Ads 468x60px

.

වෙනුෂාගේ දිවි නසාගැනීමට සම්බන්ධ විදුහල්පතිට එරෙහිව සිසුහු දුන් සාක්ෂි මෙන්න...


චිත්‍රපටයක් නැරඹීමටත් ගියාලු..

හමුදා පාලනයකට සමාන දැඩි පාලනයක් විදුහල තුළ පවත්වාගෙන ගිය බව කියන කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න ආරක්ෂා කර ගන්නට විවිධ පාර්ශ්ව උත්සාහ ගත්තත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔහුට එරෙහිව දැනටමත් තම පය පෙරට තබා හමාරය. 

ඒ පසුගියදා ෆේස්බුක් සිද්ධියක් සම්බන්ධයෙන් සිය දිවි නසාගත් වෙනුෂා ඉමන්දි බණ්ඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගනිමිනි.

කුරුණෑගල ‍පොලීසියට මතෛක් කලක් කරන්නට බැරි වුණු එම කටයුත්ත ජාතික ළමා  ආරක්ෂක අධිකාරිය මගින් ඉටු කරනුයේ රටේ පවතින නීති රාමුව මත පිහිටා මිස කැලෑ නීතියකින් නොවේ.

විදුහල්පතිවරයා අත්අඩංගුවට ගන්නේ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 308 අ වගන්ති ප්‍රකාරවය. 

ඊට අනුව ළමයෙකු මානසිකව කෲරත්වයට පත්කිරීම වරදකි. 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේද මානසික හිංසනය අපරාධ නීතියට ඇතුළත් කර ඇති වරදකි. මෙම වරදට යම් අයෙකු වරද කරුවෙකු වූ විට
ඔහු දස වසරක් දක්වා සිර දඬුවමකට යටත් කළ හැකිය. අවම සිර දඬුවම වසර දෙකකි.

වෙනුෂාගේ මරණය විදුහල්පතිවරයා ඇයව මානසිකව කෲරත්වයට පත්කිරීමක් මගින් සිදුවූවක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මතෛක් කර ඇති විමර්ශන වලින් පැහැදිලි වී ඇති කරුණකි. 


ඉකුත් 05 වෙනිදා වෙනුෂා සිය දිවි හානිකර ගත් දින සිට මතෛක් කුරුණෑගල  ‍පොලීසියට සිය විමර්ශන වලින් මේ කරුණ හා සම්බන්ධ කිසිවක් තහවුරු කරගන්නට නොහැකි විය. විදුහල්පතිවරයාට එරෙහිව ක්‍රියාත්මකවීමට හැකි ආකාරයේ නීතියක් රටේ නැති බවටද ඇතැම් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.

එය එසේ වුවත් දැන් විදුහල්පතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වන්නේ  ඒ  නැතැයි කී නීතියමය. මේ වනවිට පරීක්ෂණ සිදු කෙරෙන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය  යටතේ ඇති ‍පොලිස් ඒකකය මගිනි. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරි සභාපතිනී නීතිඥ අනෝමා  දිසානායක ගේ උපදෙස් හා මෙහෙයවීමෙනි.


ඔය පාසල ගැන අපිට පැමිණිලි කිහිපයක්ම මෙයට පෙරත් ලැබිල තිබුණා. පාසල් වල පරිපාලන කටයුතු වලට අපි ඇඟිලි ගහන්න යන එක එතරම් හොඳ නැති නිසා ඒ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාව දැනුවත් කළා. එම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් කිසි පියවරක් එහිදී ගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. 


අන්තිමේදී අහිංසක ළමයෙකුත් මැරුණා. තවත් ළමයින්ට එවැනි  තත්ත්වයක් ඇති නොවෙන්නයි අපිට පැවරිලා තියෙන බලතල ප්‍රකාරව මේ සිද්ධිය ගැන අපි පරීක්ෂණ පටන් ගත්තේ. නීතිඥ අනෝමා දිසානායක ඒ ගැන කියන්නේ  එසේය. 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ‍පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි.පී. බෝපිටිගොඩ ඇතුළු නිලධාරීන් මතෛක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ විදුහල්පතිවරයා පහත් පෙ‍ලේ වචනයකින් ප්‍රසිද්ධියේම බැණ වැදීම වෙනුෂා සියදිවි හානිකර ගැනීමට බොහෝ දුරට මුල්වී ඇති බවය. 

විදුහල්පතිවරයා ඇයට එසේ බැණ වැදී ඇත්තේ එක් අවස්ථාවකදී දෙකකදී නොව කිහිප අවස්ථාවකම බැණ වැදී තිබෙන බව විමර්ශන වලින් දැනටමත් සක්ෂිද සහිතව අනාවරණය වී හමාරය. බහුතරයක් සාක්ෂි ලබාදී ඇත්තේ සර් ජෝන් කොතලාවල විදුහ‍ලේම සිසුන් වීම විශේෂිතය.

මතෛක් කර ඇති විමර්ශනවලින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පෙනී ගොස් ඇත්තේ විදුහල්පතිවරයා වෙනුෂා  කෙරෙහි වැඩි අවධානයකින් සිට ඇති බවය. 


පන්දහසක් පමණ සිසුන් සිටින පාසලක ඇය කෙරෙහි විශේෂ අවධානය කින් විදුහල්පතිවරයා සිටියේ ඇය පාසල තුළ ප්‍රසිද්ධ චරිතයක්  නිසාද, නැතිනම් ඇය කැපී පෙනෙන යුවතියක වූ නිසාද  යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි. 

වරක් විදුහල්පතිවරයා වෙනුෂාව උදෑසන රැස්වීමේදී වේදිකාවට කැඳවා පන්දහසක් පමණ සිසුන් ඉදිරියේ බැණ වැදුනා යැයි සඳහන් වන්නේ පිරිමි ළමුන්  සමග ඊට පෙර දිනයේ චිත්‍රපටයක් නැරඹීමට ගියා යැයි චෝදනා කරමිනි. 

එය අවවාදාත්මක බැණ වැදීමක් නොව පහත් වචන භාවිතා කරමින් කළ බැණ වැදීමක් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කළ විමර්ශනයේ දී අනාවරණය වී හමාරය. ඇයට විදුහල්පතිවරයා බැණ වැදුණු ආකාරය  ගැන පාස‍ලේ සිසුන් කිහිප දෙනෙකුම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වන විට ප්‍රකාශයන් ලබා දී තිබේ.

වෙනුෂාට එසේ විදුහල්පතිවරයා පහත් ආකාරයෙන් පන් දහසක් පමණ සිසු පිරිසක් ඉදිරියේ බැණ වැදී ඇතැයි පැවසෙන්නේ ඇය චිත්‍රපටය බලන්නට ගිය දිනට පහුවදාමය. ඒ අනුව පැහැදිලි වී ඇත්තේද විදුහල්පතිවරයා ඇය ගැන විශේෂ අවධානයකින් සිට ඇති බවය.  


පිරිමි ළමුන් සමග චිත්‍රපටයක් නැරඹීමට ගියා යැයි පවසමින් විදුහල්පතිවරයා ඇයට බැණ වැදුණද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වෙනුෂා එදා චිත්‍රපටයක්  නැරඹීමට ගොස් ඇත්තේ සිය සහෝදරියන් දෙදෙනා සමග බවය. 

ඊට පිරිමි ළමුන්ගේ සම්බන්ධයක්  තිබූ බවක් අනාවරණය වී නැති අතර දෙමාපියන්ගේ අනුදැනුම මත සවස් කාලයක ඒ අය  චිත්‍රපටය නැරඹීමට ගොස් තිබෙන බව සාක්ෂි වලින් ද මේ වන විට අනාවරණය වී  තිබේ.


ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැක කරන්නේ විදුහල්පතිවරයා කිසිදු සොයා බැලීමක් නොකර ඇයට එසේ මුළු පාසලකම සිසුන් ඉදිරියේ පහත් වචනවලින් බැණ වැදී ඇති බවය. 


තම දියණිය චිත්‍රපටයක් නැරඹීමට ගියේ සහෝදරියන් සමග බව පවසා කරුණු අවබෝධකර දීමට පසුදින ඇගේ මව පාසලට ගියද එය පිළිනොගත් විදුහල්පතිවරයා ඇයටද බැණ වැදී පන්නාගෙන ඇතැයි හෙළි වී ඇත.

යුද හමුදා සේවයේ සිට අධ්‍යාපන පරිපාලන සේවයට එක්ව ඇති මෙම විදුහල්පතිවරයා සර් ජෝන් කොතලාවල විදුහල නගා සිටුවීමට භෞතික සම්පත්වලින් විදුහල ‍පෝෂණය කර ඇතත් දරදඬු පාලනය හේතුවෙන් විදුහ‍ලේ අර්බුද රැසක් පැන නැගී ඇති බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පෙනී ගොස් ඇති කරුණකි.


කැඩුණු පාවහන් යුවලක් පැළඳ පාසල් පැමිණි සිසුවෙකු විදුහ‍ලේ ඇති දඬුවම් කාමරයට දමා වේවැලකින් තඩි බා, අලුත්  සපත්තු දෙකක් නැතිව නැවත පාසැල් නොපැමිණෙන ලෙස  දඬුවම් දුන් බවට එල්ල වන චෝදනාවද විදුහල්පතිවරයාගේ හැසිරීම ගැන පැවසෙන තවත් එක් උදාහරණයක් පමණි. 


ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම සිසුවාගෙන්ද මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ජාතික ළමා  ආරක්ෂක අධිකාරියේ විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව වෙනුෂා යනු දක්ෂ දැරියකි. 

ඇය පාස‍ලේ ශිෂ්‍ය නායිකාවකි. එසේම දක්ෂ නැටුම් ශිල්පිනියකි. නැටුම්  ගුරුවරිය නොමැති ඇතැම් අවස්ථාවල  සිසුන්ට නැටුම් කියාදෙන්නේද ඇයය. පාසල තුළ  හෝ පිටත ඇය විනය විරෝධී කටයුත්තක නිරතව සිට ඇති බවක් මතෛක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනගන්නට ලැබි නැත.

ඇගේ දිවි නසා ගැනීමට අදාළ ෆේස්බුක් පිටුවේ වෙනුෂා පාසල් නිල ඇඳුමින් තවත් සිසුවෙකු සමග සිටින ඡායාරූපයක් ද ඇතුළුව ඇගේ ඡායාරූප කිහිපයක්ද තිබි ඇත. එකී කිසිදු ඡායාරූපයක් අසභ්‍ය ආකාරයේ ඒවා නොවේ. 


නමුත් එම ඡායාරූප දුටු විට කෝපයට පත් විදුහල්පතිවරයා ඒ සැණින් වෙනුෂාවත් ඇය සමග ඡායාරූපයේ සිටින සිසුවාත් කාර්යාල කාමරයට කැඳවන්නට වගබලාගෙන ඇත. ඒ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නම් කියාය.  

ඒ අනුව ඒ දෙදෙනා විදුහල්පති කාර්යාලයට පැමිණි පසු විදුහල්පතිවරයා වෙනුෂාට බැණ වැදී ඇත්තේ ඉතා පහත් ආකාරයටය. කාන්තාවන් වෙනුවෙන් භාවිතා වන අසභ්‍ය වචනයකින් ඇය හඳුන්වා ඇත්තේ ද එවිටය.

විදුහල්පතිවරයා එසේ බැණ වැදුණද එම ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර  ඇත්තේ වෙනුෂා නොව ඇය සමග ඡායාරූපයේ සිටින අනෙක් සිසුවාය. ඔවුන් එම ඡායාරූපය ගෙන තිබුණේ පාස‍ලේ වාර්ෂික විනෝද චාරිකාව  ගිය අවස්ථාවක හග්ගල මල්වත්තේ දීය. 


ඒ ගුරුවරුන්ද  ඉදිරිපිටය. පංතියේ  මිතුරන් ලෙස ගත් එම ඡායාරූපය ඔහු ඇගේ නමින් ඇති  ෆේස්බුක්  පිටුවට දමන්නේ ඇයට හානියක්  කිරීමේ අරමුණින් නොවේ. මේ සියල්ල  විදුහල්පතිවරයාට තමා ඒ අවස්ථාවේදී පැහැදිලිව කීවත්  ඔහු කිසිදු තැකීමක් නොකොට වෙනුෂාට බැණ වැදුණු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ එම සිසුවාද පවසා ඇත. 

ඇයට ඉතා පහත් අන්දමින් බැණ වැදී  පහත් වචනයකින් ඇය හැඳින්වූ බවට එම සිසුවා සාක්ෂි දී ඇත. ඔහු පමණක් නොව  විදුහල්පතිවරයා මෙසේ බැණ වදින අවස්ථාවේ  විදුහල්පතිවරයාගේ කාර්යාල කාමරය ඉදිරිපිට රැඳී සිටි සිසුන් කිහිප දෙනෙකුමද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ ගැන සාක්ෂි දී ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙහිදී සිසුවියගේ පවුල් පසුබිම  ගැන සොයා බලන්නටද අමතක කර නැත.  ඒ පවු‍ලේ ආරවුල් හේතුකොටගෙන  ඇය මානසිකව වැටී සිටි බැවින් උපදේශන සේවාවකට යොමු කළ බව පාසල පැත්තෙන් පවසන්නට වූ බැවිනි. 


එම සොයා  බැලීමේදී පැහැදිලි වී  ඇත්තේ කියන  ආකාරයේ ප්‍රශ්න ගැටලු එම පවු‍ලේ  තිබි නැති බවය. වෙනුෂා මානසික ආතතියකින් පෙළුණු බව සඳහන් කරනුයේ නිසි සුදුසුකමක් නොමැතිව උපදේශකයෙකු ලෙස පාස‍ලේ සිටින අයෙකු විසින් බවද ප්‍රකාශ වී තිබේ. 

නිසි උපදේශකයෙකු නම්  සැබෑ ලෙසම වෙනුෂා මානසික ආතතියකින් සිටියේ නම් කළ යුතුව තිබුණේ මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වෙත යොමුකිරීම මිස ඒ ගැන තැන තැන පැවැසීම නොවන බව ජාතික ළමා
ආරක්ෂක අධිකාරියේ මතයය. 


යමෙකු එසේ කළේ නම් එය වෘත්තියේ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ඒ තත්ත්වය මත එම උපදේශක නිසි සුදුසුකම් සහිත අයෙකුද යන්න පිළිබඳවද සොයා බලන්නට ජාතික  ළමා ආරක්ෂක  අධිකාරියේ අවධානය මේ වන විටත් යොමුවී හමාරය.


විදුහල්පතිවරයාගේ දරදඬු පාලනය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමුකිරීමෙන් පසු ළමුන්ට මානසික  කායික හිංසනයක් නොකරන්නැයි 2013 වසරේ ජූලි මාසයේදී විදුහල්පතිවරයාට ලිඛිතව දැනුම් දී අවවාද කරන්නට පවා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගෙන ඇති බව සඳහන්ය.  


එය සනාථ කෙරෙන ලිපි කිහිපයක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබි ඇත. එහෙත් විදුහල්පතිවරයා සිය චර්යාව එම අවවාදාත්මක ලිපිය ලැබිමෙන් පසුවවත් වෙනස් කර ඇති බවක්  මතෛක් කර ඇති විමර්ශනවලින් නම් ජාතික  ළමා ආරක්ෂක අධිකාරියට පෙනී ගොස් නැත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මතෛක් කර ඇති විමර්ශනවලින් සහ ලැබි ඇති සාක්ෂිවලින් පෙනී ගොස් ඇත්තේ විදුහල්පතිවරයා ළමුන්ට ඉතා දැඩි ආකාරයෙන් සලකන බවකි. වෙනුෂා සිසුවිය සියදිවි  හානිකර ගැනීමට බලපාන්නේද ඔහු ඇයව  මානසිකව කෲරත්වයට පත්කිරීම බවට සැක කළ හැකි බොහෝ සාක්ෂි මේ වනවිට ලැබි ඇතැයි අධිකාරිය පවසයි.


මාවතගම පිහිටි ඔහුගේ නිවසේදී විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත්තට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉකුත්  18 වෙනිදා රාත්‍රියේ පියවර ගත්තේ එබැවිනි. දැන් ඔහු ඉන්නේ අධිකරණයෙන් ලද ඇප මතය.  


1995 අංක 22 දරන දණ්ඩනීති  සංග්‍රහයේ 308 අ වගන්ති ප්‍රකාරව  මානසික කෲරත්වයට පත්වුණු දරුවෙකුගේ සිය දිවි හානිකර ගැනීමක් සම්බන්ධයෙන් සැක පිට මෙරට ඉතිහාසයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා පළමු අවස්ථාව වන්නේද මෙයය.  

මතෛක් කලක් මෙවැනි චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවත්ව සිටින ළමුන් කෲරත්වයට පත් කිරීමට අදාළව  පමණි.මෙහි ප්‍රධාන සාක්ෂිකරු වන්නේ කෲරත්වයට පත්වුණු දැරියය. නමුත් මෙහිදී පළමු සාක්ෂිකාරිය  ජීවතුන් අතර නැත. 

ඇය කෲරත්වයට පත්වූ බව කියන්න ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක්ද ගැනීමට නොහැකිය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මෙහිදී ඇත්තේ සිතනවාට වඩා භාරදූර්ය කාර්යයකි. ජීවත්ව සිටියදී ඇය මානසික කෲරත්වයට පත්වූ බව සනාථ කළ හැකි සාක්ෂි මුලින් ඔවුන් රැස්කර  ඇත්තේ ඒ  සඳහා විය හැකිය.  

වෙනුෂා සිය දිවි හානිකර ගැනීමට පෙර  ලියා ඇති ලිපියෙහි සිය දිවි  හානිකර ගැනීමට  මුල්වූයේ විදුහල්පතිවරයාගේ හිරිහැර  සහ පහත් වචනයකින් ඇයට  බැණ වැදීම බව පැහැදිලිවම සටහන්ව ඇති බැවින් ස්වාධීන බාහිර සාක්ෂි සමග, ඇය මානසිකව කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වී  තිබේ. 

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැන් සූදානම් වන්නේ එම සාක්ෂි සහ ඇගේ ඒ ලිපිය මරණාසන්න ප්‍රකාශයක්  සේ සලකා විදුහල්පතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමටය. මෙහිදී විදුහල්පතිවරයා එම චෝදනාවලින් නිදහස් වුවත් වැරදිකරු වුවත් එය මෙරට ඉතිහාසයේ සුවිශේෂී නඩු කටයුත්තක්  නම් වනු නොඅනුමානය. එය නව නීති වාර්තාවකට මග පාදන්නක් ද වනු ඇත.

- ගයාන් කුමාර වීරසිංහ
 
Related Posts with Thumbnails