Ads 468x60px

.

මම ජනප්‍රිය වුණේ අවුරුදු දොළහකට කලින් - ශෂිකා...


මට අමුතුවෙන් ජනප්‍රියත්වයක්‌ අවශ්‍ය නැහැ...

ටික දවසකට හරි මම ඒ සිහිනය සැබෑකරගත්තා... 
දුකක්‌ නැහැ...

ගායන ක්‍ෂේත්‍රය ජයගැනීමට ඇයට ශක්‌තියක්‌ වුණේ තුරුණු ශක්‌ති සෞන්දර්ය චාරිකාවයි. බහ තෝරන වියේදීම ගීත ගායනා කරමින් පසුකාලීනව දිවයිනේ ජනප්‍රියතම ගායිකාවක්‌ වෙමින් සංගීත ක්‍ෂේත්‍රයේ ගැඹුරු හැදෑරීම් තුළින් දිගු ගමනක්‌ පැමිණි ඇය අප සමග මෙලෙස එකතු වුණේ සුහද පිළිසඳරකටයි. ඇය නමින් ශෂිකා නිසංසලා

මෑත කාලයේ රසිකයින් අතර ඔබව වැඩි කතාබහකට ලක්‌වෙලා?
මගේ අලුත් ගීතය "හුස්‌මක්‌ දුරින් "විකාශය වන නිසා තමයි ඒ වෙනස ඇතිවෙලා තියෙන්නේ. දිලාන් ගමගේගේ පද රචනාවක්‌ වුණ මේ ගීතය සංගීතවත් කළේ උදාර සමරවීර. රූප රචනය චමු ශ්‍රී.



ඔබේ හැඟීමට අනුව ගීතයකට රූප රචනාවක්‌ අවශ්‍යමද?
මගේ මුල්ම ගීත සියල්ලම ජනප්‍රිය වුණේ ගුවන් විදුලි නාලිකා හරහා. ඒ නිසා ඒ එක ගීතයකටවත් රූප රචනාවක්‌ කරන්න අවශ්‍ය වුණේ නැහැ. නමුත් අද රූපවාහිනි මාධ්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන නිසා රසිකයින් කැමැතියි ගීතය වීඩියෝවක්‌ සමග නරඹන්න.

නමුත් ඔබ මේ ගීතයට විෂුවල් එකක්‌ කරන්න බලාපොරොත්තු වුණේ නැහැ?
ඔව්. ඇත්තටම "හුස්‌මක්‌ දුරින්" ගීතයට විෂුවල් එකක්‌ කරන්න කියලා මාව පෙළඹුවේ අන්තර්ජාලය හරහා මගේ අලුත් ගීත අහන රසික පිරිස.

 ඔබ ඒ විෂුවල් එක සඳහා රංගනයෙන් දායක වුණේ ජනප්‍රියත්වයක්‌ බලාපොරොත්තුවෙන්ද?
මට අමුතුවෙන් ජනප්‍රියත්වයක්‌ අවශ්‍ය නැහැ. මොකද මීට අවුරුදු දොළහකට කලින් තුරුණු ශක්‌ති වේදිකාවෙන් තමයි ශෂිකා නිසංසලා කියන්නේ කවුද කියලා රසිකයෝ හඳුනගත්තේ. නමුත් මම මේ විෂුවල් එකට පෙනී සිටින්න හේතුවුණේ මට ඕන වුණා රසිකයන්ට රූප රචනය නරඹන විට ගීතය ගායනා කරන්නේ කවුද කියලා පෙන්නන්න. එහෙම නැතුව මගේ මූණ පෙන්නන්න අවශ්‍ය වුණේ නැහැ.

විෂුවල් එකක්‌ කළොත් ඕනම ගීතයක්‌ ජනප්‍රිය කරන්න පුළුවන් කියන මතයේ ඔබ සිටිනවාද?
ඒ කතාව මම කොහෙත්ම පිළිගන්නේ නැහැ. මොකද අපේ රටේ ඕන තරම් තියෙනවා විෂුවල් කරපු ගීත ජනප්‍රිය නොවුණු ඒවා. නමුත් මෙහෙම වෙන්න පුළුවන්. සින්දුවක්‌ ගායනා කරන්න තියා පද ටිකක්‌ ගළපලා කියාගන්න බැරි ඕනම පුද්ගලයෙකුට ලක්‍ෂ ගණනක්‌ වියදම් කරලා ගීතයකුත් එක්‌ක විෂුවල් එකක්‌ එළිදක්‌වන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් ඒ හැමතැනදීම ජනප්‍රියත්වයක්‌ ලැබෙන්නේ නැහැ.

ඒ තත්ත්වයම නේද අද රියෑලිටි තරග ඔස්‌සේ ඉස්‌මතු වෙන සමහරකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ?
බොහෝ විට වෙන්න පුළුවන්. කොහොමත් අද රියෑලිටි ෂෝවලින් ඉස්‌මතු වෙලා ඉන්නේ ජයග්‍රහණය කළ අය නොවෙයිනේ. බොහෝ දෙනා කරන්නේ ගුණාත්මක බවින් අඩු මොකක්‌ හරි සරල නිර්මාණයක්‌ එළියට දාලා ජනප්‍රියත්වයක්‌ බලාපොරොත්තු වෙන එක. අන්තිමට වෙන්නේ සාර්ථක ගමනක්‌ යන්න තියෙන මග අහුර ගන්න එක විතරයි. 

ඔබ ගීත තෝරා ගැනීමේදී විශේෂ ක්‍රමවේදයක්‌ අනුගමනය කරනවද?
බොහෝ විට මම ගෘහස්‌ථ හා එළිමහන් ප්‍රසංගවලට සහභාගි වන නිසා ඒ දෙකටම ගැළපෙන ගීත නිර්මාණය කරනවා. මම කැසට්‌ පට තුනක්‌ම කළේ ආධුනික ගායිකාවක්‌ ලෙස. ඇතැම් ගීතවල නොගැළපෙන වචන, පද රචනා, සංගීතය පවා වෙනස්‌ කරලා තියෙනවා. පෞද්ගලිකව එම කැසට්‌පටවල මම අකැමැති ගීත තිබුණා. ගීතයක පද වගේම සංගීතය මට වැදගත්. ඒත් දැන් ඒ ගැන හොඳ අවබෝධයක්‌ තිබෙනවා. මම කැමැතියි අපේ ප්‍රවීණ ගායකයන් මෙන් විඳින්න පුළුවන් ගීත කිහිපයක්‌ ඉතුරු කරන්න.

ඒ නිසාද ඔබ කුඩා කල සිට බලාපොරොත්තුවෙන් සිටි ගුරුවෘත්තියත් අත්හැරියේ?
සංගීත ගුරුවරියක්‌ වීමේ සිහිනය මගේ හිතේ තිබුණේ පුංචි කාලේ ඉඳලම. විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබාගත්තෙත් ඒ අරමුණින්. නමුත් දැන් ගායිකාවක්‌ හැටියට ක්‍ෂේත්‍රයේ වැඩත් සමග වෘත්තීන් දෙකක කටයුතු හසුරුවාගන්න අපහසු වුණ නිසා ගුරු වෘත්තියේ නිරත වුණේ මාස කිහිපයයි.

ඒ සිහිනය සැබෑ කරගන්න බැරි වීම ගැන දුකක්‌ නැද්ද? 
ටික දවසකට හරි මම ඒ සිහිනය සැබෑකරගත්තා. දුකක්‌ නැහැ. තාවකාලිකව පමණයි, ගුරු වෘත්තියෙන් ඉවත් වුණේ. කොහොම වෙතත් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මම නතර කරලා නැහැ. දැනට පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා. ඒ අතරේ ඉන්දියානු රාගධාරී සංගීතය හදාරන්නත් බලාපොරොත්තුවක්‌ තියෙනවා. ඉදිරියේදී නැවතත් ගුරු වෘත්තියට පිවිසීමේ බලාපොරොත්තුවත් තියෙනවා.

ඇයි ඔබේ ගීත එකතුවක්‌ එළිදක්‌වන්න ප්‍රමාද?
අවුරුදු අටකින් විතර ගීත එකතුවක්‌ එළිදැක්‌වූයේ නැහැ. ඒකට ගොඩක්‌ම හේතු වුණේ අපි ඉස්‌තරම් විදිහට කැසට්‌ පට ගහලා වෙළෙඳ පොළට දැම්මට ඒවායෙන් කොපි ගහලා ඕන තරම් අද පේමන්ට්‌ එකෙන් ගන්න තියෙන තැනට අපේ ගීත පත්වෙලා තියෙනවා. නමුත් මට දැන් හිතෙනවා සංයුක්‌ත තැටියක්‌ කළොත් හොඳයි කියලා.

ගායිකාවක්‌ වගේම ඔබ සැබෑ ජීවිතේ ආදරණීය මවක්‌?
ඔව්. අපිට අවුරුදු දෙකක පුතෙක්‌ ඉන්නවා. එයා මිහින් මතඟවීර සැමියත් ඔහුගේ රැකියාවේ කටයුතු සමග ගොඩක්‌ කාර්ය බහුල නිසා මගේ අම්මයි, තාත්තයි ඉන්නෙත් අපිත් එක්‌ක.

ටෙලිනාට්‍ය පසුබිම් ගායිකාවක්‌ ලෙසටත් ඔබ වර්තමානයේ කැපී පෙනෙනවා.
ටෙලිනාට්‍ය පසුබිම් ගායනයටත් මගේ හඬින් උපරිමයක්‌ කරන්න අවස්‌ථාව ලැබිලා තියෙනවා. ඒ හරහා මෑත කාලයේ සම්මාන කිහිපයකට පාත්‍ර වුණා. ගායිකාවක්‌ හැටියට ඒක මට ලොකු ශක්‌තියක්‌. ඒ වගේම කෙනෙකුට ලැබෙන දුර්ලභ අවස්‌ථාවක්‌.
 
Related Posts with Thumbnails