Ads 468x60px

.

පෙම්වතාගේ බල කිරීම මත දුරකථනයෙන් නිරුවත වීඩියෝ කර පෙම්වතිය අමාරුවේ වැටුණු හැටි.

ඔයාගෙ නිරුවත්  ඡායාරූප තියන වීඩියෝ  පටයක් අපි ළඟ තියනවා. 

අපි ඒක ඉන්ටර්නෙට් එකට දාන්නයි යන්නෙ..

තරුණියකගේ නිරුවත් ඡායාරූප සහිත වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන බවට බිය වද්දමින් ඇගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් සහ රන් ආභරණ ලබාගත් අඹු සැමි යුවළක් පසුගියදා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්  රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවට ඉදිරිපත් කර තිබුණා

මෙම සැකකරුවන් ලබන 22 වන දින දක්වා රක්ෂිත  බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මීට දින කීපයකට ඉහතදීය.
මෙම අකරතැබ්බට මුහුණ පෑ තරුණිය කටුගස්තොට  ආසන්නයේ වෙළෙඳ සලක සේවය කළාය. වයස අවුරුදු 21 ක් පමණ වන ඇය රූමත් තරුණියකි. 

මීට සති කීපයකට පෙර ඇයගේ ජංගම දුරකථනයට නන්නාඳුනන අංකයකින් ඇමතුම් ගලා එන්නට විය. නුහුරු නුපුරුදු අංකයක් නිසා ඇය එම ඇමතුම් වලට පිළිතුරු නොදී ඒවා විසන්ධි කරන්නට පියවර ගත්තාය. නමුත් දිවා රාත්‍රී එන එම ඇමතුම් කාගෙන්ද යන කුතුහලය නිසාම ඇය එක්වරක්  එයට පිළිතුරු දෙන්නට තීරණය කළාය.

ආ මිස් ඔයා ඉන්නෙ කටුගස්තොට නේද.....? දුරකථන ඇමතුම දුන් අය විමසීය. තරුණිය මදක් නිහඬ වූවාය. 

ඔයාගේ නම.....නේද?
ඔයා පදිංචි අහවල් තැන නේද.

ඇමතුම දුන් නාඳුනන පුද්ගලයා තරුණියට කියන්නට වූයේ ඇය පිළිබඳ සියලු විස්තර දන්නා බවක් පෙන්වමිනි.

ඔයා කවුද....? තරුණිය පෙරලා ඔහුගෙන් ඇසුවාය.
මේ.......මම කවුරු වුණත් කමක් නැහැ........ වැදගත් දෙයක් කියන්නයි ගත්තෙ. 

ඔයාගෙ නිරුවත්  ඡායාරූප තියන වීඩියෝ  පටයක් අපි ළඟ තියනවා. අපි ඒක ඉන්ටර්නෙට් එකට දාන්නයි යන්නෙ....

එය ඇසූ තරුණිය මහත් කම්පනයටත් භීතියටත් පත් වූවාය.
.......මේ මගේ ඡායාරූප....? තරුණිය ඇසුවේ ව්‍යාකූලත්වයට පත් මනසිනි.

ඒ පින්තූර ඉන්ටර්නෙට් එකට නොදා ඉන්නනම් රුපියල් දස දහසක් ඕනෙ. නාඳුනන ඇමතුම දුන් පුද්ගලයා කීය.

කලබලයට පත් තරුණිය  එම පුද්ගලයා  ඉල්ලූ මුදල දීමට එකඟ වූවාය.
නන්නාඳුනන පුද්ගලයාගේ කරදරය එතැනින් අවසන් වූයේ නැත. ඊට පසු තවත් දින කීපයක්ම ඔහු ඇයට කතා කළාය.  මෙලෙස තරුණියට දුරකථන ඇමතුම් ලබා දී මේ ආකාරයෙන් මුදල් ලබාගත්තාය. මෙම පුද්ගලයාගෙන් තරුණියට බේරීමට හැකියාවක් නැති විය. 

ඇගේ මාසික වැටුප පවා මෙම පුද්ගලයා කප්පම් ලෙස ලබා ගන්නට පියවර ගත්තේය. අවසානයේ ටිකෙන් ටික ඇගේ රන් ආභරණ පවා දී ඔහුගෙන් ගැලවීමට තරුණිය උත්සාහ කළත් ඉනුදු පළක් නොවුණි.  සමහර දිනක මෙම කප්පම් මුදල ඇය සමග සේවය කරන ඇගේ මිතුරියට දෙන ලෙස කප්පම්කරු ඇයට දන්වා තිබිණි.

අනේ අයියේ.......මගේ ළඟ ආයෙ සල්ලි නැහැ...... දැන් රුපියල් ලක්ෂ ගණනක් ගත්තා නේ....... දැන් මේක නවත් වන්න ....... තරුණිය එම පුද්ගලයාට ඇවිටිලි  කරන්නට විය. ඒත් එම පුද්ගලයාගෙන් තරුණියට කිසිදු ගැලවිල්ලක් නොවීය.

ආයෙ ඉල්ලන ආකාරයට සල්ලි දෙන්න බැරි නම් මේ ‍පොටෝ දාලා ගමේ කැලෑ පත්තර ගහනවා....... එතකොට ගමෙත් ඉන්න බැරිවෙයි. කියමින් එම පුද්ගලයා  තරුණිය නිතර නිතර  බියගන්වන්නට පටන් ගත්තේය. 

තරුණිය මින් ගැලවීමට මගක් සෙව්වත් ඒ සඳහා ඇයට විකල්පයක් සිතාගත හැකි නොවීය. මහත් භීතියෙන් සහ සිත් වේදනාවෙන් යුතුව දිවා රෑ කල්පනා කළ ඇය අවසානයේ මේ බව ඇගේ පියාට හෙළි කළාය.

අනේ තාත්තෙ......... මගේ මූණට  නිරුවත් ඡායාරූප බට් කරලා මගෙන් මුදල් ගන්නා අයෙක් ඉන්නවා. යැයි ඇයට මතෛක් සිදුවූ සියල්ල ඇය සිය පියාට කීවාය.

මෙහි බරපතළකම තේරුම් ගත් ඇගේ පියා වහා මේ පිළිබඳව කටුගස්තොට ‍පොලිසියට පැමිණිලි කළේය. ඊට පසු දිනද  එම පුද්ගලයා  නැවත තරුණියට කතා කර රුපියල් දාහත් දහසක මුදලක් ඉල්ලා ගෝරනාඩු කරන්නට පටන් ගත්තේය. පොලීසිය ලබාදුන් උපදෙස් මත  තරුණිය ඒ මුදල කප්පම්කරුට ලබාදීමට එකඟ විය.

සුපුරුදු පරිදි මෙම කප්පම්කරුට මුදල් සහ රන්භාණ්ඩ ලබා දුන් තැනටම එම මුදල ගෙන එන ලෙස කප්පම්කරු තරුණියට කීවේය. නමුත් තමා උගුලක හසුවන්නට යන බව ඔහු ඒ වන විට දැන සිටියේ නැත.  කප්පම්කරු කී කතාව තරුණිය ‍පොලිසියට දැන්වූ පසු  ‍පොලිසිය කප්පම්කරු අල්ලා ගැනීමට අවශ්‍ය උපායන් යෙදවිය. කප්පම්කරු මුදල් ගෙන එන ලෙස තරුණියට කියූ මාවිල්මඩ ප්‍රදේශයේ රැකවල්ලා සිටි ‍පොලිසිය  ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය.

කප්පම් කරු කියූ වේලාවට තරුණියද මුදල් ගෙන මාවිල්මඩ ප්‍රදේශයට ආවාය.  කළු පැහැති  ජැකට් එකක් ඇඳගත් තරුණයකු පැමිණ එම මුදල තරුණිය අතින්  රැගෙන පිටත් වීමට සූදානම්  වෙද්දී සැඟව  සිටි ‍පොලිස් නිලධාරින් කප්පම්කරු අල්ලන්නට යාමේදී මේ පිළිබඳව සැක සිතූ ඔහු දිව යන්නට විය. ‍පොලිස් නිලධාරීන් කප්පම්කරු පිටුපස ලුහුබැඳ ඔහු අල්ලා අත්අඩංගුවට ගත්තේය.

කප්පම්කරු ගෙන් දිගින් දිගටම ‍පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ  ඔහු ‍පොලිසියට පවසා ඇත්තේ තරුණියගේ මෙම නිරුවත් ඡායාරූප පිළිබඳව තමාට කීවේ තම බිරිඳ  බවය. මෙම කප්පම්කරුගේ බිරිඳ මෙම තරුණිය සමග එකට එකම වෙළෙඳස‍ලේ සේවය කරන ඇගේ මිතුරියකි.

දිනක් කප්පම්කරුගේ බිරිඳ තම මිතුරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී මිතුරියගේ නිරුවත් ඡායාරූප සහිත වීඩියෝ පටයක් එහි තිබෙනු දැක ඇත. ඒ බව ඇය තම සැමියා  වන කප්පම්කරුට පවසා තිබේ. එක්වරම කප්පම්කරු  කියා ඇත්තෙ මෙය මහා ඉල්ලුමක් බවය.

ඒ  අනුව කප්පම්කරු ඔහුගේ ජංගම  දුරකතනය තම බිරිඳට  දී පවසා ඇත්තේ එම නිරුවත් වීඩියෝව බ්ලූටූත් හරහා තමන්ගේ ජංගම දුරකථනයට පිටපත් කරගන්නා ලෙසය. තම සැමියා කියූ ආකාරයට  ඇය එම නිරුවත් ඡායාරූප ජංගම දුරකතනයට පිටපත් කරගෙන සැමියාට ලබා දී ඇත.

කප්පම්කරු තමා සමග එකට වැඩ කරන මිතුරියගේ සැමියා බව තරුණිය දැනගෙන ඇත්තේ ‍පොලීසියේ දීය.ඇත්තටම මෙම තරුණියගේ නිරුවත් ඡායාරූප  ඇගේ ජංගම  දුරකථනයට  ආවේ කොහෙන්ද  යන්න අප මහනුවර උසස් ‍පොලිස්  නිලධාරියකුගෙන් විමසුවෙමු.

ඇත්තම කියනවා නම් තරුණියන් දුර දිග නොබලා කරන වැඩ නිසා ඔවුන්  විහින් අමාරුවේ වැටෙන්නේ. මේ තරුණියට පෙම්වතෙක් සිටින බව ‍පොලිස්  පරීක්ෂණ වලින් අනාවරණය වුණා.  එම පෙම්වතාගේ බල කිරීම මත  මෙම තරුණිය  ඇයගේම  ජංගම දුරකථනයෙන් මෙම රූප වීඩියෝ ගත කර තිබෙනවා. ඒ ඔහුට ලබා දීම සඳහා. එය ඇගේ දුරකතනයේ  තිබෙනු දුටු  අයෙක් නිසා තමයි මේ තත්ත්වය උදාවුණේ.

මේ කතාවෙන් අද සමාජයට විශාල ආදර්ශයක් ගන්න පුළුවන්. ආදරය වෙනුවෙන්, පෙම්වතා වෙනුවෙන් වුවත් කළ යුතු දේ. නොකළ යුතු  දේ. හරිහැටි තේරුම් ගත්ත නම් මෙම තරුණිය අද මේ වගේ අමාරුවක වැටෙන්නේ නැහැ. ඒ  වගේම තමයි මෙවැනි දේවල් වලින් හොඳින් හෝ නරකින්  ලාභ ප්‍රයෝජන  ගන්න පිරිසක් අද සමාජයෙ ඉන්න බව අමතක කළ යුතු නැහැයි ද ඔහු පැවසීය.
 
Related Posts with Thumbnails