Ads 468x60px

.

පබා රඟපෑවට දේශපාලනේ කරන්න පුළුවන්ද.?

පබා දිනලා... සෑහෙන්න මනාපත් වැටිලලු...

2010 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තු අතර අලුත් මුහුණුවලට විශේෂ තැනක් ලැබි තිබුණේය. 

එසේ වූයේ සියළුම දේශපාලන පක්ෂ වලින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් වලින්ද ඉදිරිපත් කෙරෙන අපේක්ෂක ලැයිස්තු වලට තරුණ මුහුණු වැඩි ප්‍රමාණයක් ඇතුළත් කළ යුතු යැයි මැතිවරණ පනතෙහිම සඳහන් කර තිබූ බැවිනි. 

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එ.ජා.ප.යෙන් ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුවට එකල ජාතික රූපවාහිනියේ අතිශයින් ජනප්‍රියවූ පබා ටෙලි නාට්‍යයේ පබාගේ චරිතය නිරූපණය කළ රූමත් නිළියකගේ නමක්ද ඇතුළත්ව තිබුණේය. එයා ටෙලිනාට්‍යවල රඟපෑවට දේශපාලනේ කරන්න පුළුවන්ද?

ප්‍රදේශයේ ඇතැම් වැඩිහිටියන් ඇය ගැන එලෙස අවඥාවෙන් කතා කළද එම නිළිය පබා ටෙලිනාට්‍යයේ රඟපෑ චරිතයට වශීවී සිටි ප්‍රදේශයේ තරුණ පෙළ කියා සිටියේ

අනිවාර්යයෙන්ම ඇය ඡන්දයෙන් දිනා පාර්ලිමේන්තුවට යන බවය. වෙනකක් තබා ඔවුන් ඒ සඳහා රුපියල් දහස් ගණනින් ඡන්ද ඔට්ටු පවා අල්ලා තිබුණේය.

ඇය පබා ටෙලිනාට්‍යයේ නිරූපණය කළ චරිතයට වශීවී සිටි ඇතැම් කාන්තාවන් එම අපේක්ෂිකාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන බවක්ද පෙනෙන්නට තිබිණි.


එවර ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණය සාමකාමීව පැවැති අතර ඡන්ද ගණන් කිරීම එදින රාත්‍රී 8.30ට පමණ පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේදී දැඩි රැකවරණ මධ්‍යයේ සිදු කෙරුණේය. එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත යාහැකිව තිබුණේ ඡන්ද අපේක්ෂකයන් සමග පැමිණෙන එක් ඡන්ද නියෝජිතයෙකුට පමණි. 


එම නීතිය බොහොමයක් ඡන්ද අපේක්ෂකයන් සම්බන්ධයෙන් අකුරටම ක්‍රියාත්මක කෙරුණද ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ ආණ්ඩු පක්ෂයේ ඇතැම් ප්‍රබල අපේක්ෂකයන් එම තහනම් නීති එළිපිටම උල්ලංඝනය කරමින් තම ආධාරකරුවන් බුරුතුපිටින් කැඳවාගෙන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළුවූයේ එහෙම කොහොමද අයිසේ අපි ඇතුළට යන එක නතර කරන්නේ..? යි ගේට්ටුවේ සිටි ‍පොලිස් නිලධාරීන්ටද ගෝරනාඩු කරමිනි.

බලවතුන්ගේ එවැනි දඩබ්බරකම් නිහඬව ඉවසා සිටි ‍පොලිස් නිලධාරීන්ද නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලද්දේ මුල් වරට ඡන්දයට ඉදිරිපත්වූ තරුණ අපේක්ෂකයන් හටය.


නෑ නෑ කාටවත් ඇතුළට යන්න දෙන්න බෑ යි කියමින් ‍පොලීසිය විසින් ගේට්ටුවෙන් ඇතුළට යාමට නොදී රඳවා ගෙන සිටි එම නවක අපේක්ෂකයන් අතර මුලින් සඳහන් කළ ටෙලිනාට්‍ය නිළියද ඉහළින්ම කැපී පෙනුනාය.


වරක් හෝ දෙවරක් ඇය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළට ගොස් පැමිණියද ඉන් අනතුරුව ඇයටද සිදුවූයේ සෙසු අය සමග ගේට්ටුව අසලටවී නොඉවසිල්ලෙන් බලා සිටීමටය.


ඔය මොකද ඔතන කරන්නේ? සිංහල තේරෙන්නෙ නැද්ද? යි ඇසූ ඇතැම් ‍පොලිස් නිලධාරීන් එම අපේක්ෂකයන්ට තර්ජනය කරන අයුරුද දක්නට ලැබුණි.


මේ අතර අලුයම් කාලය ළඟාවෙත්ම ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානය තුළ ඇතිවී තිබූ කසුකුසුවක් එහි සිටි ඡන්ද නියෝජිතයන් මගින් එම ශාලාවෙන් පිටස්තරව සිටි අයගේ කනටද වැටී තිබුණේය.
පබා දිනලා සෑහෙන්න මනාප වැටිලලු.

 
ආදී වශයෙන් පැතිර ගිය එම කසුකුසුවත් සමග ඇතිවූ ඊළඟ ප්‍රතිඵලය වූයේ එතෙක් එම ටෙලිනාට්‍ය නිළිය ඇතුළු නවක අපේක්ෂකයන්ට තමන්ගේ නිල බලය පෙන්වමින් සිටි ‍පොලිස් නිලධාරීන් ඒ මොහොතේ සිට ඇය දකිනවිට පවා සැලියුට් ගසමින් රජ සැලකිලි දක්වීමය.


එපමණකින්ද නොනැවතුණු ‍පොලීසියේ උසස් නිලධාරීන් ඇගේ ආරක්ෂාවට උප ‍පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු ‍පොලිස් නිලධාරීන් තිදෙනෙකුද යොදවා තිබුණේය.
 
Related Posts with Thumbnails