Ads 468x60px

.

වස විසෙන් තොර ගොවිතැනක් උදෙසා පුරාණ හෙළ රජවරුන් සිහිපත් කර පූජාවක්...

වසවිසෙන් තොර ගොවිතැනක් වෙනුවෙන්, පුරාණයේ ශ්‍රී ලංකාවේ විසූ හෙළ රජවරුන් සිහිපත් කර පවත්වන ලද දුර්ලභ ගණයේ රාවන පූජාවක් පසුගියදා ගල්ගමුව, මහසෙන් පුරාණ පබ්බත විහාරයේදී පැවැත්විණි.

පූජ්‍ය පණ්ඩිත මානෑවේ විමලරතන මාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම මත, හෙළ දීපයේ අතීතයේ විසූ ශ්‍රේෂ්ඨ මහා රාවන රජතුමා ප්‍රමුඛ, මහසෙන්, දුටුගැමුණු ආදී හෙළ රජ පෙළපතේ රජවරුන් ගේ මතකයන් නැවත සිහිපත් කිරීමත්, ‍හෙළබිම ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාට පින්දීමත්, මේ වනවිට රට තුළ මහත් ව්‍යසනයක් ඇතිකරමින් තිබෙන වස විස සහිත බෝග වගාව තුරන්වී, නැවතත් පුරාණ රජවරුන් දැයට උරුම කළ හෙළ ගොවිතැනට පුනර්ජීවය ලැබීමටත් යන කරුණු මුල්කර ගනිමින් මෙම පූජාව පැවැත්විණි. 

වෙනත් පූජාවන් වල දැකිය නොහැකි පළතුරු පහන් පූජාව, එළවළු පහන් පූජාව, අග්නි පූජාව, දේව ප්‍රථිමා කිරෙන් දෝවනය කිරීම, දේව ආභරණ උපහාරය, හෙළ වෙදකමට ගන්නා බෙහෙත් පූජාව, තැඹිලි පහන් ඇසුරෙන් පුරාණ හෙළ සංකේතයක් වූ ස්වස්ථිකය නිර්මාණය කිරීම ආදිය මෙම පූජාවේදී දක්නට ලැබුණු සුවිශේෂී ඉපැරණි හෙළ අංග අතර කැපී පෙනිනි. 

සවස 7 පමණ සිට පැය 3කට ආසන්න කාලයක් මෙම පූජාව පැවැත්වුණු අතර, පූජාව අවසානයේ සියළු දෙනාටම කැවිලි සහ පළතුරු සංග්‍රහයක්ද භුක්ති විඳීමට අවස්ථාව සැලසිනි. 

ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සිදුකරන ජනතාවගේ නොමඳ සහයෝගයත්, මේ පිළිබඳ අදහස ඉදිරිපත් කළ ප්‍රශාන්ති විජේසිංහ මෙනවියගේ මූල්‍ය දායකත්වයත් මේ සඳහා ලැබී තිබිණි. 

රාවන සවිය ජාතික සංවිධානය විසින් පූජාව මෙහෙයවනු ලැබූ අතර, හෙළ හිරුවන පදනම සහ හෙළ යුගය වැනි සංවිධානවල ශක්තියද මේ සඳහා ලැබී තිබිණි.

සටහන - චාරුක

(එම පූජාවේ ඡායාරූප 18ක එකතුවක් පහතින් දැක්වේ)

 
Related Posts with Thumbnails