Ads 468x60px

.

ඩොලර් කිහිපයක්‌ උපයාගැනීම වෙනුවෙන් 'නිර්වානය' ආහාරවේලක්‌ කර දුන් අධමයින්

අනේ පිස්‌සුද..? අපි මෙහේ එහෙම දේවල් කරනවද..? 

අපිත් බෞද්ධයෝ... එහෙම දෙයකට අපි ඉඩදෙනවද...?

දිනය - ජනවාරි 21 දාය
වේලාවරි රාත්‍රි 10 පසුවී විනාඩි 30 ට පමණය

බොදු බල සේනා සංවිධානයට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඉන් කියවුණේ බේරුවල එක්‌තරා තරු හෝටලයක (හෝටලයේ නම, හිමිකාරිත්වය සහිත සමාගම යන තොරතුරු සියල්ල අප සතුව ඇතත්, මානුෂික හේතූන් මත මේ මොහොතේ ඒවා හෙළි නොකිරීමට අපි තීරණය කළෙමු)

පැවැත්වෙන මත්පැන් සාදයක්‌ 'බුද්ධ බාර්' ලෙසින් නම් කර ඇති බවත් එහි මෙනුව නම් කර ඇත්තේ 'නිර්වානය' ලෙසින් බවත් එම ඇමතුමෙන් කියවිණි.

'වෙලාවේ හැටියට හොඳම දේ තමයි මේ ගැන ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන එක' යෑයි ඇමතුම දුන් තැනැත්තාට බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයා උපදෙසක්‌ දුන්නේය.

'පොලිසියට කිව්වා කියලා වැඩක්‌ වෙයි කියලා හිතන්න බෑ. පුළුවන්නම් දැන්ම ආවොත් හොඳයි'.

ලොවම නිදිගන්නට හදන මොහොතක බොදුබල සේනා සංවිධානය අවදියෙන් සිය විමර්ශනය ඇරඹීය.

අදාළ සාදය පිළිබව හෙළිවූ ලිඛිත සාක්‍ෂිය

පළමුව ඔවුන් සිදුකළේ අදාළ හෝටලයට ඇමතුමක්‌ ලබාදීමය. ඔවුන් එම ඇමතුම ලබාදුන්නේ රුසියානු සංචාරකයෙක්‌ විලසිනි. ඉංග්‍රීසි රුසියන් භාෂා දෙකම කවලමේ කථා කරමින් ලබාදුන් එම ඇමතුම 'බුද්ධ බාර්' නමැති නාඩගම ගැන තොරතුරක්‌ හෙළිකර ගැනීම දක්‌වා ඉදිරියට රැගෙන යැමට අදාළ බොදු බල සේනා සාමාජිකයා උපක්‍රමශීලී විය.

ඒ නමින් සාදයක්‌ පැවැත්වෙන බව හෝටලයේ පාර්ශ්වයෙන් කියෑවුණි. නමුත් ඒ සමගින් ඇමතුම විසන්ධි විය. එසැනින් නැවතත් දුරකථන ඇමතුමක්‌ ගෙන එම උපායෙන්ම 'බුද්ධ බාර්' සාදයට සහභාගීවීමට අවශ්‍ය තොරතුරු විමසූ බොදු බල සේනා සාමාජිකයාට ලැබුණු පිළිතුර වූයේ එය පෞද්ගලික සාදයක්‌ බවත් එයට බාහිර පුද්ගලයන් හට සහභාගිවීමට නොහැකි බවත්ය.

සිදුවන දේ ගැන අදහසක්‌ ගැනීමට එම ඇමතුමෙන් ලබාගත් තොරතුරු ප්‍රමාණවත්ය. බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයෝ වාහන 2 ක නැගී බේරුවලට පැමිණියහ. ඒ මොහොතේ සම්බන්ධ කරගත හැකි වූ රූපවාහිනි නාලිකාවක පිරිසකට ද මේ බව දැනුම් දී ඔවුන්ව ද ගමනට එක්‌කර ගත්තේ තවත් සාක්‍ෂියක්‌ හෙළිවුවහොත් එය කැමරාවේ සටහන් කරගැනීමට හැකිවන නිසාය.

'අපි ඒ අවස්‌ථාවේ බොහොම සංයමයෙන් කටයුතු කළා. සංචාරක කර්මාන්තය අපේ රට දෙසින් බැලු විට වැදගත් කර්මාන්තයක්‌. අපේ අමුත්තන් වන විදේශ සංචාරකයන් ඉදිරියේ මේ කර්මාන්තයට හානියක්‌ නොවන විදිහට මේ කරුණ පිළිබඳ සොයාබලන්න අපි උපරිමයෙන් සංසුන්වයි ක්‍රියාත්මක වුණේ' යෑයි බොදු බල සේනා සාමාජිකයකු ඔවුන්ගේ මෙහෙයුමේ දෙවැනි අදියර ගැන අපට පැහැදිලි කළේය.

මේ සංයමයේ ප්‍රතිඵලයක්‌ ලෙසට හෝටලයේ ඉහළ මාලයේ ප්‍රංශ සංචාරකයන් පිරිසක්‌ එවැනි සාදයක නිරතවන බව හෝටලයේ සේවකයන්ගෙන්ම අසා දැනගැනීමට මේ පිරිසට හැකිවිය. එම 'නාඩගම' ගැන සේවකයන්ගෙන් පිටවූ සෑම වචනයක්‌ම ඔවුනට නොදැනී බොදුබලසේනා සාමාජිකයන් සතු හඬ පටිගත කිරීමේ මෙවලම්වල සටහන් විය.

මෙලෙස සිදුවන දෙය පිළිබඳව සාක්‍ෂි ගබඩාකරගත් බොදු බලසේනා සමාජිකයෝ ඉනික්‌බිති හෝටලයේ කළමනාකාරිත්වය හමුවට ගොස්‌ මේ සිදුවෙන අකටයුත්ත ගැන විමසා සිටියහ.

'අනේ පිස්‌සුද? අපි මෙහේ එහෙම දේවල් කරනවද? අපිත් බෞද්ධයෝ. එහෙම දෙයකට අපි ඉඩදෙනවද'

මෙවැනි පිළිතුරු සමගින් මෙම හෝටල් කළමනාකාරිත්වය 'බබා වෙන්නට' හැදුවේ මෙය එවැනි නොසංඩාලකම් සිදුවන තැනක්‌ ලෙසින් නොව භාවනා මධ්‍යස්‌ථානයකටද වඩා 'අහිංසක' තැනක්‌ ලෙසින් හැඟෙන පරිද්දෙනි. එලෙස පවසන අතරේ හෝටල් බලධාරීන් විසින්ම පොලිසිය ද එහි කැඳවීමට ක්‍රිsයාකර තිබුණේ ආරක්‍ෂක පියවරක්‌ ලෙසින් විය යුතුය.

රටේ සංචාරක කර්මාන්තයට කැළලක්‌ නොවන ලෙසින් මෙය විසඳාගැනීමට බැලූ බොදුබල සේනා සංවිධානය එහි පැමිණි පොලිසියට කියා සිටියේ මෙවැන්නක්‌ ඇත්තටම මෙහි සිදුවූයේ ද යන්න ගැන ඒ මොහොතේම සෝදිසියක්‌ කරන ලෙසය. 

එහෙත් පරිගණකයක්‌, බිලක්‌ හෝ වෙනත් ප්‍රශ්න කිරීමකින් එවැන්නක්‌ පිළිබඳ තොරතුරු හෙළිකරගැනීමට තරම් 'බුද්ධියක්‌' ඒ මොහොතේ පොලිසිය සතු නොවීය. පසුදා වනතුරුද පොලිසිය වෙතින් එවැනි ක්‍රියාත්මකවීමක්‌ සිදු වූ බවක්‌ වාර්තා නොවේ.

අවසානයේ සුපුරුදු පරිදි පොලිසිය විසින් සිදුවිය යුතු විමර්ශනය සියතට ගත් බොදුබල සේනා සංවිධානය මේ ගැන ඉතා වටිනා ලිත සාක්‍ෂියක්‌ සොයාගත්තේය. ඒ මෙම සාදය සම්බන්ධයෙන් සියලු තොරතුරු සටහන් වන ලියෑවිල්ලකි. එයට අනුව 'බුද්ධ බාර්' නමින් මෙම සාදය සංවිධානය වී ඇති බව මෙන්ම රාත්‍රී ආහාර වේල 'නිර්වාන' ක්‍රමයටද සැපයෙන බව එහි සඳහන්ය.

මෙම ලියවිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමග අදාළ හෝටලයේ එවැන්නක්‌ 'හීනෙකින් හෝ' සිදු නොවූයේ යෑයි පැවසූ කළමනාකාරිත්වය 'සුටුස්‌ ගා' ඇටනැති දිව අනෙක්‌ පසට හරවා එවැන්නක්‌ සිදුවූ බව පිළිගත්තේය. එපමණක්‌ නොව ඒ සම්බන්ධයෙන් සමස්‌ත ලෝකවාසී බෞද්ධයන්ගෙන් සමාව ද ඉල්ලා සිටියේය. 

මින්මතු මෙවැනි සිදුවීම් සිදුනොවීම පිණිස හෝටලයේ සෑම වගකිව යුතු නිලයකටම බෞද්ධයෙක්‌ පත්කරන බවද, ඕනෑම වේලාවක මෙවැනි දෙයක්‌ සිදුවේ ද යන්න සම්බන්ධයෙන් හෝටලය පරීක්‍ෂාකිරීම සඳහා අවසර ලබාදෙන බවට පොරොන්දු ද නිකුත් විය.

එම සමාව ඉල්ලීම සහ පොරොන්දු අවස්‌ථාවාදී උපක්‍රමයක්‌ මිස හදවතින්ම කළ දේවල් ලෙස පිළිගැනීමට තරම් මේ රටේ බෞද්ධ ජනතාව 'මෝඩ ' නොවන බව පළමුවෙන්ම එම හෝටල් වල තීන්දු තීරණ ගන්නා උදවිය දැනගතයුතුය. 

එහෙත් බෞද්ධ දර්ශනයේ හරය ජානගතව තිබූ බැවින්, සිද්ධිය පිළිබඳ ඉදිරි කටයුතු නීතියට භාරදෙමින් වෙනත් ප්‍රතික්‍රියාවක්‌ නොදක්‌වා සිටීමට මෙරට බෞද්ධයාට හැකිවීම ඔවුන්ගේ වාසනාවක්‌ බව ඔවුන්ට දැනෙනවා ඇත.

වෙනත් රටක ප්‍රධාන ආගමට අපහාස වන ලෙසින් එම රටේ මෙවැනි දෙයක්‌ සිදුවුණි නම් ඒ සිදුකළ වුන්ගේ හතර පරම්පරාවටම එයට වන්දි ගෙවීමට සිදුවනවා පමණක්‌ නොව මේ වන විට සිද්ධියට අදාළ හා අදාළ නොවන දේපළ රැසක්‌ද ගිණිබත්ය. 

නමුත් තම අසහාය ශාස්‌තෘන්ගේ නාමය 'තැබෑරුමකට' යොදා උන්වහන්සේ වදාළ අතිශයින් සුන්දර වූත්, ගාම්භීර වූත් 'නිර්වානය' නැමැති වචනය කුසෙහි වමනයක්‌ බවට පත්වන ආහාර වේලකට දමා තිබිය"ත් මහා සංයමයකින් යුතුව එය මේ තරමින් ඉවසා දරාසිටීමට හැකි වූ බෞද්ධ ජනයා පසසන්නට අපට වචන නැත. 

හෝටලයේ සිදුවූ ක්‍රියාව මොන තරම් 'පහත්' වුව ද, බෞද්ධයන් එයට දැක්‌වූ ප්‍රතික්‍රියාව ඔවුන් පෝෂණය වූ දහමේ 'ඉහළ බව' ලොවටම කියා පාන්නක්‌ම විය. මේ ශ්‍රේෂ්ඨ දහමට නිගා කළවුන් අවසානයේ එම දහමේ උතුම් බව නිසාම නිරුපද්‍රිත වූහ.

වාර්තා වන අන්දමට මෙය එක්‌තරා ප්‍රසිද්ධ සංචාරක සේවා සපයන සමාගමක්‌ (එම සමාගමේ තොරතුරුද අප සතුව ඇත) ප්‍රංශ සමාගමක සේවකයන් 50 ක පමණ පිරිසක්‌ මෙරටට කැඳවා ලබාදුන් සත්කාරයේ එක්‌ අවස්‌ථාවකි 'බුද්ධ බාර්' සාදය. 'නිර්වාන' කෑම වේල.

මෙම 'අපායගාමී ආශ්වාදයට' වේදිකාව සැපයූ අදාළ තරු හෝටලය සේවක සේවිකාවන් 400 ක්‌ පමණ සිටින මිලියන හැට ගණනක්‌ පාඩුවක්‌ පිට දුවන හෝටලයකි. එහි සාමාන්‍යාධීකාරී ප්‍රංශ ජාතික කාන්තාවකි. ඇගේ අරමුණ පාඩුව ලාභය බවට හරවාගැනීම විය හැක. 

එය කළමණාකාරිත්වයේ යුතුකමකි. එහෙත් ඒ උදෙසා ඕනෑම දහජරා වැඩක්‌ කිරීටම හැකි සංචාරක ක්‍ෂේත්‍රයක්‌ බිහිවන්නේ නම් එහි අගතිය මුදල් ලාභයකට ලඝූකළ හැකිද?

මේ මෙවැනි සිදුවීමක්‌ වාර්තා වූ මෙරට පළමු අවස්‌ථාව විය හැකිය. නමුත් වාර්තා නොවූ, වාර්තා නොවන සහ වාර්තා නොවිය හැකි මෙවැනි ඉසව් කොපමණ මේ සංචාරක ක්‍ෂේත්‍රයේ සිදුවෙනවාද යන්න අපි නොදනිමු. එය එසේ වුවත් තම පාලනය යටතේ ඇති ක්‍ෂේත්‍රයේ මෙවැනි දෑ සිදුවන්නේ ද යන්න සොයාබැලීම හෝ එවැනි දෑ නැවත සිදුවන්නට ඇති ඉඩකට ඇහිරීමේ වගකීම සංචාරක අමාත්‍යංශය සතුය.

මේ බෞද්ධ රාජ්‍යයේ හෝටල් තුළ මෙවැනි දෑ සිදුවද්දී අඳ-ගොළු- බිහිරි අමාත්‍යංශයක්‌ ලෙසින් එය හැසිරෙන්නේ නම් එවැනි අමාත්‍යංශ මෙවන් රටකට කුමට? මින් ඉදිරියට හෝ සංචාරක හෝටල් තුළ සිදුවන ඉසව් සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය සිදුවිය යුතු බව අවධාරණය කළ යුතු කරුණකි.

කෙසේ හෝ වේවා මෙම සිද්ධිය පිළිබඳ විභාගය නීතියට භාරදී බෞද්ධයෝ එතැනින් නතර වූහ. මේ වන විට හෝටලයේ සේවකයන් දෙදෙනෙක්‌ සිදුවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

රටේ නීතිය හමුවට පමුණුවා ඇත්තේ මේ සම්බන්ධයෙන් සැබෑම වැරදිකරුවන් ද නැතහොත් ඉහළින් වගකිවයුත්තන් ඉහළ පුටුවල සිටිද්දී පහත්තැනින් ජලය ගලා ගියේ ද යන්න අපි නොදනිමු.

රටේ නීතිය හමුවේ කතන්දරය එය වුවත්, ලෝක නීතිය හමුවේ කථාව මෙයට හාත්පසින්ම වෙනස්‌ය. ඒ කර්මය සහ කර්ම ඵලයයි. එය සර්ව සාධාරණ නීතියකි. නීතිඥයන්ට මුදල් ගෙවා එයින් නිදහස්‌ විය නොහැක.

ගුණයෙන්, ප්‍රඥාවෙන් විශ්වයේ කිසිවෙකුට සමකළ නොහැකි භාග්‍යවතුන් වහන්සේට කිසිවකු විසින් අපහාස කළේද, එයට අනුබල දුන්නේද, ඒ සඳහා අවස්‌ථාවක්‌ සපයාදුන්නේද ඒ සියල්ලන් කර්ම ඵලය ලෙසින් නිරයේ අනන්ත දුක්‌ විඳිනු ඇත. ඩොලර් කිහිපයක්‌ උපයාගැනීම වෙනුවෙන් 'නිර්වානය' ආහාරවේලක්‌ කර දුන් උන් කල්ප ගණනක්‌ නිරයේ ගිනිදළු බුදිනු ඇත.

Hot And Fast නිවුස් විමර්ශන වෙත වාර්තා වන්නේ "බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන හෝටලය බේරුවල "Cinnamon Bey" හෝටලය බවත් එහි කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන විසි අට වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූ බවත්ය.


එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එහි කළමනාකරුවන්වූ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මොහොමඞ් ෆලීල් යන දෙදෙනාය. එම සාදය පැවැත්වෙමින් තිබියදී විසි එක්වනදා වැනිදා රාත්‍රියේ එහි පැමිණි බොදු බල සේනා සංවිධානයට අයත් භික්‍ෂූන් වහන්සේලා සාදය වැළැක්වූහ.

වොකස් ටුවස් ආයතනය විසින් "Big Mat" නම් ප්‍රංශ ආයතනයට අයත් සංචාරකයන් පිරිසක් දින තුනක නිවාඩුවක් සඳහා බේරුවල "Cinnamon Bey" හෝටලට යොමුකර තිබෙන අතර අදාල සංචාරකයන්ගේ ඉල්ලීම මත මෙම ”බුද්ධ බාර්” රාත්‍රී කෑම සාදය පවත්වා තිබේ.

එදින එම ආහාර ලේඛනය "නිර්වාණ" ලෙස හඳුන්වාදී තිබෙන අතර ”බුද්ධ බාර් ” සංගීතය පසුබිම් වාදනය ලෙස යොදා නෙලුම් මල් ස්වරුපයෙන් යුත් ඉටිපන්දම් සැරසිලි ලෙස යොදාගෙන තිබේ.මෙම සාදය සඳහා බුදු පිළිම හෝ බුද්ධ පින්තුර යොදාගෙන නොමැත.

ජොන් කීල්ස් ආයතනයට අයත් මෙම හෝටලය තුල ”බුද්ධ බාර්” වැනි ඉසව් සංවිධානයවීම සහ ජොන් කීල්ස් ආයතනයට අයත් එලිෆන්ට් හවුස් ආයතනය 90.8 % වන මුස්ලිම් නොවන ජනතාවගේ ඉල්ලීම් පසෙකලා තම නිෂ්පාදනවලට හලාල් සහතිකය යෙදීම හේතු කොටගෙන, මෙම ආයතනය කුමන අරමුණක් සඳහා සුදානම් වන්නේද යන්න ජනතාව අතර ගැටලුවක් පවතීයි.

අප ඒය හේතු කොටගෙන ජොන් කීල්ස් හෝටෙල්ස් හි ඉහල කළමණාකාරීත්වයෙන් මෙය පිලිබඳ විමසීමක් (නිල නොවන) කරන ලදී. එවිට ඔවුන් කියා සිටියේ මෙම ”බුද්ධ බාර්” යන සාදය සංවිධානය කිරීම පහල පෙළ කළමනාකරුවන් තම දෛනික රාජකාරි කිරීමේදී ගත් තීරණයක් බවත් මෙය සම්බන්ධයෙන් ඉහල කළමනාකාරිත්වය දැනුවත්ව නොතිබූ බවත්ය. මේ හේතුවෙන් එලෙස ක්‍රියාකළ (event oder එක ලබාදුන්) සේවකයන් සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රකාශ කරණ ලදී.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ජොන් කීල්ස් හෝටෙල්ස් කළමණාකාරීත්වය කිසිවිට බුද්ධ ධර්මයට හෝ රටේ සංස්කෘතියට හානිවන කිසිවක් නොකරන බවයි . තවද ඔවුන් සාංගමික සමාජ වගකීම්(CSR) යටතේ ඔවුන් විශාල වශයෙන් ශාසනික සහ සමාජ සේවා සිදුකරණ බවත් ප්‍රකාශ කරන ලදී.

එයට සාක්ෂි වශයෙන් සිදුකල වැඩසටහන් බොහොමයක විස්තර ඉදිරිපත් කරන ලද අතර, එලෙස සාක්ෂි වශයෙන් ඉදිරිපත් කල කරුණු වල සත්‍යයතාව අප සොයා බැලීමේදී ඔහු ඉදිරිපත් කල කරුණු සත්‍යය බව අනාවරණය විය. කුමන අය කෙසේ කීවද වරදක් කර ඇති බව පැහැදිලිය.

ශ්‍රී ලාංකික සමාජය මෙම දිනවල ආගම සහ සංස්කෘතිය පිලිබඳ වඩාත් සංවේදී වීම මත ව්‍යාපාර ආයතන මිට වඩා සැලකිලිමත් ලෙස ව්‍යාපාර කිරීමේ අවශ්‍යතාවය මතුව පවතින බව අවසාන වශයෙන් සඳහන් කලයුතුය.





"බුද්ධ බාර්”පැවැත්වූ බේරුවල "Cinnamon Bey" හෝටලය








 
Related Posts with Thumbnails