Ads 468x60px

.

පිට රටින් ආ කැමරන් කල්ලිය සල්ලි දෙගුණ කල හැටි

හම කළු නොවන නිසා, අපේ ඇත්තන්ට ඌ මොකා වුණත් කම් නැත...

අපේ රටේ බොහොමයක්‌ දෙනා මුදල් හම්බ කිරීමේදී නීති විරෝධීව කටයුතු කරන්නේ තම මුළු ආත්මය වූවද තඹ සතයකට වත් මායිම් නොකරමිනි. 

වැඩි පොලියක්‌ ලබාගැනීමට එක සක්‌විතියකු ළඟ තමා සන්තක මුදල් නිර්ලෝභීව තැන්පත් කිරීමේ ආනිශංසයේ දුක්‌ අදෝනා මැකී යන්නටත් පෙර, තැන තැන හුන් තවත් සක්‌විතිලාට බොහෝ දෙනෙකු ගොදුරු වූයේ අන්ධයන් බිහිරන් මෙන්ය.

මෙසේ මහන්සි නොවී මුදල් අතට ලැබෙන්නේ නම් ඒ ගැන දුරදිග නොබලා කටයුතු කරන වැඩි දෙනෙක්‌ අපේ රටේ සිටින බව අප්‍රිකානු මහද්වීපයේ මිනිසුන්ටද ආරංචි විය. 

එම ආරංචිය ලැබුණේ අපේ රටේ කට්‌ට වෙට්‌ට පිත්තල වූ මොළගෙඩි ඇත්තන්ගෙන් අප්‍රිකානු මහද්වීපයේ වසන කැමොරන් ජාතිකයින් කිහිප දෙනකුටය. 

සක්‌විතිලා අම්බානකට රැවටුණු බොහෝ දෙනෙකුගේ මොළගෙඩි පෑදී ඇති නිසා, රැවටීමේ ක්‍රමෝපායන් වෙනත් ආකාරයට සැළසුම් කිරීමට මේ මොලකාරයෝ කටයුතු යෙදූහ.

අපේ ඇත්තන්ගේ ඉන ඉහ අත ගා මුදල් වංචාකිරීමේ නව ක්‍රමෝපාය, දෙයාකාරයකින් සිදුකිරීමට මෙහිදී ඔවුහු සැළසුම් කළහ. වැය වන මුළු මුදලෙන් භාගයක්‌
කැමොරුන්ද, අනෙක්‌ කොටසට දේශීය ව්‍යාපාරිකයාද හවුල් කර ගනිමින් මුදල් ආයෝජනය කරමින් මහා පරිමාණයේ ව්‍යාපාර ඇරඹීම සඳහා ව්‍යාපාරිකයන් කොටුකර ගැනීම මෙහි පළමුවැන්නය. 

ඒ සඳහා වියදම් කිරීමට මෙරට ව්‍යාපාරිකයා සතු මුදල ප්‍රමාණවත් නොවන්නේ නම්, තිබෙන මුදල රැගෙන එම මුදල ද්විගුණ කිරීමෙන් යෝජිත ව්‍යාපාරයට අවශ්‍ය ඔහුගේ මූල්‍ය ශක්‍යතාව ශක්‌තිමත් කිරීම මෙහි දෙවැන්න වේ. එය සිදුකරන්නේ කොම්පියුටර් ජිල්මාට්‌ වලින් නොව, ඒ වෙනුවෙන් ම පිළියෙල කරන ලද කොලවලට, දියර වර්ග සහ ජලය යොදා ගැනීමෙන්ය.

මේ සඳහා විදේශිකයන් යොදා ගැනීම වඩාත් ආකර්ෂණීය පියවරක්‌ සේ මෙහි නියමුවන් සළකන්නට ඇත්තේ, පිටරටින් එන ඕනෑම දෙයක්‌ හිස්‌ මුදුනේ තබා පිළිගන්නාවූ නිවටයින් පිරිසක්‌ මෙහි වාසය කරන බැවිනි.

බැලූ බැල්මට මෙය ඉතා පහසු සරළ ක්‍රමෝපායකි. වැඩි මහන්සියක්‌ නොවී මොහොතින් මුදල් කන්දරාවක හිමිකරුවකු වී එහි අනුසාරයෙන් මහා පරිමාණයේ ව්‍යාපාරිකයකු බවට පත්විය හැකිය. මෙසේ මහන්සියක්‌ නොවී විශාල මුදලක්‌ අතට ලබාගත හැකි ක්‍රමෝපායන් සොයමින් සිටින අපේ අය දැත බදා මෙය වැළඳ ගන්නා අයුරු කැමොරුන්ට සහ මෙහි සිටින මොළකාරයින්ට හීනෙන් පවා පෙණින.

බොරදියේ මාළුන් බාන්නා සේ හිතේ හැටියට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ගරා ගෙන නිදි පැදුරටත් නොකියාම රටින් පැන ගන්නා අයුරු හීන මවමින් ගමන් වියදම් ද දරා ගනිමින් කැමොරුන් මෙහි පැමිණියහ.

මෙම සිද්ධිය වූ අවස්‌ථාවේ මහරගම පන්සල පාරේ පිහිටි නිවසට කැමොරන් ජාතිකයන් දෙදෙනා තම මිත්‍රයෙකු සමඟ අපේ රටේ ව්‍යාපාරිකයා පැමිණ ඇත්තේ, ව්‍යාපාරයක්‌ ඇරැඹීම සඳහා තමන් සතු රුපියල් ලක්‍ෂ තිහක මුදල, ලක්‍ෂ හැටක්‌ බවට පරිවර්තනය කර ගැනීමටය. 

මේ අයුරු මුදල් ද්විගුණ කිරීමට මොවුන් යොදා ගන්නේ පන්දහසේ නෝට්‌ටු පමණි. ගිවිසගත් පරිදි ව්‍යාපාරය ඇරැඹීම සඳහා රුපියල් ලක්‍ෂ සියයක මුදලක්‌ වැය වන බැවින් ව්‍යාපාරිකයා ගෙන් එම මුදල ඉල්ලා සිටියද, එතරම් මුදලක්‌ තමන් ළඟ නොමැති බව කියාසිටි නිසා තිබෙන ලක්‍ෂ තිහක මුදල බාර ගැනීමෙන් අනතුරුව කැමොරොන් ජාතිකයන් දෙදෙනා එම මුදල ද්විගුණ කිරීමට පටන් ගත්හ. 

මුදල ද්විගුණ කිරීමට යොදා ගන්නේ, පන්දහසේ නෝට්‌ටු ප්‍රමාණයට කළු පාට ඩිමයි කොළ යොදා, පොලිතින්වල අසුරන ලද බණ්‌ඩලයක තිබූ කොළය. දියර යොදා එම කළු පාට ඩිමයි කොළ එකිනෙක ඇතිල්ලීමෙන් පසුව ජලයේ සෝදා ගැනීමෙන් පසුව ඒවා මුදල් බවට පරිවර්තනය වේ.

පිටරටින් රැගෙන ආයේ යෑයි කියූ මෙම දියරය, මෙහි වෙළෙඳපොළේ අලෙවියට තිබෙන කොන්ඩිස්‌ය. කළු පාට ඩිමයි කොළ පවා මෙහි වෙළෙඳ පොළෙන් ලබාගෙන ඇත. 

ඔවුන් මෙම නිවසට පැමිණි විට කැමොරොන් ජාතිකයන් දෙදෙනා රැගෙන ආ පොලිතින්වලින් ආවරණය කළ ඇළුමිනියම් බෝතලයක්‌ද එම දෙදෙනාට ලබාදී එය නරක්‌විය හැකි නිසා ඉක්‌මණින් ශීතකරණයක තබන ලෙසද ඉල්ලා ඇත. මෙම ඇළුමිනියම් බෝතලය අපේ පාසල් දරුවන් බීමට දිය රැගෙන යන මෙහි වෙළෙඳ පොළේ අලෙවියට තිබෙන්නකි.

එකිනෙක ඇතිල්ලීමෙන් පසුව ජලයේ සෝදාගෙන එන ලෙස එම කොළ ලාංකිකයින් දෙදෙනාට දී ඇත. ඒවා සේදීමට කාමරයෙන් ඉවත්ව යමින් සිටින මොහොතේ, විදේශකයන් දෙදෙනාගේ අතට ලබාදුන් රුපියල් පන්දහසේ වලංගු නෝට්‌ටු තමන්ගේ සාක්‌කුවල ඔවුන් සඟවා ගන්නා අයුරු ව්‍යාපාරිකයා සමඟ සිටි මිත්‍රයා දැක ඇත. 

දෙදෙනාගේ කෑ ගැසීම නිසා පැහැර ගත් මුදල්ද අතැතිව ඔවුන් දෙදෙනා කම්බි වැට පැන දුවන්නට වූහ. ගමේ අයගේද සහායෙන් එක්‌ අයෙකු අල්ලා ගත් නිසා මෙහි සුලමුල අනාවරණය විය. 

විදේශිකයන් දෙදෙනා අත තිබූ තමන් සතු මුදල් ලබාගැනීමට යම් හෙයකින් ඔවුන් දෙදෙනා සමත් වූයේ නම්, මෙම සිද්ධිය පොලිසියට මග හැරෙනු ඇත. මන්ද මුදල් පනතට අනුව අයථා පරිදි සකස්‌ කළ මුදල් වෙළෙඳපොළට නිකුත් කිරීම බරපතළ විෂමාචාරයක්‌ වන නිසාය.

අනෙක්‌ කැමොරන් ජාතිකයා වැල්ලවත්තේදී පොලිස්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසුව හෝටලයක නවතා තිබූ කුලී පදනම මත ඔහු ලබාගත් නවීන පන්නයේ මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි තුළ තිබූ රුපියල් ලක්‍ෂ හතළිස්‌ පහක මුදල වාහනයේ දොර කඩා ඔවුන්ගේ සහායකයකු ලබාගෙන ඇති බව පොලිසියට වාර්තා විය.

මේ අයුරු තමන් සතු ලක්‍ෂ තිස්‌පහක මුදල ද්විගුණ කර ගැනීමට කටයුතු කරන කල්හි ප්‍රමාදයකින් එය අතේ පත්තු වී කැමොරන් ජාතිකයන් දෙදෙනා ගෙන් එක්‌ අයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මහරගම පොලිසියට භාර දීමෙන් හා වැල්ලවත්තේදී එම පොලිස්‌ නිලධාරීන්ගේ උත්සාහයෙන් අනෙකාද, අත්අඩංගුවට ගැනීමෙන් මෙහි සුලමුල හෙළිදරව් විය. 

ඒ අයුරු අත්අඩංගුවට නොගන්නට, තෙමසක වීසා බලපත්‍රයක්‌ යටතේ මෙහි පැමිණි මොවුන් ආපසු තම ගමරට බලා යන්නේ අපේ රටේ මෝඩ තන්හාධික මෙන්ම නොයෙකුත් කූට ක්‍රම මගින් හම්බ කරගත් බොහෝ දෙනෙකුගේ සාක්‌කු හොඳ හැටි හිස්‌කර, මෙහි මොළකාරයින්ගේද සාක්‌කු හොඳ හැටි පුරවා දමාය.

මීට මාසයකට කලින් සිට මොවුන් මෙහි පැමිණ සිටින බව හා ඔවුන් සමඟ තවත් කිහිප දෙනකුද පැමිණි බව, කැමොරන් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පොලිසිය අනාවරණය කරගෙන ඇත. 

අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදී මොවුන් සන්තකයේ විදේශීය ගමන් බලපත්‍ර පවා තිබී නැත. මොවුන් ගමන් බිමන් ගොස්‌ ඇත්තේ කුළී පදනම මත ලබා ගත් සුඛෝපභෝගී වාහනවලිනි. ලැගුම් ගෙන ඇත්තේ සුඛෝපභෝගි හෝටලවලය. 

අනුරාධපුරයේ තිබූ වෙළෙඳසලක්‌, සුපිරි සංචාරක හෝටලයක්‌ බවට පත්කිරීම සඳහා වැයවන වියදමෙන් කොටසක්‌ යෙදවීමට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයන් සේ එහි මූලික සාකච්ඡාව සඳහා මොවුන් පෙනී සිට ඇත. එම වෙළෙඳසල් හිමියාට දුරදක්‌නා බුද්ධියක්‌ තිබීම නිසා මොවුන්ගේ උගුලේ ඔහු පැටලී නැත.

මෙසේ මාසයක පමණ කාලයක්‌ තුළ මොවුන් රට වටා රවුම් ගසා ඇත. තමන්ගේ සටකපට වැඩසටහන ඔබින අයුරු අවශ්‍ය පරිදි මොවුහු තම අනන්‍යතාවද වෙනස්‌ කළහ. ඇතැම් තැනකදී මොවුන් ප්‍රංශ කාරයින්ය. තවත් තැනකදී ඉතාලි කාරයින්ය. 

හම කළු නොවන නිසා, අපේ ඇත්තන්ට ඌ මොකා වුණත් කම් නැත. මහන්සි නොවී තමන් සතු මුදල ද්විගුණ කර ගැනීමේ සිහින දකිමින්, තමන් හිටගෙන ඉන්නේ තමන්ගේම මොළය මත නේදැයි යන්න පවා කල්පනා කිරීමට කාලවේලාවක්‌වත් මොවුන්ට නැත. 

දැනටමත් ව්‍යාපාරිකයන් පමණක්‌ නොව මාස්‌ පඩිකාරයින් පවා මොවුන්ගේ උගුලේ පැටලී තමන් සන්තකයේ තිබුණු මුදල් මේ බහිරයින්ට පූජා කරදී හමාරය. ඉදිරි පරීක්‍ෂණ වලදී එම තොරතුරු අනාවරණය වනු ඇත.

රහස්‌ පොලිසිය විසින් ඉදිරියේදී මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හොඳ හොඳ තොරතුරු එළිවනු ඇත. කාගේ හෝ හවුහරණයක්‌ නොමැතිව පිටරැටියන්ට පමණක්‌ මෙවැන්නක්‌ කිරීමට හැකියාවක්‌ නොමැති නිසා මෙය සැළසුම් කළ අපේ රටේ මොළකාරයින්ද එහිදී අනාවරණය වනු ඇත. 

මාසයක පමණ කාලයක්‌ තිස්‌සේ මෙම කැමොරුන් මෙහි සිටි කාලය තුළ මිලියන ගණනින් මුදල් වංචනිකව පැහැරගත් බවට තොරතුරු දැනටමත් අනාවරණය වී ඇත. ඊට අසූ වූවෝ, එම තොරතුරු පොලිසියට හෙළිකිරීමට යොමු නොවන්නේ, තමන්ද වැරදිකරුවකු වන බැවිනි. එනිසා තමන්ට සිදුවූ අලාභය ඔවුන් ඉවසා සිටිනු ඇත. එහෙත් නීතිය ඉදිරියේ සියලු තොරතුරු වමාරන්නට ඔවුන්ට සිදුවනු ඇත.
 
Related Posts with Thumbnails