Ads 468x60px

.

සමහරු ජනපි‍්‍රය වෙන්න ප්‍රවෘත්ති මැව්වාට මට එහෙම වුවමනාවක් නෑ - චතුරිකා පීරිස්

මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා

චතුරිකා පීරිස් පසු ගිය සති කීපයේ මාධ්‍යයන් හි වඩාත් ම කතා බහට ලක්වුණු තැනැත්තියක බවට පත් වූවාය. ඒ චතුගේත් රොෂාන් ගේත් වෙන් වීම පිළිබඳ ලියැවුණු ප්‍රවෘත්ති නිසාය. 

චතුරිකා අපට සිටින දක්ෂතම රංගන ශිල්පිනියකි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සම්මාන ගණනාවක් ම හිමිකර ගැනීමට චතුරිකාට මේ වනවිට හැකියාව ලැබී ඇත. එසේම ඇය කිව යුතුදේ ඍජුවම කියන තැනැත්තියකි. මේ චතුරිකා සමඟ කළ කතාබහක්

රොෂාන්ගේත් ඔබේත් වෙන්වීම ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. ඒ සිදුවීම ගැන දැන් මොනවද ඔබට හිතෙන්නේ?

ඒ ප්‍රශ්නය ඇතිවුණු දවස්වල මාධ්‍යයට අදහස් දැක්වූවේ අපරාදේ කියල දැන් මට හිතෙනව. ඒ අවස්ථාවේ මා වටා හිටිය පිරිස මට වැඩිය කලබල වුණා. මම ඒ දවස්වල සිටියේ රූපගත කිරීමක. පත්තරයක් බලන්නවත් මට නිදහසක් තිබුණේ නෑ. ඉතින් මා වටා සිටි සමහර අය මෙහෙම කියන්න, මෙහෙම කරන්න කියල මට කිව්ව. 

ඒ විදියට ඒ ප්‍රශ්නය ගොඩක් දුරදිග ගියා. මට දැන් හිතෙනව ඒ වෙලාවෙ මාධ්‍යයට වචනයක්වත් ඒ ගැන නොකිය සිටිය නම් හොඳයි කියල. කවුරු මොනව කිව්වත් මොනව හිතුවත් මට තිබුනෙ සත්‍ය එළිවෙනකල් නිහඬව ඉන්නයි කියල දැන් මට හිතෙනව.

ජීවිතය ගැන ඔබට මොනවද හිතෙන්නෙ?

ජීවිතය කියන්නෙ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙමෙයි. ජීවිතය විඳින්නේ නැතිනම් ජීවත්වෙලා වැඩක් නෑ. ජීවිතේ තමුන්ට කොහේදි හරි වැරැද්දක් වෙලා තියෙනවා නම් එය නිවැරැදි කරගන්න පුළුවනි. 

නමුත් “මට මෙහෙම වැරැද්දක් වුණා. දැන් මම මෙහෙම කළොත් සමාජය මොනව කියයිද” කියල ඒ වැරැද්ද අස්සෙ ඉඳගෙන විඳව විඳවා ඉන්න එකේ තේරුමක් නෑ. ඊට වැඩිය හොඳයි සිය දිවි හානි කරගන්න එක. මම නම් හිතන්නෙ මේ ජීවත්වෙන පුංචි කාලෙදි අපි ජීවිතය විඳවන්නෙ නැතිව ජීවිතය විඳිය යුතුයි කියලයි; ජීවිතය විඳවන්න වෙන දෙයින් ඈත් විය යුතුයි කියලයි.

මේ අවුරුද්ද ඔබ කොහොමද සැලසුම් කරල තියෙන්නෙ?

අපේ නිෂ්පාදන ආයතනයට ලැබී තිබෙන චිත්‍රපට දෙකේ වැඩ හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අවුරුද්දෙ විදෙස් සංචාර දෙකකට ආරාධනා ලැබිල තියෙනව. ඒ වැඩ සාර්ථකව නිම කරගන්න තමයි බලාපොරොත්තුව.

පසුගිය කාලේ ඇතිවුණු ගැටලුවලදි පවුලේ අය ඔබත් සමඟ සිටියද?

ඇත්තටම ඔව්. අම්ම තාත්ත ඇතුළු සියලුම දෙනා මා සමඟ සිටියා. නමුත් මම කාගෙන්වත් උදව් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ මොකද තවත් කෙනෙකුට උදව් කරන්න කාටවත් බැරි නිසා. මගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න ඕන කොහොමද? වැටුණු තැනින් නැගිටල ඉදිරියට යන්නෙ කොහොමද කියල තීරණය කරන්න ඕන මම. මගෙ හිත දන්නව මම කිසිම වැරැද්දක් කළේ නැහැ කියල. 

ඒ වගේම මම කුමක් හෝ දෙයක් කළා නම් එයින් කාට හෝ හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ. මම අද හෙට මැරුණේ නැතිනම් හැමෝටම දැනගන්න ලැබේවි සත්‍ය මොකක්ද කියල. බුද්ධිමත්ව සිතුවොත් ප්‍රශ්න විසඳගන්න ලේසියි. සම්ප්‍රදායිකව බැලුවොත් ප්‍රශ්න විසඳගන්න අමාරුයි.

කලා ලෝකයේ දැන් වෙන්වීම් බහුලයි නේද?

කලා ලෝකයේ පමණක් නෙමෙයි හැම තැනකම එහෙම ඇති. බැංකුවලත් තියෙනව. වෙනත් ආයතනවලත් තියෙනව. පාර්ලිමේන්තුවේත් වෙන්වීම් තියෙනවනේ. නමුත් කලා ලෝකයේ දෙයක් සිදුවුණාමයි මිනිසුන් ඒ ගැන සොයන්නේ. ඒ හැටි. මම හිතන්නේ ජීවිතේ විඳවන්නේ නැතිව ඉන්න ටික කාලෙ හරි ජීවිතේ විඳල මැරිලා යනවා නම්, ලබන ආත්මේ හරි සතුටින් ඉන්න ලැබේවි කියලයි.

ඔබ පුවත් මවන්නියක්ද?

නැහැ මට පුවත් මවන්න වුවමනාවක් නෑ. මා ගැන ලොකුවටම කතාවුණු ප්‍රවෘත්ති තමයි පසුගිය කාලේ පළවුණේ. ඊට කලින් එහෙම දෙයක් වෙලා නෑ. කලා ලෝකයේ ඉන්න සමහරු ජනපි‍්‍රය වෙන්න ප්‍රවෘත්ති මැව්වාට මට එහෙම වුවමනාවක් නෑ.
 
Related Posts with Thumbnails