Ads 468x60px

.

පියයුරකට ගිල් වූ ඉඳිකටු ශල්‍යකර්මයකින් එලියට ගනී

මැදපෙරදිග රැකියාවක්‌ සඳහා ගිය කාන්තාවකට එරටදී ඒජන්සිකරුවන් විසින් ඉඳිකටුවලින් ඇනීම නිසා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඇති වූ අසනීප තත්වය අප මිට පෙර ලිපියකින් හෙළි කලා.  ඒ අනුව බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව 03 දා කරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව ඉඳිකටු කැබලි දෙකක්‌ ඉවත් කර තිබුණා.


මේ පිළිබඳව බලන්ගොඩ මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් රණසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම කාන්තාව පසුගිය 27 දා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් වී ඇත්තේ යම් අසාධ්‍ය තත්ත්වයක්‌ හේතුවෙන් බවයි. පසුව කරන ලද පරීක්‍ෂණවලදී ඇයගේ පියයුරු තුළ යම් ලෝහමය කටු විශේෂයක්‌ තිබෙන බව අනාවරණය වීමෙන් පසුව ඉකුත් 3 වැනිදා ශල්‍යකර්මයකට භාජනය කර සෙන්ටිමීටර් දෙකක්‌ පමණ දිග ඉඳිකටු කැබලි දෙකක්‌ ඇගේ පියයුරුවල කිඳා බැස තිබියදී ඉවතට ගත් බව ද හෙතෙම පැවසීය. 


බලන්ගොඩ මැදබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වූ ජී. ඩී. එම්. ජයන්ති පුෂ්පලතා (28) තමන් මුහුණදුන් තත්ත්වය පැහැදිලි කළේ මෙසේය. "මගේ මවත් පියාත් මම කුඩා කාලයේදී මියගියා. මව පිළිකා රෝගයකින් ද පියා කැළේ බැඳ තිබූ තුවක්‌කු වෙඩිල්ලකට බිලි වීමෙන් ද මියගියා. 

ඉන්පසු මම නැන්දලාගේත් සොයුරියගේත් රැකවරණ යටතේ ජීවත් වී මීට වසර අටකට පමණ පෙර බී. එල්. ඥනපාල නමැති අය සමඟ විවාහ වූවා. මට දැන් අවුරුදු හයක පුතෙක්‌ ඉන්නවා. අපේ ප්‍රදේශයේ වන අලින්ගෙන් පීඩා සිදුවනවා. 

දිනක්‌ සැමියා අලි එළවීමට වෙඩිල්ලක්‌ දැමීමට ගොස්‌ දකුණු අත මැණික්‌කටුව ළඟින්ම අහිමිව ගියා. මෙයින් පසුව පවුලේ ආර්ථිකය බිඳවැටුණා. ගෙයක්‌ දොරක්‌ හරියට නැති නිසා ඒජන්සියක මාර්ගයෙන් මම 2011 දෙසැම්බර් 7 දා කුවේට්‌ රටේ ගෘහ සේවිකා රැකියාවට ගියා. එහි ගොස්‌ දින කීපයක්‌ නිවෙස්‌ දෙකක හිටියා. 

පසුව නිවසකට භාරදුන්නා. එහි ළමුන් හත්දෙනකුගේ වැඩ කරන්න අමාරුයි. මාස හයක්‌ විතර ගතවෙන විට එරටේ සිටින මෙරට ඒජන්සිකාරිය වූ පරිනා නමැති අයට කීවා වැඩ වැඩියි වෙනත් නිවසකට යවන්න කියා. ඉන්පසු ඔවුන් මට හිරිහැර කළා. පුටුවක්‌ තබා බැඳ පහර දුන්නා. දත් කීපයක්‌ ද සෙලවෙනවා. 

පසුව කටු කිහිපයකින් ඇන්නා. මේ ගැන කිව්වොත් ලංකාවට යන්න ඉඩ තියන්නෙත් නැහැ කියා දින කිහිපයකට පසුව වෙන නිවසකට යෑව්වා. ඔවුන් නම් ඉතාම කරුණාවන්ත අයයි. මම උණ, ක්‌ලාන්තය ආදී අසනීපවලින් පෙළුණා. ඔවුන් මට හතර වරක්‌ම බෙහෙත් අරන් දුන්නා. ඉන්පසු සුවයක්‌ නොමැති නිසා සනීපවෙල එන්න කියා ලංකාවට එව්වා.

ඒ අනුව ජූලි මස 27 වැනිදා මම රෝහලට ඇතුළත් වූවායින් පසුව මට ඉතා කරුණාවෙන් වෛද්‍ය කාර්ය මණ්‌ඩල උදව් කරලා 3 දා ඔපරේෂන් එක කළා. මට දැන් හොඳ සනීපයක්‌ දැනෙනවා. මට මේ ජීවිතේ ආරම්භයේ සිටම මුහුණදීමට සිද්ධවුණු දේවල් හරිම අවාසනාවන්ත සිදුවීම්. 


නමුත් මගේ දරුවත් බලාගෙන ඉදිරියට ජීවිතයට මුහුණ දෙන්න පදනමක්‌ සකස්‌ කරල දෙන්න කවුරුන් හෝ ඉදිරිපත් වුණොත් විශාල පිනක්‌. මම අපොස සාමාන්‍ය පෙළ දක්‌වා ඉගෙනගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails