Ads 468x60px

.

කළුවාමෝදරින් බෙන්තොටට අවුරුදු රැගෙන ගිය ශකිලාට වුණු විපත

සුන්බුන් අතරින් මතුකර ගනිද්දීත් ශකිලා සදහටම දෙනෙත් පියාගෙන...

අනේ මගේ සමනළ පැටියෝ ඔයා කොහේද ගියේ. ගෙදර එළිය කරපු පහන නිවෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නැහැ. අයියෝ මගේ දූ හරියට හොරු අරන් ගියා වගෙයි. දෙවියනේ දැන් කොහොමද උදෙන්ම නැගිටලා දූ පාසල් යන්නේ.

17 හැවිරිදි ශකිලා මධුශානිගේ මවගේ විලාපය ඇසෙන විට දරු දුක හඳුනන කිසිවකුට තම දැසට නැගෙන කඳුළු කුමන අයුරකින්වත් සඟවා ගැනීමට අසීරුය.


උදාවූ නව වසරේ අසිරිය නිමා වන්නටත් පෙර තම දියණියගේ වියෝව දරා ගැනීමට නොහැකිව එසේ විලාප නැගුවේ ශකිලාගේ මෑණියන් වන රේණුකා ද සිල්වාය.





ඉකුත් 15 දා බළපිටිය මොහොට්‌ටිවත්තේ පිහිටි සිය මිත්තණියගේ නිවසේ කොටසක්‌ කඩා වැටී එහි නිදාසිටි ශකිලා මධුශානි (17) පාසල් ශිෂ්‍යාව මියගිය අතර ඇගේ පුංචි අම්මාගේ දියණිය වන අනුරාධා දේවින්දි (13) බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කළාය.




මේ ඔවුන් සතුටින් ඇරඹූ අවුරුදු ගමන කඳුළින් නිමාවූ දුක්‌බර කතාවයි.

කොවුල් නාදයත් රතිඤඤ හඬත් මුසුව බක්‌මහේ අසිරිය දසත පැතිරෙමින් තිබිණි. සෑම සිතකම සතුට සිනහව පිරී ඉතිරී යන තරමටම අලුත් අවුරුදු මිහිරෙන් පරිසරය ආලෝවත් විය. තවමත් හිරිමල් යොවුන් වියේ පසුවන ශකිලාගේ සිතද එම මිහිරෙන් පිරී ඇත.


අලුත්ගම විද්‍යාලයේ අපොස (සා/පෙළ) විභාගයෙන් උසස්‌ ලෙස සමත්වී සිටි ඇය අප්‍රේල් 15 දා පෙරවරුවේ ඉතාම සතුටින් තම මව සමඟ කළුවාමෝදර නිවසින් පිටවූයේ සාම්ප්‍රාදායික සිරිතට මුල්තැන දෙමින් බළපිටිය මොහොට්‌ටිවත්තේ පදිංචිව සිටි තම මිත්තනියට බුලත් දී වැඳ අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමටය.

එදිනම මාපලගම තල්ගස්‌වල පදිංචි අනුරාධා දේවින්දි දියණියද බුලත්දීමේ චාරිත්‍රය ඉටුකිරීමට සිය මව සමඟ බලපිටියේ මිත්තණියගේ නිවසට පැමිණ සිටියාය.

ශකිලාගේත් අනුරාධාගේත් මවුවරුන් නිවුන් සහෝදරියන්ය. ටික කලකින් සිදුවූ මෙම හමුවීම අවුරුදු උදාව නිසා බෙහෙවින් සුන්දර විය. ශකිලාත් අනුරාධාත් 15 දා අවුරුදු චාරිත්‍ර ඉටුකර තම මවුවරුන් සමඟ එදිනම මිත්තනියගේ නිවසින් පිටවීමට සිතා සිටියද සිය අණසක බිඳ දැමීමට කිසිවිටෙකත් කිසිවකුට ඉඩහසර ලබානොදෙන මාරයා ඒ සඳහා ඔවුන්ට ඉඩ ලබා නොදුන්නේ හවස්‌ යාමයේ ඇද හැලුණු ධාරානිපාත වරුසාවකි.

එසේ ඇද හැළුණු වර්ෂාව නිසාම තම නිවෙස්‌වලට යැම පසුදාට එනම් 16 දිනට කල් තැබූ ඔවුන් තව තවත් උද්දාමයට පත්ව ඉතා සතුටින් එම නිවසේම ගත කළේය.

බක්‌මහේ අසිරිය මොහොතකට යටපත් කරමින් අඳුරු අහස්‌කුස රෑබෝ වනතුරුම තමාගේ බර මහ පොළොව මතට මුදාහැර නිදහස්‌ වුවද තද අඳුර පැතිරෙද්දී පොදවැස්‌ස ඇද හැලුණේ ඉන් සෑහීමට පත් නොවුණාසේය.

පැරණි නිවසේ මිත්තණිය සමඟ අම්මලා එක්‌ කාමරයක නිදාගත් අතර ශකිලා හා අනුරාධා අනෙක්‌ කාමරයේ තම පාසල් තොරතුරු හා ආගිය කතාවල යෙදෙමින්ම නින්දට ගියහ. ඔවුන් නින්දට වැටුණේ පසුදින ශකිලා ආපසු නොයන්නටත් අනුරාධා බරපතළ තුවාල ලබා රෝහල් ගතවන්නටත් සිතමින් නොවේ.

එහෙත් දෛවය බොහෝවිට සරදම් කරන්නේ අහිංසකයන්ටදැයි සිතෙන තරමටම දෛවය ඔවුන්ට අකාරුණික වීම කෙසේ වාවාගන්නේදැයි සිතාගැනීමට පවා අසීරුය.

අප්‍රේල් 16 දිනට පහන් වී හෝරාවක්‌ ගතවූවා පමණි. අළුයම 01.00 ට පමණ විශාල ශබ්දයක්‌ සමඟ ඇසුණු මරළතෝනියෙන් අවට නිවෙස්‌ වළ සිටි අය අවදි වී විදුලි පන්දම් රැගෙන එම නිවෙස වෙත අඳුරේම දිව ආහ. ඒ වන විට විදුලියද විසන්ධි වී තිබිණි.

ශකිලාත් අනුරාධාත් නිදාසිටි කාමරයට නිවසේ මුදුන් බිත්තියත් වහළයත් කඩාවැටී එම සුන්බුන් වලින් ඔවුන්ගේ සිරුරු යටවී තිබිණි. විදුලිපන්දම් එළියෙන් වහ වහා සුන්බුන් ඉවත්කර අසල් වැසියන් විසින් දැරියන් සුන්බුන් අතරින් මතුකර ගනිද්දීත් ශකිලා සදහටම දෙනෙත් පියාගෙන සිටියාය.

අනුරාධා දේවින්දි විගස බළපිටිය රෝහලට ඇතුළත් කර පසුව කරාපිටිය රෝහලට මාරුකර යවන ලදී.

මාපලගම තල්ගස්‌වල පදිංචි අනුරාධා දේවින්දි ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අට වසරේ ඉගෙනුම ලබන දක්‍ෂ දැරියකි.

මියගිය ශකිලා මධුශානි ජයරත්න අලුත්ගම කලුවාමෝදර ගම්බැද්දේ පදිංචිව සිටි අතර අලුත්ගම විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියාය.

නිවසම එළිය කළ මගේ දූ හොරු අරන් ගියාදොයි ප්‍රදේශයම දෙවනත් වන ලෙස විලාප දෙමින් ශකිලාගේ මව එදින ඇද හැළුණු වර්ෂාවට නොදෙවෙනි ලෙස කඳුළු වගුරන්නීය. දවසේ මෙහෙය ඉටුකර මන්දගාමීව බැසයන සැඳෑ හිරුගේ උදාසීන රැස්‌දහර ශෝකබරිතව මිහිමත පතිත වෙද්දී දහසකට අධික නෑ හිතමිතුරන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සෝසුසුම්මැද ශකිලා මධුශානිගේ අවසන් කටයුතු 18 දා බදාදා සවස අලුත්ගම කලුවාමෝදර පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
 
Related Posts with Thumbnails