Ads 468x60px

.

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ ඊයේ (14) සවස යළිත් කැළඹේ...

කාන්තාවන් කී දෙනකු නම් ඒ ඝාතකයන් ගේ ගොදුරු බවට පත් වූයේද..? 

තවත් කාන්තාවන් කොතරම් පිරිසක් ඊට ගොදුරුවේදැයි කාට නම් කිව හැකිද...?

ඊයේ සවස පිහියක් අතැති පුද්ගලයෙකු දැක බියට පත්වූ පනස් හැවිරිදි කාන්තාවක විසින් තමන් බේරා ගන්නා ලෙස කෑගැසීමට පටන්ගෙන තිබෙනවා. එවිට අදාළ පුද්ගලයා පළාගොස් ඇති අතර එම පුද්ගලයා යම් ඝාතනයක් සඳහා පැමිණ ඇතැයි ප්‍රදේශවාසීහු පවසනවා.

ඔහු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව විශේෂ මෙහෙයුමක් සිදුකර ඇතත් ඔහු සොයාගැනීමට නොහැකිවී තිබෙනවා.

මේ වනවිට කොටකෙතන ප්‍රදේශයේ හමුදා කඳවුරක් සහ එස්.ටී.එෆ්. කඳවුරු දෙකක්ද ඉදිකර ඇති අතර ඒවායෙහි හමුදාවේ සහ පොලීසියේ 700 දෙනෙකු පමණ සිටින බවද වාර්තා වෙනවා.

දිගින් දිගටම කොටකෙතන හා ඒ අවට ප්‍රදේශවල කාන්තාවන් එක රැල්ලට ඝාතනය වෙද්දී කොතරම් වෙහෙසුණද මේ අපරාධ රැල්‍ලේ යථා ස්වරූපය නිසි අයුරින් හඳුනා ගැනීමට ‍පොලීසියට
අදත් නොහැකිව තිබේ. එහි ජනයා තුළ මෙම අපරාධ රැල්ල පිළිබඳ ගුප්ත විශ්වාස ගොඩනැඟී ඇත්තේ ද එනිසාම ය. 

එවැනි ගුප්ත විශ්වාස පදනම් කොට ශාන්ති කර්ම ආදිය සිදු කිරීමෙන් පසුව එම ප්‍රදේශයේ ජනතාව විශ්වාස කළේ එමගින් හෝ මෙම ඝාතන රැල්ල නවතිනු ඇතැයි යන්න ය. එහෙත් එවැන්නක් සිදු වූ බවක් නොපෙනේ.

ඒ සමඟම මෙම ඝාතනවලට සැකකරුවන් වශයෙන් යම් යම් පුද්ගලයන් අත්අඩංගුවට පත් වෙද්දී විවිධ මාධ්‍යයන් තුළින් පවා ප්‍රචාරය වූයේ කහවත්තේ ඝාතන රැල්ල එතකින් නිමා වූ බවකි. 


ඒ ආකාරයෙන් අවසාන ඝාතනය යැයි අවධාරණය කෙරුණු ඝාතනයන්ට පසුව තව කාන්තාවන් කී දෙනකු නම් ඒ ඝාතකයාගේ හෝ ඝාතකයන් ගේ ගොදුරු බවට පත් වූයේද..? තවත් අහිංසක අසරණ කාන්තාවන් කොතරම් පිරිසක් අනාගතයේදී ඊට ගොදුරුවේදැයි කාට නම් කිව හැකිද..?

මෙම කාන්තා ඝාතන පසුපස කිසියම් දේශපාලන හස්තයක් ඇතැයිද රාවයක් පවතී.  එමෙන්ම සැබෑ ඝාතකයන් නීතියට නතුකර ගැනීමට එරෙහි  දේශපාලන බලපෑම් ඇති බවක්ද පැවසේ. නමුත් ඒවා එතරම් ප්‍රබල සාධක ලෙස නොහැඟේ.  


ඒ මුල් ඝාතන පෙළ ආරම්භයේ පටන්ම ‍පොලිස් ඇස ඉතා තීව්‍ර ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් හැකි උපරිමයෙන් අපරාධකරුවන් කොටුකර ගන්නට උත්සාහ ගැනුණු බැවිනි. මේ උත්සාහයේ වර්ධනයක් මිස අඩුවක් නොවිණි. එහෙත් කුමන හෝ ආකාරයකින් කහවත්ත අවට කාන්තා ඝාතන රැල්‍ලේ නිමාවක් පිළිබඳ සේයාවක් හෝ පෙනෙන්නට නොතිබුණි. 

ඒ අනුව මෙම අපරාධ රැල්‍ලේ සැබෑ මුහුණුවර හඳුනා ගන්නට දැරූ සියලු උත්සාහයන් හා උපක්‍රම නිසි ලෙස පලදරා නොමැති බව පැහැදිලිය. ඒ අනුව  මෙම කාන්තා ඛිෙදවාචක දාමය පිටුදැකීම පිණිස කුමක් කළ යුතුද යන්න පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත් ය. මා අදහස් කරන පරිදි එහිදී කළයුතු ප්‍රධාන දෙයකි. ඒ අපරාධකරුවන් කොටුකර ගැනීමට නව මානයක් කරා යොමු වීමය.

එහිදී බටහිර රටවල ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක ප්‍රජා ‍පොලිස් සේවාව (Commiunity Policing) අප රටට ද ගැලපෙන ආකෘතියකින් හඳුන්වාදීම ඉතා වැදගත් ය. සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීම වැනි ප්‍රජා ‍පොලිස් සේවාවේ මූලික අංග මේ වනවිට ක්‍රියාත්මක වීම සතුටට කරුණකි. එහෙත් ඒ මාවත ඔස්සේ යාහැකි තවත් දුර ගමනක් තිබේ.
  
කහවත්ත අවට ඝාතන සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කිරීමට මෙම කාන්තා මිනීමැරුම් දාමයේ සැබෑ ස්වරූපය වටහා ගැනීමට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සේම මෙවන් අපරාධ නිවාරණය කරගැනීමට ද එය බෙහෙවින් ඉවහන් වනු ඇත.ප්‍රජා ‍පොලිස් සේවාව අප දන්නා සාමාන්‍ය සේවාවේම එක් අංගයකි. එහෙත් එය සාමාන්‍ය ‍පොලිස් රාජකාරිවලින් මඳක් වෙනස්ය. 


ප්‍රජා ‍පොලිස් සේවය ස්ථාපනය කෙරෙන  ප්‍රදේශයේ ප්‍රජාව අතරට වෙනස් අයුරින් පිවිසෙන ‍පොලීසිය සාමාන්‍ය ජනතා මුහුණුවරකින් ගොස් ඔවුන් හා ඉතා සමීප ඇසුරක් ඥාතීත්වයක් ගොඩනගා ගැනීම මෙහිදී සිදු කෙරේ. මේ සඳහා එම ප්‍රජාව නියෝජනය කරන සියලු තරාතිරම්වල  ජනයා සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත් ය.

ශ්‍රී ලංකාවට ‍පොලිස් සේවය හඳුන්වා දුන්නේ යටත් විජිත පාලකයන්ගේ අවශ්‍යතාවයන්ගේ පාරිපාලනමය පහසුව තකාය. එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ ‍පොලිස් සේවය මහජන සේවාවක් වශයෙන් යහපත් ඉදිරි ගමනක් පැමිණ තිබේ. එය සතුටට කරුණකි.  


එහෙත් අතීතයේ සිට ‍පොලිස් නිල ඇඳුමට බැටන් ‍පොල්ලට සාමාන්‍ය ගැමි ජනතාව තුළ පැලපදියම්ව ඇති භීතියේ ශේෂ මාත්‍ර අදද දක්නට ලැබේ. ඒ අනුව ‍පොලීසිය ප්‍රජාව අතරට යාමේදී ‍පොලීසිය සම්බන්ධයෙන් ජනතාව තුළ පවත්නා සාම්ප්‍රදායික ආකල්ප සිඳ බිඳ දැමීම පිණිස වන උපාය මාර්ග හැඳිනගත යුතු ය.

ගම්බද භාෂාවෙන් කිවහොත් බුලත් හෙප්පුව දීම වශයෙන් සැලකිය හැකි සුහදශීලීත්වය මෙහිදී ඉතා වැදගත් ය. අපේ සංස්කෘතියට අනුව ජනතාව ඥාතීත්වයෙන් හැඳින්වීම ද ඉතා වටියි. එසේ කිරීමේදී ඇතිවන සමීප බව නිසාම ඕනෑම දෙයක් ඥාතියකුට මිතුරකුට පවසන ආකාරයෙන් ප්‍රජා ‍පොලිස් සේවා නිලධාරීන් හා පැවසීමේ හැකියාව ජනතාවට ලැබේ. 


ඒ සඳහා නිල ඇඳුම බාධකයක් නම් ඔවුන් සිවිල් ඇඳුමින් සැරසීම වුව යෝග්‍ය ය. අදාළ සංසිද්ධිය පිළිබඳ යෝග්‍යතාවය අනුව මෙය ‍පොලිස් බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය ද අභිබවා ප්‍රතිඵල ලද හැක්කක් වනු ඇත.

ලොව බොහෝ රටවල සමහර අපරාධ දාමයන් සම්බන්ධ විමසුම්වල දී පෙනී යන්නේ ඒවා කිසිසේත් නොසිතන පිරිස් විසින් කරන ලද්දක් බව ය. එවන් කරුණු අනාවරණය කර ගැනීම පිණිස වැඩවසම් යුගයේ පටන් ‍පොලීසිය හා මහජනතාව අතර පවතින දුරස් බව අවම කරමින් ‍පොලීසිය හා මහජනතාව අතර සැබෑ සුසංයෝගයක් ඇතිකරලීම අත්‍යවශ්‍යවේ.


මෙහිදී මේ ඝාතනයන්ට මුහුණ දී ඇත්තේත් මෙම ගැටලුවේ දී වඩාත් සංවේදී වන්නේ කාන්තාවන් ය. එබැවින් එම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රජා ‍පොලිස් සේවාවට අනුයුක්ත වූ කාන්තා ‍පොලිස් නිලධාරිනියන්ගෙන් ද සැදුම්ලත් ප්‍රජා ‍පොලිස් ඒකකයක් පිහිටුවීම කළ හැකිය. 


කහවත්ත හා අවට ප්‍රදේශවල මහජනතාව හා මෙම ප්‍රජා ‍පොලිස් ඒකකය අතර සුසංවාදයක් ගොඩනැගීම ඔස්සේ මතෛක් හෙළි නොවූ බොහෝ කරුණු හෙළිදරවු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. අපරාධ රැල්ලට අදාළ විඥානමය සංදර්භය වටහා ගැනීමට ඔවුනට හැකි වනු ඇත.

මෙම සියලු ඝාතනයන් මෙම පරිසරයට ආගන්තුක බලපෑමකින් සිදු නොවන බව මූලික වශයෙන් පෙනේ. ඒ අනුව ඝාතන සැලසුම් කිරීම් හා ඝාතන සියල්ල සිදුවන්නේ ද කහවත්ත අවටම පවතින මතෛක් හරිහැටි අනාවරණය නොවූ කුහුලක් මතය. 


මෙම සුසංවාදය අතිශය වැදගත් වනුයේ එබැවිනි.  ඒ ආකාරයෙන් ඇති සාමාන්‍ය පුද්ගලයන් සාමාන්‍ය කාන්තාවන් ලෙස ග්‍රාමීය ප්‍රජාව තුළට සුහදශිලීව පිවිසෙන ‍පොලිස් නිලධාරීන් සහ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රජා ‍පොලිස් සේවයකට කහවත්තේ කෲර කාන්තා ඝාතන රැල්ලට නැවතීමේ ලකුණ තැබිමට බොහෝ විට හැකිවනු ඇත.
 
Related Posts with Thumbnails