Ads 468x60px

.

ලෝකාන්තයෙන් වැටුණු කෙනකුගේ මළසිරුර ගෙන ඒමට රුපියල් අසුදහසක්‌...

ඒ නිසා ලෝකාන්තයට පනින්න පෙර සිතා බලන්න...

වසරක්‌ පාසා ලෝකාන්තයට පැන සියදිවි නසා ගන්නා අය ගැන මාධ්‍ය මගින් ජනතාවට දැන ගන්නට ලැබෙනවා. මෙම මරණ සිදුවීමෙන් පසුව මෘත ශරීර සොයා ගන්නා අයුරුත් ඒවා අදාළ පරීක්‌ෂණ සඳහා ගෙන එන ආකාරයත් ගැන ඇසෙන කතා ඉතා ශෝචනීයය. 

ඒ සැමටත් වඩා මියගිය අයගේ ඥතීන් විඳින හිරිහැර සහ ආර්ථික අපහසුතා පිළිබඳව මෙම සැඟවුණු අදහස්‌ අපට හෙළි කළේ බළන්ගොඩ නාගරික හදිසි මරණ පරීක්‌ෂක එච්. ඩී. රූබන් පීරිස්‌ මහතාය.

අවුරුද්දකට ලෝකාන්තයට පැන්න අයගේ මරණ කීපයක්‌ ගැනම පරීක්‌ෂණ පවත්වන්න යන්න සිදු වෙනවා. පසුගිය දිනක අවුරුදු 70 ක කාන්තාවක්‌ මෙසේ මියගියා. 


 
එම මළසිරුර සොයාගත් පසු (මහ පාරට) වාහනයක්‌ යා හැකි ස්‌ථානයකට ගෙන ඒමට කිලෝමීටර් දහයක්‌ පමණ පයින් යා යුතුයි. ගිරිදුර්ග, වන දුර්ග, ගල්පර සහ දිය කඩිතිවලින් බේරී ගමන් කිරීම අති දුෂ්කරය. 

මෙම කාර්යය සඳහා කරිවත්ත, නන්පෙරිල්වත්ත යන ප්‍රදේශවල ද්‍රවිඩ වැසියන්ගේ සහාය ලබාගන්නේ ඔවුන් යා යුතු මාර්ගය දන්නා බැවිනි.

පසුගිය දිනක පැන්න කාන්තාවගේ මෘත ශරීරය ගෙන ඒමට රුපියල් අසුදහසක්‌ පමණ ඔවුන් ඉල්ලා සිටියා. මෙහිදී ඥතීන් අත එතරම් මුදලක්‌ නොතිබූ හෙයින් ඉන් අඩක්‌ ලබාදී ඉතිරි මුදල සිරුර ගෙනවිත් දුන් පසු ලබාදෙන බව කීවත් ඔවුන් ඊට එකඟ නොවී මඳ දුරක්‌ ගෙන ආ සිරුර එහි තබා මුදල් ගෙන යැමට පුද්ගලයන් දෙදෙනකු පැමිණියා. මේ හේතුව නිසා මෙම සිරුර ගෙන ඒමට දිනක්‌ ප්‍රමාද වුණා.

මේ වසරේදීම විදේශිකයකුගේ මළසිරුරක්‌ ගෙන ඒමට මොවුන් රුපියල් හැටපන්දහසක්‌ මිල නියම කළා. තවත් ඉතාමත් දිළිඳු පවුලක පුද්ගලයකුගේ ඥතියකුගෙන් සිරුර ගෙන ඒමට මෙම වසරේදීම රුපියල් හතළිස්‌දහසක්‌ ලබා ගත්තා. 


මෙම තත්ත්වය නිසා සියදිවි නසා ගන්නට ලෝකාන්තයට පැනීම සිදු කරන අයට ජීවත් වන අය සාප කරන අවස්‌ථාද අපි අහල තිබෙනවා. එනිසා යම් හෙයකින් ලෝකාන්තයෙන් වැටුණු කෙනකුගේ මළසිරුර ගෙන ඒමට යුද හමුදාවේ හෝ සහාය ලබා ගැනීමට යම් වැඩපිළිවෙළක්‌ යෙදීම ඉතාම වැදගත්. 

මෙවැනි මරණයක්‌ සිදුවූ අවස්‌ථාවලදී ඔවුන්ගේ ඥතීන් විඳින අපමණ පීඩාවන් මෙතකැයි කියා නිමකළ නොහැකි කනගාටුදායක තත්ත්වයක්‌ බවද මරණ පරීක්‍ෂකවරයා පැවසීය.

සියදිවි නසා ගැනීම පහසුය. ජීවත් වීම අපහසුයි. එහෙත් සතුන්ට වඩා බුද්ධියක්‌ නුවණක්‌ තිබෙන මිනිසාට සියදිවි නසා ගන්නට සිතක්‌ පහළ වූ විට දෙවරක්‌ සිතා බලන්න හැකියි. 


අපහසුවෙන් වුවද ජීවත්වීම උදාර ගුණයක්‌ බවද මෙනෙහි කරන්න යෑයි ලෝකාන්තයට ආසන්න බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාම විහාරාධිපති පූජ්‍ය පණ්‌ඩිත කොස්‌ගම විනීතජීව ස්‌වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම ශෝචනීය තත්ත්වය පිළිබඳ කරන ලද කතාබහකදීය. 

 
Related Posts with Thumbnails