Ads 468x60px

.

සෙනඟ වැඩි වෙලාවට මම පන්සල් ගියාම මට වඳින්නත් නෑ ආව අයට වඳින්නත් නෑ ඕෂධී කියයි

මම නිතර පන්සල් යන කෙනෙක් නෙමෙයි... 

මම ගොඩක් දවස්වලට පන්සල් යන්නෙ සතියේ දිනවල රෑට...

ඕෂධී අපට සිටින දක්ෂතම රංගන ශිල්පිනියකි; එසේම නර්තන ශිල්පිනියකි. ඕෂධී වාසනාවන්ත රංගන ශිල්පිනියක ලෙස හැඳින්වීම ද නිවැරැදිය. 

ඒ ඉතා කෙටි කාලයක් තුළ ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ ද හොඳ චරිත නිරූපණය කිරීමේ අවස්ථා කීපයක්ම ඇය ලද නිසාය. ඕෂධී උතුම් මව් පදවිය ලැබුවේ ළඟදීය. අප ඕෂධී සමඟ කතාබහට එක්වූයේ ඇයගේ නවතම තොරතුරු දැනගැනීමේ අරමුණෙනි.

මොන වගේ කලා කටයුතුවල ද ඔබ මේ දවස්වල නිරත වෙලා ඉන්නේ...?
කිසිම කලා කටයුත්තක මේ දවස්වල යෙදිල නැහැ. කරන ලොකුම වැඩේ තමයි පුතත් එක්ක ඉන්න එක පුතාව බලාගන්න එක.

දැන් පුතාට මාස කීය ද?
දැන් මාස තුන සම්පූර්ණ වුණා විතරයි.

මවක් වීම ගැන මොනවද ඔබට හිතෙන්නෙ...?
ඕනෑම ගැහැනියක් බලාපොරොත්තු වෙන පදවිය තමයි මව් පදවිය. ඒ පදවිය මටත් ලැබුණා. මම හරිම සතුටින් දැන් කාලය ගෙවන්නේ. ජීවිතය සම්පූර්ණයි කියල දැන් මට හිතෙනවා.


අනාගතයේ දී පුතා කලාවට සම්බන්ධ වෙනවට ඔබ කැමැති ද?
මමයි මගේ සැමියයි දෙන්නම කලාවට සම්බන්ධ නිසා මගේ පුතා තුළත් කලා හැකියාව ඇති. නමුත් අපි පුතාව කිසිම දේකට බලෙන් යොමු කරන්න අදහසක් නෑ. එයා කැමැති, දක්ෂ ක්ෂේත්‍රය අනාගතයේ දී එයා තෝරා ගනීවි.

ඔබේ එන්න තියෙන නිර්මාණ...?
‘වෙරෝනිකා’, ‘සුන්දර විරාමයක්’, ‘ළවැලිතලා මල් පිපිලා’ වැනි ටෙලි නාට්‍ය 8 කට වැඩි ප්‍රමාණයක් එන්න තියෙනවා. මම රඟපෑ ශි‍්‍ර ‘සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා.

‘ශි‍්‍ර සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රඟපාන්න ලැබීම ගැන ඔබට මොනවද හිතෙන්නෙ.
ශි‍්‍ර සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ රඟපාන්න ලැබීම ඉතාම ලොකු ගෞරවයක් විදියටයි මම සලකන්නේ. විශාල සිනමා නිර්මාණ ප්‍රමාණයකට දායක වෙන්න නොලැබුණාට ඓතිහාසික, හොඳ, උතුම් සිනමා නිර්මාණ කීපයකටම දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපටයේ මම නිරූපණය කරන්නේ සුජාතා සිටු දියණියගේ චරිතය.

මෙහි ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
මෙම චිත්‍රපටය පුරාම සුජාතා සිටු දියණියගේ චරිතය නොතිබුණත් චිත්‍රපටය නරඹපු පේ‍්‍රක්ෂකයින්ගේ අවධානය දිනාගැනීමට මගේ රංගනයට හැකි වෙලා තියෙන බව පේ‍්‍රක්ෂක ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා. ගොඩක් දෙනෙක් කතා කරල කියනව ඔවුන්ගේ හිත්වල මැවිල සිටිය සුජාතාව මගේ රංගනයෙන් දුටුව බව. ඒ ගැන මම සතුටු වෙනවා.

ජීවමානව සිටි ඓතිහාසික චරිතයක් නිරූපණය කිරීම අසීරුයි නේද?
ඇත්තෙන්ම ඔව්. සෑම බෞද්ධ අයෙකුගේම සිත් තුළ සුජාතා සිටු දියණිය ජීවත් වෙනවා. මගේ රංගනයෙන් ඔවුන්ගේ සිත් තුළ ඉන්න කෙනා දකින්නේ නැතිනම් මගේ රංගනය ඔවුන් ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් පේ‍්‍රක්ෂකයින්ගේ බලාපොරොත්තු බිඳ දමන්නේ නැතිව එවැනි චරිතයක් නිරූපණය අසීරු කටයුත්තක්.

ඔබ ආගමට ළැදි කෙනෙක් ද?
මම බෞද්ධයෙක්. මම ආගමට ළැදියි. නමුත් මම නිතර පන්සල් යන කෙනෙක් නෙමෙයි. මම ගොඩක් දවස්වලට පන්සල් යන්නෙ සතියේ දිනවල රෑට. එතකොට සෙනඟ අඩුයි. සෙනඟ වැඩි වෙලාවට ගියාම මට වඳින්නත් නෑ; පන්සලට ආව අනෙක් අයට වඳින්නත් නෑ. ඒ මොකද ගොඩක් දෙනෙක් මා එක්ක හිනාවෙන්න කතා කරන්න හදන නිසා. ඒ පේ‍්‍රක්ෂකයින්ගේ ආදරය. නිතර පන්සල් නොගියාට මම ආගම දහමට අනුව ජීවත් වෙනවා.

ඔබ මෙගා ටෙලි නාට්‍යවලට දායක වෙන්නෙ නැත්ද?
මෙගා ටෙලි නාට්‍ය ආරම්භ වුණු මුල්ම කාලෙ මම ‘කාව්‍යා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක තමයි මගේ පළමු සහ අවසාන මෙගා ටෙලි නාට්‍යය. මම මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවෙන්නේ වෙනත් හොඳ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීමේ අවස්ථාව එයින් මඟ හැරෙන නිසා. මෙගා ටෙලි නාට්‍යවල වැඩ එක දිගටම කෙරෙනවනෙ.

ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න අදහසක් නැත්ද?
ඉතාලියත් සමඟ කළ හවුල් නිෂ්පාදනයකට අපි දායක වුණා. ඒ ‘වෙරෝනිකා’ ටෙලි නාට්‍යය. තවම ඒක විකාශය වුණේ නෑ. ඒක විකාශනය වුණාට පසුව මමත් මගෙ සැමියත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා.

නැවතත් කවදද කලා කටයුතුවලට දායක වෙන්නෙ?
පුතාට දැන් මාස 3 ක් සම්පූර්ණ වුණු නිසා රූපවාහිනී නාළිකාවක නිවේදන කටයුතුවලට ළඟදී ඉඳල සහභාගි වෙනවා. පුතාට මාස 6 ක් වුණාට පසුව රූපගත කිරීම්වලටත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
 
Related Posts with Thumbnails