Ads 468x60px

.

මම රඟපාන්නේ නිර්මාණයක් කොලිටිනම් විතරයි...

සිහින පුරයේ හිමාෂි ලෙසින් ඔබ හමුවට එන ප්‍රතිභා හෙට්‌ටිආරච්චි මේ වසරේ පැවැති රයිගම් හා ඕසීඅයිසී ටෙලි සම්මාන උළෙලවලදී හොඳම සහාය නිළියට හිමි සම්මානයට දෙවරක්‌ නතුවෙනවා. හැකියාවන් රැසක්‌ කරපින්නාගෙන රංගනයට පිවිසි ප්‍රතිභා සමග කරන ලද කතාබහකි.

ප්‍රතිභා අවුරුද්දට දෙවතාවක්‌ අගැයීම ගැන මොකද හිතන්නේ ?

ගොඩක්‌ සන්තෝෂයි. මේක පොඩි කාලේ ඉඳන් දැකපු දෙයක්‌. මම අනන්තවත් වේදිකා නාට්‍ය බලලා ඇති. ඒ වගේම ටෙලිනාට්‍ය සහ චිත්‍රපටත් නැරඹුවා. ඒවත් එක්‌ක තමයි කලාවට යොමුවෙන්න හිතුණේ. මේ අවුරුද්දේ සම්මාන දෙකක්‌ ලැබීම ලොකු ජයග්‍රහණයක්‌.



ඔබට ලැබුණු සම්මාන සාධාරණයි කියලා හිතනවාද?
ඔව්.



හැබැයි තවමත් ඔබ මෙතැනට ආධුනිකයි ?
ඔව්. ආධුනිකයි. මම හිතන්නේ සම්මානයක්‌ ගන්න ආධුනිකද ප්‍රවීණද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඒ වගේම වයසින් ලොකුද පොඩිද කියන කාරණාවත් නෙමෙයි. නිර්මාණයේ චරිතයට කොතරම් දුරට සාධාරණයක්‌ ඉටුකරනවාද නැද්ද යන්නයි වැදගත්. නැතුව ඔහු ප්‍රවීණද ආධුනිකද යන කාරණාව නොවේ වැදගත්.


සැණකෙළියයි මායා හි වින්දිට ඔබ සාධාරණයක්‌ ඉටුකළා කියලා හිතනවාද?

පැහැදිලිවම. මේ සම්මාන දෙකෙන්ම ඒක ඔප්පුවෙලා තියෙනවා.

සාධාරණයක්‌ කරන්න පුළුවන් චරිත ලැබෙනවා කියලා හිතනවාද?

මම කරපු නාට්‍යවල විවිධ චරිත කරන්න අවස්‌ථාව මට උදාවුණා.

ඔබ රඟපාන්නෙත් සම්මාන බලාගෙනද?

මම රඟපාන්නේ සම්මාන බලාගෙන නෙමෙයි.


සම්මානයක්‌ වෙනුවෙන් ඕනෑම දෙයක්‌ කරන උදවියත් ඉන්නවානේ ?

ඔව් ඉන්නවා.


ඔබත් ඒ අයගේ නියෝජනයක්‌ද ?

නැහැ. නැහැ. මම සම්මාන ගන්න නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්‌ නෙමෙයි. මම දැනට තොරතුරු තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ ගුරුවරියක්‌ විදිහට සේවය කරනවා. ඒ හින්දා හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්නේ නැහැ. තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ. අනික එහෙම වැඩකරන්න කාලයකුත් නැහැ. ඉතිං ඒ හින්දා මම සම්මාන බලාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ආත්ම තෘප්තියටයි රඟපාන්නේ.

තාත්තා ජනප්‍රිය නළුවෙක්‌, අම්මා කලා ගුරුවරියක්‌. ඒ හින්දා ද දුව නිළියක්‌ වෙන්න හිතුවේ ?

එහෙම නැහැ. මම පොඩි කාලේ ඉඳන් රංගනයට ආසයි. ඉස්‌සර සතියේ දවස්‌ පහේම වේදිකා නාට්‍ය බලන්න යනවා. ඒවත් එක්‌ක මට පොඩි ආසාවක්‌ ඇතිවුණා රංගනයට. හැබැයි අම්මයි තාත්තයි මට පාසල් කාලයේ ඒවාට සම්බන්ධ වෙන්න ඉඩ දුන්නේ නැහැ. මොකද අධ්‍යාපනය කඩාකප්පල් කරගනීවි කියලා. විශේෂයෙන් අම්මා මට යන්න දුන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ තුන්වැනි වසරේදී තමයි රංගනයට සම්බන්ධ වුණේ.

ඉගෙනගත්තු දේවලින් මීට වඩා දුර ගමනක්‌ යන්න පුළුවන් නේද?

මම තවමත් ඉගෙනගන්නවා. තොරතුරු තාක්‍ෂණයෙන් උපාධිය සම්පූර්ණ කළා. ඊට අමතරව කටුබැද්ද විශ්වවිද්‍යාලයේ මූල්‍ය ගණිතයෙන් එම්. එස්‌. සී. එක හදාරනවා. රංගනයේ නියෑළුණාට මම තවමත් ඉගෙන ගන්නවා.

දක්‍ෂ නිළියකට වඩා ගොඩක්‌ දෙනා බලන්නේ ජනප්‍රිය නිළියක්‌ වෙන්න. ඔබට ඒ හීනය නැතිද?
අපොයි නැහැ. මට ජනප්‍රිය වෙන්න වුවමනාවක්‌ නැහැ. මට ඕනෑ මම කරන නිර්මාණවල චරිතවලට උපරිම සාධාරණයක්‌ ඉෂ්ට කරන්න. ජනප්‍රිය වෙන්න වුවමනාවක්‌ නැහැ. එහෙනම් මට ලැබෙන හැම නිර්මාණයක්‌ම භාරගන්න ඕනෑ.

ඔබ වේදිකාවටත් සමීපයි කියල ආරංචියි ?

මම මුලින්ම ආවෙත් වේදිකාවෙන් තමයි. රංගනය පිළිබඳ පොඩි හැකියාවක්‌ හරි තියෙනවා කියලා අවබෝධ වුණේ පාසලේ වේදිකාවට සම්බන්ධවීමෙන් පසුව. මම පාසල් ගියේ විශාඛා විද්‍යාලයට. එහිදී මම කරපු වේදිකා නාට්‍යයකට මට සම්මාන පහක්‌ ලැබුණා. ඒත් එක්‌කම දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා නාට්‍යයේ ගමදුවගේ චරිතයට සම්බන්ධ වෙන්න ලැබුණා. දැනට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කණ්‌ඩායමේ ඉන්නවා.


තාත්තාගේ දැනහැඳුනුම්කම් මත ප්‍රතිභා නිර්මාණවලට දායක වෙන්නද සූදානම ?

කොහොමත් තාත්තා ක්‍ෂේත්‍රයේ හැමෝම දන්නවා. දැනහැඳුනුම්කම් මත නෙමෙයි නිර්මාණයේ තියෙන කොලිටි එකත් එක්‌කයි මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ.


ඔය කියන විදිහේ කොලිටි නිර්මාණ දැන් තියෙනවාද ?

ඕනෑතරම් තියෙනවා.

ඔබ කොහොමද කොලිටි එක මනින්නේ ?

නිර්මාණයක මූලික වෙන්නේ පිටපත. නිර්මාණයක 75% ක්‌ ගොඩගන්න පුළුවන් පිටපතෙන්. අපිට පිටපතක්‌ දුන්නහම ඒක කියවන කොට සිද්ධි තියෙනවා නම්, අවස්‌ථා තියෙනවා නම් ඒ පිටපත සාර්ථක පිටපතක්‌. ඉතුරු 25% සම්පූර්ණ කරන්න ඕනෑ රංගන ශිල්පීන්ගෙන්, අධ්‍යක්‍ෂවරයාගෙන්. පිටපතක්‌ බැලුවහම ඒ නිර්මාණය හොඳද නැද්ද කියලා කියන්න පුළුවන්.


එතකොට අත්දැකීම් අදාළ නැතිද?

මට අත්දැකීම් අදාළ නැහැ. මුලින්ම රඟපෑ නාට්‍යයේ විදිහට නෙමෙයි දැන් නාට්‍යයක රඟපාන්නේ.


පිටපතක්‌ හොඳද නරකද කියන්න පුළුවන් තරම් ඔබට අත්දැකීම් තියෙනවාද?

මට අත්දැකීම් තියෙනවා කියලා හිතනවා. තාත්තත් ඒකට ගොඩක්‌ උදව් කරනවා. මම පිටපතක්‌ කියවනවා නම් තාත්තත් ඒක කියවනවා. තාත්තා අනුමත කරන්නේ නැතිනම් මම හා කියන්නේ නැහැ. මටත් පිටපත ගැන යම් අවබෝධයක්‌ තියෙනවා කියලා හිතනවා.


තාත්තාගේ අවසර නැතුව දුවට තීරණයක්‌ ගන්න බැහැ වගෙයි ?

ඔව්. එහෙම දෙයක්‌ තියෙනවා. මොකද මම කැමැති නිර්මාණවලට තාත්තා මාව යවන්නේ නැහැ. අවසන් තීරණය දෙන්නේ තාත්තා. ඒ නිසා මට ආසා නිර්මාණ තිබුණත් තාත්තා මට සම්බන්ධ වෙන්න දුන්නේ නැහැ.


මේ සම්මාන දෙක ලැබුණෙත් තාත්තාගේ තීරණයක්‌ හින්දද?

වෙන්න ඇති. මම නාට්‍යයකට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ තාත්තා.

 
Related Posts with Thumbnails