Ads 468x60px

.

පාසල්වල නීති විරෝධී ලෙස මුදල් එකතු කිරීම් සම්පූර්ණයෙන් තහනම් කරයි...

සල්ලි එකතු කළොත් දැඩි දඬුවම් සති දෙක කින් චක්‍රලේඛය එයි...

හොරණ 13 වියැති පාසල් ශිෂ්‍යාවක් පාසලට තීන්ත ගෑම සඳහා රුපියල් 800 ක් ගෙනඑන ලෙස දැන්වීමෙන් පසුව එම මුදල ලබාදීමට ඇගේ මවුපියන්ට වත්කමක් නොමැති නිසා පොල්ගෙඩි අටක් සොරාගත්තේ යැයි කියන සිද්ධියක් අප වෙත වාර්තා වුණා.

පොලීසිය ඇය හොරණ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 50000 ක ශරීර ඇප මත එම පාසල් දැරිය නිදහස් කිරීමේ සිද්ධියෙන් පසුව කුමන හේතුවක් මත හෝ දරුවන්ට බලපෑම් කරමින් පාසල්වල නීති විරෝධී ලෙස මුදල් එකතු
කිරීම් සම්පූර්ණයෙන් නැවැත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉදිරි සති දෙක තුළ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එවැනි සිද්ධියක් සැලවූ වහාම පරීක්ෂණයක් පවත්වා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර එයට අදාළ සියලු පුද්ගලයන්ගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය විධිවිධාන එමඟින් ක්‍රියාවට නංවන බව ද ඇමැතිවරයා කීය.

මෙම නව චක්‍රලේඛය රටේ සියලුම පාසල්වලට බලපාන ආකාරයට නිකුත් කරන බවත් පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ දී වුවත් පහසුකම් ගාස්තු හැර වෙන කිසිදු ගාස්තුවක් අය කළ නොහැකි බවත් ඇමැතිවරයා කීය.

මේ සිද්ධිය කැබිනට් මණ්ඩලයේදී විශේෂ සාකච්ඡාවට භාජනය වීමෙන් පසුව මෙවැනි සිද්ධි නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධ්‍යාපන ඇමැතිවරයාටත් අධිකරණ ඇමැතිවරයාටත් උපදෙස් දී ඇත.

විවිධ හේතු දක්වමින් පාසල් දරුවන් ගෙන් මුදල් විශාල වශයෙන් පාසල් මඟින් අයකර ගැනීම මවුපියන්ට මෙතෙක් විශාල කරදරයක් වී තිබිණි.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ කමලනී ද සිල්වා මහත්මියගෙන් මේ පිළිබඳව විමසූ විට ඇය කියා සිටියේ සමථ මණ්ඩල පනතට මෑතකදී කළ සංශෝධන අනුව වයස 18 න් පහළ දරුවකු සොරකමකට සම්බන්ධ යැයි චෝදනා ලැබුවොත් එහි වටිනාකම රුපියල් පන්දහසට අඩුනම් අනිවාර්යයෙන්ම එම පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කළ යුතු බවයි.

එසේ සමථයක් ඇතිකරගත නොහැකිවුවහොත් පමණක් එය පොලීසිය හරහා මහේස්ත්‍රාත් අධිකරණයකට යොමුකළ හැකි බව අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය කීවාය. තවදුරටත් අදහස් දැක්වූ ඇය මෙවැන්නක් සිදුව ඇත්තේ පොලීසියේ නොදැනුවත්කමින් බවත් ජනාධිපතිතුමාගේ නියෝග අනුව පොලීසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් කීවාය.


පොල් හොරකම් කළ දැරියට දුන් දඩුවම පිළිබද ජනපතිගේ කණගාටුව

පාසල් වල මුදල් එකතු කිරීම නීති විරෝධී වැඩක් – වහාම වාර්තාවක් දෙන ලෙස ජනපති නියෝග කරයි

පාසලේ තීන්ත ගෑම සඳහා අවශ්‍ය රුපියල් 800 ක්‌ ලබා ගැනීමට පොල්ගෙඩි හොරකම් කළ චෝදනාවකට හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ ශිෂ්‍යාවකට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමේ සිද්ධිය ඊයේ (7) පැවැති ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණ පවත්වා තමන් වෙත වාර්තාවක්‌ ලබාදෙන ලෙස එම රැස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අධ්‍යාපන හා අධිකරණ ඇමැතිවරුන්ට නියෝග කර ඇත.

මෙවැනි සිද්ධීන් දෙස වගකිවයුත්තන් සානුකම්පිතව නොබැලීම ගැන තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බවත් මෙම ගැටළු පහළ මට්‌ටමින් නිරාකරණය නොකර අධිකරණය තෙක්‌ ගෙනයැම නුසුදුසු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම පාසල් දරුවන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී ක්‍රියාවක්‌ බැවින් මෙම සිද්ධිය පිළිබඳවත් සමස්‌තයක්‌ ලෙස සියළුම පාසල්වල මෙවැනි මුදල් එකතු කිරීම් සිදුවන්නේ දැයි සොයා බලා කරුණු දක්‌වන ලෙසත් ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස්‌ දී ඇත.

පාසල්වල මෙවැනි වැරදි ක්‍රියා සිදුවන බව ඔප්පු වුවහොත් අදාළ විදුහල්පතිවරුන්ට එරෙහිව සෘජුව ක්‍රියා කිරීමට අමාත්‍යාංශයට බලයක්‌ නැතැයිද ඒ පිළිබඳව අමාත්‍යාංශයට බලය පැවරීමක්‌ සිදුවිය යුතු යැයිද ඇමැතිවරයා පවසාඇත.
 
Related Posts with Thumbnails