Ads 468x60px

.

සුරාජ්ට කරදරකාරී SMS එවූ පුද්ගලයා මෙන්න


මම ඔහුට සමාව 
දුන්නා...

සුරාජ් මාපා අපේ ජනප්‍රිය නළු පරපුරේ ඉදිරියෙන් සිටින නළුවෙක්. පසුගිය කා‍ලේ සුරාජ් ගැන ප්‍රබල කතා බහක් ඇතිවුණා.

නිර්නාමික දුරකථන ඇමතුම් මගින් ඔහුට විවිධ තර්ජන එල්ල කිරීමත්, අසභ්‍ය කෙටි දුරකථන පණිවුඩ මගින් ඔහුව අපහසුතාවයට පත් කිරීමත් නිසා සුරාජ් නීතියේ පිහිට පැතූ බව තමයි ඒ ආරංචිය වුණේ. 

අදාළ ක්‍රියාවට සම්බන්ධ බවට සැක කරන තැනැත්තකු මේ වන විට නීතියේ රැහැනට හසු වෙලා. ඒ ගැන අහන්න අපි සුරාජ්ට කතාකළා. 

පෞද්ගලික ජීවිතේ දී පහුගිය කා‍ලේ සුරාජ්ට යම් යම් අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවුණා නේද?


සිදුවීම් කිහිපයක් වුණා. ඒ අතර මට තදින්ම දැනුන සිදුවීම මගේ පියා අසනීප වීම. තාත්තා ගොඩක් අසනීප වුණා. දැන් මම අම්මවයි තාත්තවයි කොළඹට එකතු කරගෙන ඇවිත් ඉන්නේ.

දුරකථනයෙන් දැඩි අපහසුතාවයන්ට පත් කළ සිදුවීමකටත් 

ඔබ මුහුණ දුන්නා.

ඔව්, මගේ ගෙදරට දුරකතනයෙන්  කතා කරලා මං ගැන නොයෙක් දේවල් කියා තිබුණා. මගෙ දුරකතනයටත් එවැනි ඇමතුම් හා එස්.එම්.එස්. පණිවුඩ ආවා. කලා ලොවේ අයටත් මා ගැන නොයෙක් දේවල් කියලා එස්.එම්.එස්. පණිවුඩ යවලා තිබුණා. මුලදි මේ තත්ත්වය ඉවසාගෙන හිටියත් බැරිම තැන මම ‍පොලීසියට පැමිණිලි කලා.


අද වනවිට සැකකරුවකු නීතියේ රැහැනට හසුවී තිබෙනවා නේද?


ඔව්.

මෙය එක් පුද්ගලයකු විසින් සිදුකළ ක්‍රියාවක්ද? පිරිසක් එකතු වී සිදුකළ දෙයක්ද?


එක පුද්ගලයෙක් කළ බවට තමයි සැක. ඔහු අවුරුදු විසි හතරක විසි පහක විතර තරුණයෙක්.

ඔහු සුරාජ් හඳුනන අයෙක්ද?


නැහැ. මම ඊට කලින් ඒ මනුස්සයව දැකලවත් නැහැ.

ඔහු මෙවැන්නක් කරන්නට හේතුව මොකක්ද?


ඒක මට හරියටම කියන්න බැහැ. මට හිතෙන විදියට මට තිබෙන ජනප්‍රියත්වය සහ ගෑනු ළමයින්ගේ අවධානය ගැන ඇති වූ ඊර්ෂ්‍යාවකටයි ඔහු මෙය කරල තියෙන්නේ.

ඒ පුද්ගලයා කෙබඳු කෙනෙක්ද?


ඒ මනුස්සයා කතා කරන්නෙ නැහැ.  හරිම නිහඬ ගුප්ත පුද්ගලයෙක්. එයාගෙ මානසික තත්ත්වය ඒ පුද්ගලයා දුටු හැටියෙම මට පැහැදිලි වුණා. ඒ තැනැත්තා විශාල මානසික කඩාවැටීමකට ලක්වූ කෙනෙක්. නළු නිළියන්ගෙ දුරකතන අංක හොයන එක ඔහු කරනවා. 


මුලදී තමන් මේ වරද කළ බව ඔහු පිළිගත්තෙම නැහැ. ඒත් ඔප්පු වුණ පසුව එය පිළිගන්න ඔහුට සිදු වුණා. මෙවැනි දේවල් කරලා කුමක් හෝ මානසික තෘප්තියක් විඳීමේ පරමාර්ථයෙන් තමයි මෙයා මේ දේ කරල තියෙන්නේ.

ඔහු තවත් අයට මේ වගේ දේවල් කරල තියෙනවද?


එහෙම දෙයක් නීතිය ඉදිරියේ නම් ඔප්පු වුණේ නැහැ. නමුත් මේ විදියේ දේවල් කරලා ගැලවෙන්න බැරි බව එයා වටහා ගන්න ඇති. ඒ නිසා ආයෙ නම් අපේ කලා ලෝකයේ කාටවත් එයා මේ වගෙ දේ කරන එකක් නැහැ.

ඒ පුද්ගලයාට දඬුවම් ලැබුණාද?


නැහැ. මම ඔහුට සමාව දුන්නා. මානසිකව කඩාවැටුණු කෙනෙකුට දඬුවම් දීලා වැඩක් නැහැනේ. ඒ මනුස්සයා තමන්ගෙ වරදත් පිළිගත්තානේ. ඒ හින්දා ඒ ප්‍රශ්නය දුරදිග අරගෙන යන්න මම හිතුවෙ නැහැ.


කොහොමද මේ දවස්වල කලා ජීවිතය?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ‘තරුමලී’ සහ ‘සිහින සින්ඩ්‍රැල්ලා’ ටෙලිනාට්‍ය දෙකයි ‘දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අල්ටිමේට් ලෙවල්’ නර්තන තරගාවලියයි තමයි මගේ නවතම කලා තොරතුරු විදියට සඳහන් කරන්න තියෙන්නේ.

මේ හැමදේම අතර දන්නෙම නැතුව කාලය ගෙවිල යනවා. දැන් සුරාජ්ට වයස කීයද?


අවුරුදු තිස්තුනයි

දැන්නම් පිළිවෙළක් වෙන්න කාලෙ හරි?


විවාහ වෙන්න කලින් ඊට සුදුසු කෙනෙකු ඉන්න එපායැ. සම්බන්ධතා තිබුණා. කලා ලෝකෙ අයත් ඒ අතර හිටියා. ඒ එකක් වත් අද නැහැ. දැන් මට ආදරය කරන්නවත් වේලාවක් නැති තරමට කාර්යබහුල වෙලා.
 
Related Posts with Thumbnails