Ads 468x60px

.

ජීවිතේ කිසි දෙයක්‌ නිකන් ලැබෙන්නේ නැහැ - කලකට පසු මහානාම සමග කළ කතා බහක්‌

උපන් රට ලෝකේ අන් සැම රටකටම වඩා වටිනවා... 

1996 ක්‍රිකට්‌ ලෝක කුසලානය මව්බිමට රැගෙන ආ කණ්‌ඩායමේ ප්‍රබල භූමිකාවක්‌ හෙතෙම රඟ දැක්‌විය. මෙරටින් බිහිවූ දක්‌ෂතම පන්දු රකින්නෙකු වූ හෙතෙම දැනට අන්තර්ජාතික ක්‍රිකට්‌ කවුන්සිලයේ නිත්‍ය තරග තීරකවරයකු ලෙස කටයුතු කරයි. 

සෘජු තීරණ ගන්නා තීරකවරයකු ලෙස ප්‍රචලිත ඔහු නමින් රෝෂන් සිරිවර්ධන මහානාම වෙයි. මේ බේබි ෂෙරමි බිග් හාර්ට්‌ "නැණදිරිය" වැඩසටහන සඳහා එක්‌වී ඇති මොහොතක ඔහුත් සමඟ කල කතා බහක්

රොෂාන් ඉතිං කොහොමද?
හොඳින් සතුටින් ඉන්නවා. 

කාලෙකට පස්‌සෙ දැක්‌කෙ...
ඔව්. රාජකාරි බහුල නිසා ලංකාවේදී දකින්න ඉන්නවා අඩුයි. 

ඒ කියන්නේ දැන් පදිංචිය පිටරටද?
අපෝ නැහැ. ලංකාව දාලා කොහේවත් යන්නේ නැහැ. රටවල් කිහිපයකම ඉන්න යාළුවන්ගෙන් ආරාධනා ලැබුණා එහි පදිංචියට එන්න කියලා. නමුත් පවුලේ සැමදෙනා සමග සාකච්ඡා කර එම ඉල්ලීම් සුහදව ප්‍රතික්‌ෂේප කළා. උපන් රට ලෝකේ අන් සැම රටකටම වඩා වටිනවා. 

වසරකට දින කීයක්‌ පිටරට ඉන්නවද?
දවස්‌ 150 කට වඩා ඉන්නවා.

මෙවර ලොකු සමාජ සද්කාර්යයකට අතගැසුවා නේද?
ඔව්. බේබි ෂෙරම් බිග් හාර්ට්‌ වැඩසටහනට දායක වුණා. දැයේ දුප්පත් දුවා දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමේ මහඟු සද්කාර්යයක්‌ සඳහා දායක වෙන්න ලැබීම භාග්‍යයක්‌. 

එහි ඔබගේ කාර්යභාරය කුමක්‌ද?
මම වැඩසටහන් තානාපතිවරයෙක්‌ ලෙස කටයුතු කරනවා. 

මෙම වැඩසටහන නිසා 96 ලෝක කුසලානය දිනාගත් ශූරයෝ පිරිස නැවත මුණගැසුණා නේද?
ඔව්. "නැණදිරිය" සාර්ථක කර ගන්නත් 96 ලෝක කුසලානය දිනාගත් කණ්‌ඩායම නැවත එක්‌කාසු කර ගන්නත් මෙම වැඩසටහන හේතු වුණා.

ලෝක කුසලානය දිනාගත් කණ්‌ඩායමේ සැවොම එදා එක්‌ වුණාද?
මාවන්ටයි, මුරලිටයි, කුමාටයි ඔවුන්ගේ රාජකාරි නිසා එක්‌ වෙන්න බැරිවුණා.

වසර 16 කට පසු සිදුවූ මෙම හමුවීම කෙබඳුද?
ඇත්තටම ඉතාමත් සුන්දරයි. අතීත මතකයන් නැවත ආවර්ජනය වුණා.

කණ්‌ඩායමට නායකත්වය දුන් "කැප්ටන් කූල්" (අර්ජුන) තවමත් ඒ වගේමද?
ඔව්. අර්ජුන අයියා ලෝකයේ සිටින විශිෂ්ට නායකයෙක්‌. වෙනසකට තිබුණේ එදා මැච් එකේදී කවුරුත් අර්ජුන අයියාගෙන් බැණුම් නාහපු එකයි. ඔහුගෙන් බැණුම් නාසා ගැහුව එකම මැච් එක ඒ මැච් එකයි.

ඒ කියන්නේ ඒ දවස්‌වල හොඳට බණිනවා වගේ... 
එදා කණ්‌ඩායම ජයග්‍රහණ කරා ගියේ අර්ජුන අයියාගේ නායකත්වය නිසා. තරග ජයග්‍රහණය කරන්න, ක්‍රීඩකයන්ගේ හොඳම දේ උකහා ගන්න ඔහු නොයෙක්‌ විධි භාවිතා කළා. ඔහුට තිබෙන ගෞරවය කිසිදාක නැති වෙන්නේ නැහැ.


ලෝකයේ සිටින හොඳම පන්දු රකින්නෙක්‌ ලෙස ඔබව පිළිගන්නවා. එදා මැච් එකේදී උඩ පන්දුවක්‌ ගිලිහී ගියා...
දැන් හතළිස්‌ ඇඳිරිය. එදා වගේ නොවෙයිනේ. 

ඔබ ජාතික කණ්‌ඩායම නියෝජනය කරන විට නිතර පාදයේ ආබාධයකට ලක්‌වුණා. දැන් එහි තත්ත්වය කොහොමද?
දැන් පරිස්‌සමට තමයි වැඩ කරන්නේ. මගේ වම් කකුලේ තමයි එම ආබාධය හට ගත්තේ. වම් කකුලේ ශල්‍යකර්ම පහක්‌ සිදුකර තිබෙනවා. 

අද අප රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව පවතින තත්ත්වය ගැන ඔබේ අදහස...
අපි ගොඩක්‌ ඉදිරියට ඇවිත් තිබෙනවා. ලෝක කුසලාන තරගාවලි කිහිපයක අවසන් තරග දක්‌වා පැමිණීමට හැකිවී තිබෙනවා. කුඩා රටක්‌ ලෙස ගත්තහම අපි අනෙක්‌ රටවලට වඩා ගොඩාක්‌ ඉදිරියෙන් සිටිනවා. 

අයි.පී.එල්. ක්‍රිකට්‌ ක්‍රීඩාවට හානියක්‌ද?
මම බැඳී සිටින වගකීම් හා ගිවිසුම් අනුව ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දීම අපහසුයි. 

ඔබ තරග තීරකවරයෙක්‌. මේ දවස්‌වල ලොව වටා ක්‍රිකට්‌ තරග පැවැත්වෙනවා. ඒ සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්නේ නැද්ද?
අන්තර්ජාතික ක්‍රිකට්‌ කවුන්සිලය ලබාදෙන රාජකාරි අනුවයි වැඩ කරන්නේ. ලබන මස නවසීලන්තයට යැමට නියමිතයි. 

හොඳයි. ඔබගේ පවුලේ තොරතුරු කොහොමද?
හැමෝම හොඳින් ඉන්නවා. මගේ ලොකු දුව මේ වසර අවසානයේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. දෙවැනියා උසස්‌ පෙළ කරනවා. බාලයා සාමාන්‍ය පෙළ ලියා ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටිනවා. ගැහැනු දරුවන් නිසා වගකීම වැඩියිනේ. හැමදේම හරියට කෙරෙන්න ඕනා. 

ක්‍රිකට්‌ ක්‍රීඩාවට අවතීර්ණ වන නවකයන්ට, පාසල් සිසුන්ට දෙන්න තිබෙන අවවාදය කුමක්‌ද?
කැපවීමකින් ක්‍රීඩා කළ යුතුයි. විනයගරුක බව ඉතා වැදගත්. ජීවිතේ කිසි දෙයක්‌ නිකන් ලැබෙන්නේ නැහැ. මහන්සි වී වැඩ කර ප්‍රතිඵල නෙලාගත යුතුයි.

 
Related Posts with Thumbnails