Ads 468x60px

.

ඉන්දියානු තාක්‍ෂණයටත් වඩා දියුණු ටැක්‌සි මීටරයක්‌ නිපැයූ අපේ රටේ වෛද්‍යවරයා...

ඉන්දියාවේ මීටරයේ නැති දේවල් මේකට ඇතුල් කළා...

වාහනය නවත්වාගෙන හිටපු කාලයත් ඇතුල් කළා...

නව ක්‍රමයක්‌ ලෙස එස්‌. එම්. එස්‌. වැනි ක්‍රමයක්‌...

ශ්‍රී ලාංකික නිර්මාණ කරුවකු වන වෛද්‍ය අරුණ රත්නසූරිය මහතා වෘතියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි. කොළඹ ආසිරි හා සෙන්ට්‍රල් යන පෞද්ගලික රෝහල්හි දන්ත වෛද්‍ය අංශයේ ප්‍රධානියා වන ඔහු පාසල් සමයේ සිට නව නිර්මාණ බිහි කළ පුද්ගලයෙකි. 

ඔහු විසින් බිහිකරන ලද ටැක්‌සි මීටරය, මෙරට වෙළෙඳපොළෙන් සියයට අනූපහක (95%) කොටසක්‌ හිමිකරගෙන තිබේ. නිල්වලා මෙගා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම සමඟ එකතු වී සිය නිර්මාණය වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔහු මේ දිනවල පියවර ගනිමින් සිටියි.

මේ ගැන ඔහු සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - නව නිර්මාණකරුවෙක්‌ ලෙස ඔබගේ කතාව පටන් ගන්නේ කොතැනින්ද?
පිළිතුර - මම මුලින්ම මේ සඳහා පිවිසුණේ, පාසල් කාලයේදී රාජකීය විද්‍යාලයේ ගුවන් විදුලි සමාජයෙන්. එතැනදී මට ඉලෙක්‌ට්‍රොනික විද්‍යාව ගැන කැමැත්තක්‌ ඇතිවුණා. මම උ.පෙළ පන්තියේ සිටියදී ඩිජිටල් උෂ්ණත්වමාණයක්‌ නිර්මාණය කළා. එතකොට එවැනි උපකරණයක්‌ ශ්‍රී ලංකාවේ තිබුණේ නැහැ. මේවා නව නිපැයුම් නෙමෙයි. 


නමුත් එවැනි දෙයක්‌ එතෙක්‌ ශ්‍රී ලංකාවේ නිපදවා තිබුණේ නැහැ. ඊට පසු ටෙලින් කෝල් බිලින් මැෂිමක්‌, ඒ කියන්නේ කොමියුනිකේෂන්වල කතා කරන කාලය හා ඒ සඳහා යන වියදම බිල්පත් නිකුත් වන මැෂිමක්‌ ඩිජිටල් ආකාරයට මම නිර්මාණය කළා.

ඒක එසේ ඉන්දියාවෙන් ගෙන්වා තමයි අපි පාවිච්චි කළේ. මම තමයි ඒක මහා පරිමාණයෙන් ලංකාවේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ.

ප්‍රශ්නය - ත්‍රිරෝද රථ සඳහා සරිලන ටැක්‌සි මීටරයක්‌ ඔබ විසින් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරන්නේ කොහොමද?
පිළිතුර - ඉන්දියාවේ ත්‍රිරෝද සඳහා නීතියෙන්ම මීටරයක්‌ අවශ්‍යයි. ඒ අනුව තමයි මේ සඳහා මට අදහස ආවේ. ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද සඳහා මීටර් ගෙන්වමින් තිබුණේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ මීටරයේ නැති දේවල් ද ඇතුල් කරමින් තමයි අපි මෙම නිපැයුම කළේ. 


ඉන්දියාවේ මීටරයේ සාමාන්‍යයෙන් තිබෙන්නේ ගෙවන්න ඕනේ ගානයි, ගිය දුරයි විතරයි. වාහනය නවත්වාගෙන හිටපු කාලය එහි නැහැ. මම එයත් අපේ නිර්මාණයට ඇතුළු කළා. ඊට අමතරව ටැරින් කියලා එකකුත් මම මේකට ඇතුල් කළා.

කෝල් එකක්‌ ගන්න කොට කාර්ය බහුල වෙලාව, එසේ නොවන වෙලාවට ගාස්‌තු වෙනස්‌ වගේ ටැක්‌සි සඳහාත් ක්‍රමයක්‌ ඇති කරනවා නම් එයට කාර්ය බහුලතාවය අනුව වර්ග කිරීමක්‌ කර අය කිරීමට ක්‍රමයක්‌ සකස්‌ කළා. එහිදී කොටස්‌ කිහිපයකට බෙදා කාර්ය බහුලතාවය, එසේ නැති වෙලාව ලෙස ගාස්‌තු අය කිරීමට අවශ්‍ය නම් පුළුවන්.

ප්‍රශ්නය - මෙවැනි මීටරයකදී පැනනඟින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එහි මිණුම් වංචනික ආකාරයෙන් සකස්‌ වන ලෙස එය වෙනස්‌ කිරීමයි. මේ සඳහා ඔබගේ මීටරයේදී තිබෙන්නේ කොයි වැනි ඉඩක්‌ද? 

පිළිතුර - දුර හා ගාස්‌තු කිසිදු ආකාරයකින් වෙනස්‌ කළ නොහැකි ලෙසයි අපි මෙය සාදා තිබෙන්නේ. නමුත් මෙතැනදී පැනනඟින ප්‍රශ්නය තමයි යම් අවස්‌ථාවකදී අයකරන ගාස්‌තුවල වෙනසක්‌ වුවහොත් ඊට අදාළ ලෙස එම මීටරය වෙනස්‌ කරන්නේ කොයි ආකාරයෙන් ද කියන එක.

ඉන්දියාවෙන් ගෙන්වන මීටර්වලදී ටැක්‌සි රියෑදුරු විසින් තමන්ගේ මීටරය ගෙන ඒ සඳහා වන අදාළ මධ්‍යස්‌ථානයකට ගොස්‌ මෙම වෙනස කරගත යුතු වෙනවා. මෙය ඉතාම රස්‌තියාදුකාරී දෙයක්‌. මෙය මීටර් විකුණන පුද්ගලයාටත් කරදරයක්‌. නමුත් නව ක්‍රමයක්‌ ලෙස එස්‌. එම්. එස්‌. වැනි ක්‍රමයක්‌ හඳුන්වා දී තිබෙනවා. 

ඒ අනුව ගාස්‌තු වැඩි කරන අවස්‌ථාවලදී අදාළ සන්නිවේදන ක්‍රමය හරහා අපට පණිවුඩයක්‌ එවූ විට රස්‌තියාදුවකින් තොරවම මීටරය වෙනස්‌ කර දීමේ හැකියාව තිබෙනවා. ඒක අපේ උපකරණයක්‌ තිබෙන අනන්‍යතාවක්‌. මෙම මීටරය ගාන විතරක්‌ නෙවෙයි, අනිකුත් දුර වැනි දේවල් ද හොඳින් පෙනෙන ලෙස සකසා තිබෙනවා. ඉන්දියන් මීටරයේ ගාණ විතරයි ලොකුවට පෙනෙන්නේ.

ප්‍රශ්නය - මෙවැනි නිෂ්පාදනයක්‌ කරපු පුද්ගලයකු මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්න දෙක තමයි එය කර්මාන්තයක්‌ ලෙස වැඩි දියුණු කිරීම හා වෙළෙඳපොළ සොයාගැනීම ඔබට මෙය ගැටලුවක්‌ වුණේ නැද්ද?
පිළිතුර - මෙය අපේ රටේ නිෂ්පාදනයක්‌. පළමු කොටම රටක්‌ ලෙස අපි ඒ ගැන ආඩම්බර විය යුතුයි. ඒ වගේම මෙය භාවිතයට පහසු ලෙස සකසා තිබෙනවා. මේ නිසා අපේ නිර්මාණය රටම වැළඳගෙන තිබෙනවා කිව්වොත් නිවැරැදියි. 


ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ තිබෙන ටැක්‌සි මීටර්වලින් සියයට අනූපහක්‌ම මගේ උපකරණයි. ඉතිරි 5% ක්‌ විතර ටික තමයි ඉන්දියානු මීටර. මේ ව්‍යාපෘතියට විශාලම ශක්‌තිය වුණේ එහි තිබෙන වැඩි දියුණු කරන ලද ගතියයි.

කර්මාන්තයක්‌ ලෙස මෙය කරගෙන යැමේදී මටත් විවිධ බාධක ආව මමත් රැවටීම්වලට ලක්‌වුණා. මේ නිසා මෙම උපකරණයේ පේටන් බලපත්‍ර හිමියා ලෙස මම අලුත් පාර්ශ්වයක්‌ සමඟ එකතු වී මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


නිල්වලා අධිපති ආචාර්ය උපුල් ජයසිංහ මහතාගේ කළමනාකාරීත්වය යටතේ නව ආයතනයක්‌ ලෙස මෙම මීටරය අපි දැන් නිපදවන්නට කටයුතු යොදා තිබෙනවා. ඒ සමඟම නිර්මාණකරු ලෙස මටත් සාධාරණයක්‌ ඉටුවී තිබෙනවා.

මගේ තාක්‍ෂණ ඥනය හා උපුල් ජයසිංහ මහතාගේ ව්‍යාපාරික ඥනය එකතු වී අපේ රටේ නිෂ්පාදන ව්‍යාපාරයක්‌ ලෙසයි මෙම මීටරය මින් පසු වෙළඳපොළට පිවිසෙන්නේ. 


නිල්වලා මෙගා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම මෙම මීටරයෙන් පටන්ගෙන තවත් තාක්‍ෂණික උපකරණ ශ්‍රී ලාංකික නිර්මාණ බිහිකිරීමට දායක කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
 
Related Posts with Thumbnails