Ads 468x60px

.

ලග්ගලින් අපුරු පාසලක් අපුරු විදුහල්පතිවරයෙක්...

මුළු පාසලටම දරුවන් දෙන්නයි...  
ගමෙන් සොයාගත් තවත් වයස අවුරුදු හතරක දරුවෙක්....

අවුරුදු හතරේ දරුවාට පෙර පාසල් අධ්‍යාපනය...
ලබන වසරේ ඒ දරුවා පළමු වසරට... 

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, විල්ගමුව අධ්‍යාපන කලාපයේ පිහිටි අතිශය දුෂ්කර පාසලක් වන මඩුමාන ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන්නේ සිසු දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට අකුරු උගන්වන්නේ එහි විදුහල්පති එම්.එම්.ඩී.ජයසිංහ මහතාය.

විදුහල්පති තනතුරට අමතරව මෙම දරු දෙදෙනාගේ ගුරුවරයා ද වන ඔහු ගමෙන් සොයාගත් තවත් වයස අවුරුදු හතරක දරුවෙක්ට ස්වේච්ඡාවෙන් පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙයි.

වයස අවුරුදු නවයක් වන දිනෙෂ්කා නිසංසලා විජේසිංහ සිසුවිය සහ සංජීව ප්‍රසන්න බණ්ඩාර ඉගෙනුම ලබන්නේ 4 වැනි වසරේය. 

මෙය ප්‍රාථමික පාසලක් බැවින් මෙම සිසුවා හා සිසුවිය ලබන වසරේ 5 වැනි ශ්‍රේණිය සඳහා වෙනත් පාසලකට ඇතුළත් විය යුතුය. එවිට සිසුන් නැති මෙම පාසල වැසී යයි.විදුහල්පතිතුමා ඊට කොහෙත්ම සතුටු නැත. 


එබැවින් ඔහු රශ්මික ප්‍රසාද් නැමැති වයස අවුරුදු හතරේ දරුවාට පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙයි. එවිට ලබන වසරේ ඒ දරුවා මෙම පාසලේ පළමු වසරට ඇතුළත් කර ගෙන පාසල පවත්වා ගෙන යා හැක. 

විදුහල්පති ජයසිංහ මහතාගේ අරමුණ එයයි. ඔහු නැවතී සිටින්නේ ‘රාවනා’ නැමැති ගමේය. දිනපතා පාසලට එන්නේ කිලෝමීටර් දෙකහමාරක් දුර මහ කැලය මැද්දෙන් පාපැදියක් පැදගෙනය. ඒ එන මගේ වන අලින් බොහෝ වෙති. 

එම තත්ත්වය විදුහල්පතිතුමාගේ ජීවිතයට විශාල අනතුරකි. මඩුමාන ගමේ ජීවත් වන්නේ බොහෝ දුප්පත් පවුල් 45කි. එම පවුල්වල දරුවෝ ඉගෙන ගන්නේ ගමෙන් පිට ඥාති ගෙවල්වල නැවතී ගෙනය. 

දැනට 4 වසරේ ඉගෙන ගන්නා දරු දෙදෙනාට ඥාති ගෙවල් නැති නිසාත්, බොහෝ දුප්පත් නිසාත් මෙම පාසලේ ඉගෙනුම ලබති. මාර්ග පහසුකම්, විදුලිය හෝ ජල පහසුකම් නැති මේ ගම පිහිටා ඇත්තේ කඳුවැටියක් බෑවුමේ ය.මෙම ගමට කිට්ටුවෙන් පිහිටා ඇති අධ්‍යාපන කාර්‍යාලය ඇත්තේ විල්ගමුවේය. ඊට දුර ප්‍රමාණය කිලෝ මීටර් 30ට මඳක් වැඩිය. 

මධ්‍යම පළාතේ වත්මන් මහ ඇමැති හා එහි අධ්‍යාපන ඇමැති ධූරය හොබවන සරත් ඒකනායක මහතා දේශපාලනයට එන්නට පෙර උප ගුරුවරයෙකි. ඔහුට පළමු පත්වීම ලැබී ඇත්තේ මේ පාසලටයි. එබැවින් මෙහි වර්ථමාන තත්ත්වය එතුමා දුටුවහොත් නිසැකව මෙම පාසලට පිහිට වන බව මඩුමාන ගමේ වැසියෝ විශ්වාස කරති.
 
Related Posts with Thumbnails