද? කඳුළු ගෑස්‌ කැනිස්‌ටරය මහ දුරක්‌ ගමන් කර විශාල වෙඩි උණ්‌ඩයක්‌ බවට පරිවර්තනය වීද? එනම් පිටි කොටමින් සිටින විට හදිසියේම මෝල්ගහ පත්තු වීද? ධීවර ජනයා කලබල කළේ ඉහළ ගිය ඉන්ධන මිල සම්බන්ධයෙන් කළ උද්ඝෝෂණයකදී ය. 

උද්ඝෝෂණයක්‌ යනු සීල ව්‍යාපාරයක්‌ නොවේ. එහිදී ස්‌ථිර වශයෙන් ම කලබල හට ගනී. හලාවත උද්ඝෝෂකයන් ඉන්ධන මිල අඩු කරන ලෙස ඉල්ලා සිටියේ ය. තෙල් නැතිව බෝට්‌ටු නො දුවන අතර ඊට අනුකම්පා කර ධීවරයන්ට අල්ලා ගැනීම පිණිස මාළුන් වෙරළට එන්නේ නැත. ඉහළ ගිය තෙල් මිලට තෙල් ගසාගෙන මුහුදු ගොස්‌ අල්ලන මසුන් විකුණන්නට වෙන්නේ ද වැඩි මිලට ය. 

මෙවිට මිනිසුන් මාළු කෑම නවත්වා ශ්‍රී ලංකාවේ හැටියට ඇති ලාභම ආහාරය වන කුකුළු මස්‌ වෙත යොමු වන්නට පටන් ගන්නවා ඇත. ඉදිරියේදී තමන් මුහුණ පෑමට යන ආර්ථික අර්බුදය දුටු ධීවර ජනයා තමන්ට කළ හැකි අවම ක්‍රියාව, එනම් උද්ඝෝෂණයක යෙදීම කළේ ය. මිනිසුන් දවස්‌ දෙකක්‌ එක දිගට උද්ඝෝෂණය කරන්නේ නැත. අනෙක සටන් පාඨයක්‌ කීවාට එයින් කාටවත් හානියක්‌ වන්නේ ද නැත. 

මේ උද්ඝෝෂණයට ආ ජනයා තුවක්‌කු අරගෙන ආවේ ද නැත. එහෙත් ඊයේ එතැන සිටි ආරක්‍ෂක අංශවල රට හරකුන්ට එතරම් දුර දිග හිතන්නට තරම් මොළ තිබුණේ නැත. එසේ තිබුණා නම් ඔවුන් උද්ඝෝෂකයන්ට වෙඩි තබන්නේ ද නැත.

මෙයට කලකට පෙර කටුනායකදී පැවැති උද්ඝෝෂණයකට පොලිසිය වෙඩි තැබීම නිසා තරුණයෙක්‌ මළේ ය. ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ඝෝෂණයක්‌ සිදුවන විට ඊට වෙඩි තබා උද්ඝෝෂකයකු මිය යැම ජාත්‍යන්තර මට්‌ටමෙන් ඉතා නරක ප්‍රතිඵල ඇති කරයි. අවසානයේදී පිටරටවල් කියන්නේ ලංකාවේ මානව අයිතීන්ගේ තත්ත්වය පිරිහී ඇති බවය. 

මීට තුන් දිනකට පෙර මෙහි පැමිණ ඒ බව අපේ මුහුණටම කියා යැමට තරම් රොබට්‌ බ්ලේක්‌ නිර්භීත විය. ඊයේ උද්ඝෝෂණයට වෙඩි තැබූ පොලිසිය හෝ හමුදාව කළේ රොබට්‌ බ්ලේක්‌ගේ ප්‍රකාශය සත්‍යයක්‌ බවට පත් කිරීමය.

ඩීසල් රුපියල් 99 ටත්, පෙට්‍රල් රුපියල් 110 ටත් භූමිතෙල් රුපියල් 89 ටත් විකිණිය හැකි බව එක්‌සත් ජාතික පක්‍ෂය කියයි. එය කටට ආවට කී මෝඩ කතාවක්‌ නොව ඔප්පු කරන්නට බලාගෙන කී කතාවක්‌ බව පෙනේ. එසේ නම් ඉන්ධන මිල ඉහළ යැම පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක්‌ කැඳවිය යුතුව ඇති බව අපගේ විශ්වාසයයි. ආණ්‌ඩුව ඉන්ධන මිල වැඩි කළ ආකාරයට විදුලි බිල 40% කින් ඉහළ යන බව දැන ගන්නට තිබේ. ගෑස්‌ මිල ද ඉහළ ගොස්‌ තිබේ. 

එහෙත් උද්ඝෝෂණවලදී කඳුළු ගෑස්‌ ගැසීම ජයටම සිදුවන නිසා ගෑස්‌ වලට වඩා කඳුළු ගෑස්‌ ලාභ බව සමහරුන්ගේ මතය ය. මේ අනුව කඳුළු ගෑස්‌වලින් ආහාර පිසීමේ ක්‍රමවේදයක්‌ සොයාගතහොත් ඉතා ඵලදායකය.
ජනාධිපතිතුමා රටේ නැති මෙබඳු මොහොතක ආරක්‍ෂක අංශ වගකීමක්‌ නැතිව ක්‍රියා කළ ආකාරයෙන් ආණ්‌ඩුවට විශාල කළු පැල්ලමක්‌ වැදී ඇත. 

වහා පරීක්‍ෂණ පවත්වා උද්ඝෝෂකයන්ට වෙඩි තැබූ මිනීමරුවන්ට දඬුවම් කිරීමටත්, ඉන්ධන මිල පහළ දැමීමටත් ආණ්‌ඩුව පියවර ගත යුතුය. ආරක්‍ෂක අංශ යුද්ධයේදී කළ මෙහෙවර කිසිදු ලෙසකින්වත් අවප්‍රමාණ කර සලකනු නො ලැබේ. එසේම නිකරුණේ මිනී මරන විට යුද ජයග්‍රහණය මතක්‌ කරමින් සමාව දීමට කවුරුවත් සූදානම් නැති බව ද ආණ්‌ඩුව මතක තබා ගත යුතු වේ.
 
Related Posts with Thumbnails