Ads 468x60px

.

ෆේස්‌ බුක්‌ අවහිර කිරීමට යයි?

ෆේස්‌ බුක්‌ සහ අන්තර් ජාලය වැරදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් සිදුවන හානිකර තත්ත්වයන්ගෙන් ශ්‍රී ලාංකික දරු පරපුර රැකගැනීම උදෙසා එය වහාම අවහිර කිරීමට පියවර ගන්නා බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පැවසීය.

අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම සඳහා මීට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්‌ කර ඇති බවත්, ඒවා තහනම් කරන බවට එම කොමිෂන් සභාව දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා කීවේය.

පසුගිය දිනවල ෆේස්‌ බුක්‌ භවිතයෙන් දරුවන් දිවි නසාගැනීමේ සිද්ධිය හා ඊට පෙර සිදු වූ එවැනි තවත් සිදුවීම් විමර්ශනය කරමින් ෆේස්‌ බුක්‌

භාවිතය අවහිර කිරීම පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන තමන්ට දැනුම් දුන්නොත් ෆේස්‌ බුක්‌ භාවිතය වැළැක්‌වීම සඳහා වන ක්‍රියාමාර්ගයක්‌ පිළිබඳ සලකා බැලිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය.


ෆේස්‌ බුක්‌ භාවිතය ඇතැම් පාසල් සිසුන් මෙන්ම තරුණ පරපුරේ ද මානසික තත්ත්වයට බලපා ඇති නිසා පළමුව කළ යුත්තේ දෙමවුපියන්, ගුරුවරුන් ඇතුළු වැඩිහිටි පරපුර මගින් දරුවන්ට මෙහි විපාක පිළිබඳ අධ්‍යයනයක්‌ ලබාදීම බව ද හෙතෙම කීය.

එසේ කිරීමෙන් ද සාර්ථක ප්‍රතිඵල අත්නොවන්නේ නම් අවසාන පියවර වශයෙන් කළ යුත්තේ "ෆේස්‌ බුක්‌" භාවිතය වැළැක්‌වීම සඳහා යම් යම් බාධක ගෙන ඒම බව කී පැල්පිට මහතා නවීන තාක්‍ෂණය අනුව ෆේස්‌ බුක්‌ භාවිතය තහනම් කිරීම හෝ සම්පූර්ණයෙන් බාධා පැමිණවීම අසීරු බව ද කීය.

ජාතික ළමාරක්‍ෂක අධිකාරිය හෝ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන ෆේස්‌ බුක්‌ භාවිතය වැළැක්‌වීම සඳහා පියවර ගන්නා ලෙසට විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලීමක්‌ කළොත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බැලිය හැකි බව ද අනුෂ පැල්පිට මහතා කීය.


- අජිත් අලහකෝන් - තුෂාරී කළුබෝවිල
 
Related Posts with Thumbnails