Ads 468x60px

.

නෙත පිනවන සිත සනහන පරිසරයක සුවය විඳින්න මෙතනට එන්න...

හොඳ දේ "හොඳය" කියා අගය කරන පුරුද්දක්‌ ද අප ජීවිතය තුළ වගා කරගත යුතුව ඇත...

අපේ ජනතාව රජයකින් රටකට කළ දේ ගැන කතා කරනවාට වඩා නොකළ දේ ගැන කතා කරන්නට බොහොම කැමැතිය. 

එසේම අපි කොයි කවුරුත් රජයක්‌ කළ හොඳ දේ ගැන කතා කරනවාට වඩා කළ නරක දේවල් ගැන කතා කරන්නට දක්‌වන උනන්දුව බොහොම වැඩිය.

යහපත් යමක්‌ කළ විට, රටකට යහපත් හොඳ දේවල් කරන එක රජයක යුතුකම, රජයක වගකීම කියා මුනිවත රකින අපි නරක යමක්‌ දකින විට මුව පුරා රජයට බනින්නට හා විවේචනය කරන්නට පොඩ්ඩක්‌වත් ලෝභ වන්නේ නැත.

නරක ගැන, අයහපත් දේවල් ගැන, දුර්වලතා ගැන විවේචන කළාට වරදක්‌ නැත. එහෙත්

ඒ සමානවම රජයක්‌ කරන යහපත් දේ, හොඳ දේ "හොඳය" කියා අගය කරන පුරුද්දක්‌ ද අප ජීවිතය තුළ වගා කරගත යුතුව ඇත. හොඳ නරක දෙකම දකින සර්ව සාධාරණ යහපත් මිනිසකු විය හැක්‌කේ එවිටය.

එම පූර්විකාව තබමින් මා ඊළඟට කරන්නට යන්නේ දේශපාලන කුහකකම් නැති මේ රටේ ජීවත්වන සෑම සාධාරණ මිනිසකු විසින්ම මුව පුරා අගය කළ යුතු තවත් එක්‌ හොඳ වැඩක්‌ ගැන ඔබේ අවධානය යොමු කරන්නටය.

අවසන් වරට රට එක්‌ සේසත් කළ සයවැනි පැරකුම්බා රජු රජකම් කළ කෝට්‌ටේ රාජධානිය ගැන ඔබ පොත පතින් බොහෝ දේ කියවා ඇතැයි සිතමි. ඒත් නැතිනම් එදා කෝට්‌ටේ රාජධානියේ ශ්‍රී විභූතිය සාහිත්‍යයට නගා ඇති සංදේශ සාහිත්‍යයෙන් එකක්‌ දෙකක්‌ හෝ ඔබ කියවා ඇති බව නිසැකය.

ඒවා තුළ ඇති පුර වැනුම්, සැඳෑ නිශා උදා වැනුම් වලට එදා කෝට්‌ටේ පුරවරයේ තිබූ ශ්‍රී විභූතිය ගෝචර වී තිබෙන අපූරුව මා ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැතැයි සිතමි. 


රජ මාලිගය, කෝට්‌ටේ පුරවරය, එය වටා ඇති කොටු පවුර, ඊටත් එපිටින් වූ දිය අගල්, පස්‌ පියුමින් සුසැදි විල් දිය දහරාවන් මැදින් ඇදී ගිය දියවන්නාව, මලින් පලින් බර වූ තුරුලතා, කුරුළු කෙවිල්ලන් ගැවසී ගත් ලිය ගොමු, ඈ සියල්ල එදා මනරම්‍ය වූ කෝට්‌ටේ පොබ කළ අන්දම සංදේශ කතා කරුවා තරම් හොඳින් කියූ තවත් අයෙක්‌ වේ යෑයි මා නොසිතමි.

1977 න් පසු බලයට පැමිණි ඡේ. ආර්. ජයවර්ධනයන්ට අවශ්‍ය වූයේ ඒ අතීත ශ්‍රී විභූතියෙන් පිරි අවසන් රාජධානිය නැවත බිහි කොට එය ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ බවට පත් කර ලංකාවේ අග නගරය එය බවට පත් කරන්නටය.

එදා දියවන්නාව ගලා ගිය මහ යෝධ වගුරු බිම හාරා එහි ජලාශයක්‌ ඉදිකොට, එය මැද පාර්ලිමේන්තුව ඉදිකර රටේ පරිපාලන කේන්ද්‍රස්‌ථානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ බවට පත් කර ලන්නට ඔහු සැලසුම් කළේය. රජයේ අමාත්‍යාංශ හා සියලු රාජ්‍ය ගොඩනැඟිලි කෝට්‌ටේ අවට පරිසරයට ගෙනවිත් රටේ පරිපාලන කේන්ද්‍රස්‌ථානය බිහි කරන්නට ඔහු තුළ ඉතා හොඳ සැලසුමක්‌ ද තිබිණි.

එහෙත් සැලසුම අතරමඟ කඩා වැටුණි. පාර්ලිමේන්තුව හා අමාත්‍යාංශ කිsහිපයක්‌ හැරුණු විට කෝට්‌ටේ ප්‍රධාන ඉදිකිරීම් සැලසුම වෙනුවට තැනින් තැන වාණිජ ගොඩනැඟිලි ඉදිවන සැලසුමක්‌ ක්‍රියාත්මක විණි. අක්‍රමවත්ව ඒ මේ අතට වැටුණු පාරවල් හා හෑරුණු විශාල වළවල් මෙන්ම මුඩුබිම් පමණක්‌ ඉතිරි වුණ ජරාජීර්ණ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ පුරවරයක්‌ බිහිවන්නට වැඩි කලක්‌ ගියේ නැත.

පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, සව්සිරිපාය, ඉසුරුපාය වැනි රාජ්‍ය මධ්‍යස්‌ථාන එහි තැන තැන ඉදිව තිබුණත් කොළඹ අවට බොහෝ දෙනෙක්‌ ඒ සියල්ලට වටවුණු පරිසරයට එදා ආවා ගියේ කුමක්‌ හෝ හොර වැඩක්‌ කරන්නට ය.


එක්‌කෝ තම ගෙදර කුස්‌සියේ එකතු වන කුණු මල්ල පරිසරයට බැහැර කරන්නටය. නැතිනම් තම නිවසේ පරණ මෙට්‌ට, කොට්‌ට, කැඩුණු ප්ලාස්‌ටික්‌ පුටු, ඉටි කොළ ආදි අනවශ්‍ය දැ පරිසරයට මුදා හැර නිදහස්‌ වන්නටය. 

එසේ නැතිනම් තම නිවසේ සුරතලයට ඇති කළ බල්ලාගේ, පුසාගේ මළකුණ දමා පැන යන්නටය. ඒත් නැත්නම් මුළු මහත් ලෝකයෙන්ම මිදී තම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ මොහොතකට තනි වී පෙම් සැප විඳින්නටය. 

මේ සියල්ලම අතර මේ ප්‍රදේශය කාලයක්‌ ජනප්‍රියව තිබුණේ කාර්යාලවල වැදගත් ප්‍රසිද්ධ මහත්වරු තම වයසින් අඩක්‌ පමණ වන රූමත් ලේකම්වරියන් හෝ නිලධාරිනියන් සමඟ පැමිණ කාර් ඇතුලේ සුර සැප විඳින පාරාදීසයක්‌ හැටියටය.

කාලය මේ සමඟ ඔහේ ගෙවී ගියේය. කෝට්‌ටේ ශ්‍රී ජයවර්ධනපුර පරිසරය බලාසිටියදී ජරා ජීර්ණ විය. දවසක වැස්‌සකින් වුව යට වී මහා ජලාශයක්‌ බවට ශ්‍රී ජයවර්ධනපුරය පත්ව ගියේය.

තිස්‌ වසරක සාපලත් යුද්ධය නිමා වූයේ ඔය අතරය. යුද්ධය නිමා කළ යුද හමුදාවට ඉසිඹුලන්නට පරිසරය සැකසිනි. යුද්ධය වෙනුවෙන් නිරතුරුව වෙහෙසුණු මහ මොලවලට රටේ සංවර්ධනය වෙනුවෙන් යමක්‌ ගැන සිතන්නට ඉඩ අවකාශ ලැබිණි.

ලැබුණ නිදහසින් උපරිම ප්‍රයෝජන ගෙන කොළඹ සුන්දර නගරයක්‌, සිත පිනවන ගත සනහන පරිසරයක්‌ බවට පත් කරන මෙහෙයුම ආරම්භ කරන්නට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් මුල පිරුවේය. කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ අවට පරිසරය දක්‌වාම සැලසුම් විහිද ගියේය. සුන්දර නගරයක්‌ බිහි කරන සැලසුම ක්‍රියාත්මක කිරීමේ භාරදූර වැඩ කොටස යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවල ඉන්ජිනේරු බළකායන් භාර ගත්හ.


වසර දශක තුනක්‌ උතුරු නැඟෙනහිර මෙහෙයුම් වල නිරත වෙමින් බංකර් සාදමින්, පාලම් බෝක්‌කු තනමින්, බිලට්‌ ඉදිකරමින්, කඳවුරු සකසමින් සිටි තරුණ සෙබළු සිය උද්‍යාන තාක්‍ෂණයේ දැනුම මොනවට ඔප්පු කරමින් ජරාජීර්ණ කෝට්‌ටේ අවට පරිසරය සුන්දර කරවීමේ මෙහෙයුමට බැස්‌සහ. බලා සිටියදී කෝට්‌ටේ අවට පරිසරය ප්‍රියමනාප වන්නට පටන් ගෙන වැඩි කාලයක්‌ නැත.

ඔබට පැරැණි කෝට්‌ටේ පුරවරයේ අවට පරිසරයේ තිබුණා යෑයි කියන සුන්දරත්වයේ හා ශාන්ත සුවදායක බවේ මිහිර අද යළිත් විඳ ගත හැකිය. කොළඹ සිට බොරැල්ල හරහා මාලබේ දෙසට යන ඔබට පිටකෝට්‌ටේ හන්දියේදී මෙම දසුන් සියල්ල ඇස ගැටෙන්න පටන් ගන්නවා ඇත.

එතැන් සිටම වම් පැත්තේ මහා දියවන්නා ජලාශයයි. අද එය අවට පරිසරය හරි සංවිධානාත්මකය. සුන්දරය. හරි පිළිවෙළය. පාර දිගේ තව ටිකක්‌ දුර ගොස්‌ පාලම ද පසුකර වමට හැරුණ විට හමුවන්නේ වෝටර්ස්‌ ඒඡ් හෝටලයේ ප්‍රවේශ මාර්ගයයි. අතීතයේ ධන කුවේරයකුට අයිති වන්නට තිබූ ඒ බිම අද සෑම තරාතිරමකම මහජනතාවට විවෘතය. 


නිකන් ඉන්නට, හිඟාකන්නට, රස්‌තියාදු ගහන්නට හෝ අයතා ගනුදෙනු කරන්නට නොව, ඇවිදින්නටය. ශරීර සුවතා කටයුතු නිසි අයුරින් පවත්වා ගෙන යන්නට ව්‍යායාම් සඳහා මනාව සකස්‌ කළ "ජොගින් ට්‍රැක්‌ස්‌" වලින් අද ඒ මුළු පරිසරයම මනාව සැකසී ඇත්තේය.

කලක්‌ වල්බිහි වී ගරා වැටී මදුරුවන්ගේ හා රස්‌තියාදුකාර කුඩ්ඩන්ගේ පාරාදීසයක්‌ව තිබූ අහිංසකයන්ගේ ආරාමය නම් තැන අද ඉතා සුන්දර උද්‍යාන වගාවන් විකුණන කඩපිලකි. තවමත් එහි වැඩ හමාර කර නොමැති ගානය. 


එතැන් සිට පටන් ගන්නා ව්‍යායාම් කරන්නන්ගේ පාරාදීසය ඈතට ඈතට විහිද ගොස්‌ ඇත්තේ අතීත කෝට්‌ටේ රජ දහනේ පස්‌පියුමින් සුසැදි විල්දිය කඩිති සිහිගන්වන දියකඩිති හා ලියගොමු තුරුලතා වලින් පිරි දූපත් අතරිනි. 

තවමත් අවසානයක්‌ දක්‌වා වැඩ නිම වී නැති මේ බිමෙහි දැන් දිනකට දහස්‌ ගණනක්‌ ජනයා ව්‍යායාම් කරති. ව්‍යායාමයට ඇවිද යති. මේ බිමේ සියලු පාලනය, සුද්ධ පවිත්‍ර කිරීම් හා ආරක්‍ෂාව අද කඩුවෙල නගර සභාවේ සභාපති බුද්ධදාස මහතා භාරගෙන තිබීමම විශේෂත්වයකි.

මේ විල්, ලියගොමු, තුරුලතාවන්ගෙන් පිරි දූපත්, ජල තලාවන් හා තණපි ටිවලින් පිරි පරිසරය තුළ අද වඩාත් මන් මත් වී ඇත්තේ ඡායාරූප ශිල්පීන්ය. ඒ සියලුම දෙනා අද මංගල ඡායාරූප ගැනීමට නව යුවතිපතින් සමඟ පැමිණෙන පාරාදීසයක්‌ බවට මේ බිම පත් වී හමාරය. 



නැකත් දිනක උදේ පාන්දර මේ බිමට පැමිණියහොත් එසේ ඡායාරූප ගැනීමට පැමිණි මනාල මනාලියන් ජෝඩු විසි තිස්‌ ගණනක්‌ එකම බිමක දැක බලා ගැනීමේ දුර්ලභ වාසනාව ඔබට මේ බිමේදී අත්විඳීමට හැකි වනු නිසැකය.

අද මේ බිමෙහි කිසි තැනෙක ජල ගැලීම් නැත. මනා සේ වැසි වතුර බැස යන ජල කළමනාකරණයක ආරක්‍ෂාවෙන් සියල්ල සුරක්‍ෂිතය. කුණු රොඩු නැත. දුගඳ හමන මළකුණු නැත. තැන තැන අනවශ්‍ය පරිදි පෙම් කෙලින නොගැලපෙන වයස්‌ කාණ්‌ඩවල ජෝඩු නැත.

සෑම තැනකම ඇත්තේ සුන්දරත්වයයි. සිත පිනවන ආකර්ශණය නෙත නලවන ගත සනහන ශාන්ත සුවදායක මිහිරෙහි නිරාමිස සුවයයි.



- බුලිත ප්‍රදීප් කුමාර
 
Related Posts with Thumbnails