Ads 468x60px

.

'ෆේස්‌බුක්‌' මිතුරෙක්‌ද? මරුවෙක්‌ද?

පළමු කතාව

වෙනුෂා, ඉගෙනුම ලැබුවේ කුරුණෑගල ජනප්‍රිය පාසලකය. 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි වෙනුෂා ද වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් සේම ෆේස්‌බුක්‌ සමාජ ජාලය සමග ගනුදෙනු කළ සිසුවියකි. 


ඇය කොතරම් දුරට ෆේස්‌ස්‌ බුක්‌ පරිහරණය කළා දැයි වාර්තා වන්නේ නැති නමුදු ඇයට ලැප්ටොප් පරිගණකයක්‌ ගෙන දීම සම්බන්ධයෙන් ඇයගේ මව පියාට දොෂාරෝපණය කළ බවක්‌ පුවත්පත් වාර්තාවල සඳහන්ව තිබිණි. 

කෙසේ හෝ වෙනුෂාගේ සිය දිවි නසා ගැනීමට හේතුව වී තිබුණේ, ඇය උගත් පාසලේ විදුහල්පතිවරයා අපහාසාත්මක ලෙස ඇයට බැණ වැදීම නිසා බව කියෑවිණි. ඊට හේතුව වී තිබුණේ ෆේස්‌ස්‌බුක්‌ වෙබ් අඩවියේ
වෙනුෂාගේ ඡායාරූප කිහිපයක්‌ පළවී තිබීමය. 

එම ඡායාරූපවල වෙනුෂා පාසල් නිල ලාංඡනය සමගින් පාසල් නිල ඇඳුමින් සැරසී ගත් ඡායාරූප කිහිපයක්‌ ද තිබීම විදුහල්පතිවරයා ඇයට දොෂාරෝපණය කිරීමට හේතු වූවා යෑයි කියති. කෙසේ හෝ මේ සිදුවීම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම දක්‌වා දුර දිග ගිය එකක්‌ බවට පත් විය.

දෙවන කතාව

දිනූෂිකා ද දැඩි ලෙස ෆේස්‌බුක්‌ සමාජ ජාලය සමග ගනුදෙනු කළ සිසුවියකි. ඇය ෆේස්‌බුක්‌ වෙබ් අඩවියට පිවිසෙන්නේ සිය ජංගම දුරකථනය උපයෝගී කරගෙනය. දිනූෂා ෆේස්‌ස්‌බුක්‌ හි තමා නමින් ඇති ගිණුමේ ඇයගේ සැබෑ ඡායාරූපය වෙනුවට යොදා ඇත්තේ වෙනත් සුරූපී තරුණියකගේ ඡායරූපයකි. 


මේ හේතුව නිසාම ඇය සමග බොහෝ "මිතුරන්" පිරිසක්‌ ගනුදෙනුකර ඇති බව කියති. ඒ අතරින් උසස්‌ රැකියාවක නිරත තරුණයකු ඇය සමග දැඩි සබඳතාවක්‌ ගොඩනගා ගන්නේ ෆේස්‌බුක්‌ හරහා "චැට්‌" කිරීමෙන් නොනැවතී ජංගම දුරකථනයට ඇමතුම් පවා ලබා දෙමිනි.

මෙම දුරකථන ඇමතුම් කතා බහ කලක්‌ තිස්‌සේ කෙරෙනවිට ඇයගේ සිත්ගත් තරුණයාට දිනූෂා දැක ගැනීමේ වුවමනාවක්‌ ඇති විය. සිය මවුපියන්ට ද ඒ බව පවසන ඔහු දිනූෂාගේ නිවස කරා ගියේ ෆේස්‌බුක්‌ සමාජ ජාලයේ අඩංගුව තිබූ දිනූෂාගේ ගිණුමෙහි ඡායාරූපයේ හුන් තරුණිය ගැන සිහින මවමිනි.

එහෙත් දිනූෂා දැකීමත් සමගම ඔහු දැඩි කම්පනයකට පත්වූයේය. ඔහුගේ අපේක්‍ෂා බිඳවැටිණි. මේ හේතුවෙන්ම ඒ තරුණයා ඇතුළු ඔහුගේ මව හා පියා දිනූෂාටත් ඇයගේ පවුලේ උදවියටත් දොස්‌ පවරන්නට වූයේ තමන් රැවටීමට ලක්‌ කළේ යෑයි කියමිනි. දිනූෂා වහා සිය කාමරයට වැදී සිය දිවි නසා ගත්තේ මේ සිදුවීම් මාලාව නිසා ඇය තුළ හටගත් අපේක්‍ෂා භංගත්වය හා කම්පනය නිසාය.

මේ ලියවෙන්නේ මේ මරණ දෙකටම හේතුවු ෆේස්‌බුක්‌' ගැන විචාරාත්මක ලිපියකි.

මීට වසර දහයකට පමණ ඈත අතීතයේ පෙම්වතුන් පෙම්වතියන්ගේ ආදරණීය හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍ය බවට පත්වූයේ ආදර හසුන්ය. පිටු ගණන් ලියූ එම ආදර හසුන් ඔවුහු සිය පණමෙන් සුරැකීහ. ඇතැම් පෙම්වතුන් විවාහ වී දරු දැරියන් ලොකුමහත් වුවද තමන් තරුණ කාලයේදී ලියූ පෙම්පත් තවමත් සුරැකිව තබාගෙන සිටිති.

වසර දෙදහස උදාවීමත් සමග ලෝකයේ ඇතිවූ තාක්‍ෂණික දියුණුවත් සමග පෙම්පත් වෙනුවට ජංගම දුරකථන මගින් කෙටි පණිවුඩ යවන්නට ඇතැම් පෙම්වත්හු හුරු වූහ.

2004 වසරේ පෙබරවාරි මාසයේදී එංගලන්තයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලැබූ මාර්ක්‌ සුකර්බර්ග් විසින් සිය මිතුරන් අතර පණිවුඩ හුවමාරු කරගැනීම සඳහා අන්තර්ජාලය ඔස්‌සේ පටන්ගත් Face book හෙවත් මුහුණුපොත අන්තර්ජාල පහසුකම් භාවිත කරන්නන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වන්නට විය. 


2011 වසර වනවිට Face book භාවිත කරන පිරිස කෝටි 35 ඉක්‌මවීය. ලොව පුරා විවිධ ජාතීන් විවිධ භාෂාවන්ගෙන් සැදුම්ලත් මෙම පිරිස පණිවුඩ හුවමාරුව සඳහා වචන භාවිතය පමණක්‌ නොව තම ඡායාරූප, වීඩියෝ පට ආදියද යොදාගන්නට වූහ. 

එනිසා ලොව විශාලතම ඡායාරූප එකතුව සහිත අන්තර්ජාල අඩවිය බවට Face book පත්ව තිබේ. මේ වනවිට Face book හි ඇති ඡායාරූප ගණන කෝටි දහස ඉක්‌මවා ඇත. හොඳට නරකට දෙකට එකසේ Face book ද දැන් දැන් තරුණ පෙම්වතුන් පෙම්වතියන්ගේ මාරයා බවට පත්වන්නට පටන්ගෙන ඇත.

ශ්‍රී ලංකාවේද මේ වන විට Face book නිසා දිවි නසාගත් පෙම්වතුන් ගැන අසන්නට ලැබේ. එනිසා දැන් බොහෝ දෙනා Face book විරෝධී රැල්ලක්‌ ඇති කරන්නට කැසකවති. එය හරියට මුහුණත් එක්‌ක තරහා වී නහය කපා ගන්නවා හා සමාන ක්‍රියාවකි.

වරද ඇත්තේ Face book හි නොව එය භාවිත කරන්නන් අතරය.

තොරතුරු තාක්‍ෂණය දියුණුවත් සමග අන්තර්ජාල පහසුකම් භාවිත කරන පිරිස වැඩිවී ඇත. සාමාන්‍ය තැපෑල වෙනුවට විද්යුත් තැපෑල භාවිත කරන්නට පෙළඹී ඇත. ලිපි ගනුදෙනු වෙනුවට විද්යුත් තැපෑල මගින් සුළු මොහොතකින් ලොව ඕනෑම රටකට පණිවුඩ හුවමාරු කළහැකිය. එනිසා දැන් දැන් ලෝකය ඉතා කුඩා බිම්කඩක්‌ බවට පත්වෙමින් තිබේ.

Face book මේ තරම් ජනප්‍රිය වන්නට පටන් ගත්තේ මිතුරු සමාජ ඇතිකර ගැනීම, ඡායාරූප හුවමාරු කරගැනීම ඇතුළු බොහෝ පහසුකම් එහි ඇති නිසාය. අන්තර්ජාලය ඔස්‌සේ ඉතා පහසුවෙන් සහ නොමිලයේ තමාගේ නමින් හෝ වෙනත් අයකුගේ නමින් පමණක්‌ නොව වෙනත් අයකුගේ ඡායාරූප භාවිත කරමින් Face book ලිපිනයක්‌ නිර්මාණය කර ගැනීමට යන්නේ මිනිත්තු කිහිපයකි. 


ඒ සමාන කාලයකින් ලොව පුරා සිටින ඕනෑම Face book ගිණුම් හිමියකු තම මිතුරකු හෝ මිතුරියක කරගත හැකිය. එය තාක්‍ෂණයේ දියුණුවේ ප්‍රතිඵලයකි. රත්රන්වලින් තැනූ පිහිය වුව පපුවට ඇනගතහොත් මරණය ළඟාවේ. එනිසා Face book වුව වැරැදි අයුරින් භාවිත කළහොත් ඉන් ලැබෙන ප්‍රතිඵලයද භයානකය.

මේ වන විට ලෝකයේ ඇති පුද්ගලයකුගේ තොරතුරු දැනගත හැකි ඉතා පහසුම ක්‍රමය Face book බවට පත්ව තිබේ. එනිසා රහස්‌ ඔත්තු සේවාවන්ද විවිධ පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමට Face book පිහිට පතයි. එය අප කවුරුත් අවබෝධ කරගත යුතුය.

අන්තර්ජාලය ඔස්‌සේ තම පෞද්ගලිකත්වය අනාවරණය කරනවා නම් ඊට ලැබෙන ප්‍රතිචාරවලට මුහුණදීමටද අපට ආත්ම ශක්‌තියක්‌ තිබිය යුතුය.

අතීතයේද ඇතැම් පෙම්වතුන් වෙනත් අයගේ නම්වලින් පෙම්පත් හුවමාරු කරගත්හ. නමුත් ඉන් දිවි නසා ගැනීමට තරම් ඔවුහු බොළඳ නොවූහ. බොහෝ පෙම්වතුන් ආදරයේ විරහව දැනුන විට තනිකඩවීම හෝ හුදකලා දිවියක්‌ ගත කිරීමට යොමුවූහ. 


ඔවුන් ආදරය මෙන්ම විරහව දැක්‌කේ සුන්දරවය. "ඔබ පෙම්කරනා ඔබේ කුමාරිය මටද ආදරය කියා තිබේ" යෑයි විරහා ගීත ලියුවේත් "කිසිදා ඔබෙ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම්" කියා විරහා වේදනාවන් ගීයෙන් පැවසුවේත් ආදරය මෙන්ම විරහවද සුන්දරව විඳ ගනිමිනි. ඒ අතර ප්‍රේමය නමින් දිවි පූජා කළ පෙම්වතුන් පෙම්වතියන්ද අතීතයේ නොසිටියා නොවේ.

වර්තමානයේ බොහෝ පෙම්වතුන්ට පෙම්වතියන්ට ආදරය කරන්නට පුදුමාකාර කලබලයක්‌ ඇත. අන්තර්ජාල පහසුකම් නිසාදො දිනෙන් දෙකෙන් නොව විනාඩි ගණනින් මිතුරුවන නාඳුනන තරුණ තරුණියන් විශ්වාස කරමින් තම අතිශය පෞද්ගලික තොරතුරු පවා Face book ඔස්‌සේ හුවමාරු කර ගනිති. 


අප හුවමාරු කරගන්නේ එක්‌ අයකු සමග වුව එම තොරතුරු සැණෙකින් ලොව පුරා සිටින Face book ගිණුම් හිමියන්ට බෙදාහැරිය හැකිබව ඇතැම් පෙම්වතුන් පෙම්වතියන් නොදනිති.

අන්තර්ජාල පහසුකම් ඇත්තේ ලිංගිකාශාව සන්තර්පනය කර ගැනීමට යෑයි සමහරු සිතති. තරුණ දරුවන් අන්තර්ජාල පහසුකම් භාවිත කරන විට වැඩිහිටියන් බියවන්නේ එබැවිනි. නමුත් එහි අධ්‍යාපනය, දැනුම, සාහිත්‍යය ඇතුළු විශ්ව දැනුම ගබඩා වී ඇත.

ලොව අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබූ භැඅs ඇeන සඟරාව මුද්‍රණය කර විකිණීම අත්හිටුවීමට සිදුවූයේ අන්තර්ජාලය නිසාය. එම සඟරාව වෙළෙඳ පොළෙන් මිලදී නොගෙන අන්තර්ජාලය ඔස්‌සේ කියවීමට බහුතරයක්‌ පාඨකයන් හුරුවූ නිසා සඟරාවේ මුද්‍රිත පිටපත් අලෙවිය අඩුවිය.

පැරැණි චිත්‍රපටයක්‌, ටෙලි නාට්‍යයක්‌, වාර්තා වැඩසටහනක්‌, ගවේෂණාත්මක වාර්තාවක්‌ වුව අන්තර්ජාලය ඔස්‌සේ ඉතා පහසුවෙන් නැරඹිය හැකිය. එනිසා අන්තර්ජාලය යනු කාමය සපයන මාධ්‍යයක්‌ හෝ එය සතපවා ගැනීමේ මෙවලමක්‌ නොවේ. එනිසා Face book යනු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාරයකු ලෙස සිතා ඊට වැටබැඳීම නොකර කළයුත්තේ එය පරිහරණය කරන හැටි අවබෝධ කර දීමය.

අන්තර්ජාලය ඔස්‌සේ නොමිලේ ලබාගත හැකි පහසුකමක්‌ නිසා එය වල්බූරු නිදහසක්‌ බවට පත්කර ගත යුතු නැත. Face book හි වහලෙක්‌ නොවී Face book තමාගේ කළණ මිතුරෙක්‌ බවට පත්කරගත හොත් හෙට දිනයේ අපට Face book නිසා දිවි හානිකර ගැනීම් ගැන අසන්නට නොලැබෙනු ඇත.

පවස නිවාගන්නට බොන පිරිසිදු ජලය වැඩිපුර පානය කළ විට මියයා හැකි බව සිහිතබා ගන්න.

- උපාලි ද සේරම්
 
Related Posts with Thumbnails