Ads 468x60px

.

මලයාසියානු ගුවන් යානයේ ඉරණම සදාකාලික අබිරහසක් වෙයිද.?

මලයාසියානු ගුවන් සේවයට අයත් පියාසර අංක MH 370 දරන ගුවන් යානය අතුරුදන් වී අප්‍රේල් මස අට වෙනිදාට මසක් සපිරේ. 

මෙම යානය ඕස්ට්‍රේලියාවට ආසන්න ඉන්දීය සාගරයේ දක්ෂිණ කොටසට කඩා වැටී ඇති බව මැ‍ලේසියානු අගමැති නජීබ් රසාක් මීට දෙසතියකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළෝය. 

ඔහු මෙම ප්‍රකාශය කිරීමට පෙළඹී ඇත්තේ යානයේ සුන්බුන් හෝ මගීන්ගේ සිරුරු කොටස් හමුවීමෙන් නොව චන්ද්‍රිකා ඡායාරූපය විශ්‍ලේෂණය කිරීමෙන් බව පවසන යානාවේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් මලයාසියාව සත්‍ය සඟවන බවට යළි යළිත් චෝදනා  නගන්නට විය.

අගමැතිවරයාගේ ප්‍රකාශයට සමගාමීව මලයාසියානු ගුවන් සේවයද යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයකින් වාර්තා කර ඇත්තේ යානය විනාශ වූ බවත් කිසිවෙකුත් දිවි රැකගෙන නැති බවත්ය. 


ඒත් මේ කිසිම ප්‍රකාශයක් පිළිගැනීමට යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් සූදානම්  නැති බව පෙනෙන්නට තිබේ. චීනයේ මලයාසියා
තානාපති කාර්යාලය ඉදිරිපිට මෙන්ම ක්වාලාලම්පූර්  නුවරදීද ඔවුන් අඛණ්ඩව උද්ඝෝෂණ පවත්වති.

ගුවන් යානා සහ යුද නැව් මෙම ප්‍රදේශය පීරා සොයා බලන මුත් චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්වූ කිසිම දෙයක් ප්‍රායෝගිකව සොයා ගැනීමට නොහැකි වූයේ ඇයි දැයි ඥාතීන් ප්‍රශ්න කරති. එමෙන්ම ඕස්ට්‍රේලියාව අවට මුහුදු ප්‍රදේශයට සෝදිසි කිරීම්  සිමා කිරීම  ගැනද ඔවුහු සිය නොසතුට පළකරති.


සෝදිසි මෙහෙයුම්වල නියැළෙන පිරිස්  පවසනුයේ යානය අතුරුදන් වූ මොහොතේ එහි තිබූ ඉන්ධන වලින් පියාසර කළ හැකි සුළු කාලය පැය හතක් බවත් පැය හතකින් බෝයිං යානයට ගමන් කළ හැකි උපරිම දුර ඕස්ට්‍රේලියාවට නොදුරු මෙම ප්‍රදේශය නිසා සෝදිසි මෙහෙයුම් මෙම ප්‍රදේශයට සීමා කළ බවය. 


යානය පැය 7 ක් පියාසර කළ බව ඉන්ඩාසැටි ආයතනයද තහවුරු කර ඇති බැවින් මෙම ප්‍රදේශය සෝදිසි කිරීම සාධාරණ බව ඔවුහු පවසති.

එහෙත් යානය යුක්රේනය දෙසට රැගෙන ගියේ යැයි සමහරු විශ්වාස කරති. සෝදිසි මෙහෙයුම්වල නියැළෙන පිරිස් පවසනුයේ ක්‍රිමියානු අර්බුදය නිසා මෙම කලාපය රේඩාර් සක්‍රිය කලාපයක් බවත් එම නිසා මෙම කලාපයට ගුවන් යානයක් රහසින් ඇතුල් කිරීම සිදුකළ නොහැකි බවත්ය.

ඉන්ධන නිම වීමෙන් පසු යානය ඕස්ට්‍රේලියාවට සැතපුම් 1400 ක් පමණ දුරින් සාගරයට ඇද වැටී ඇති බව බහුතරයක් විශ්වාස කරනා අතර එසේ නම් යානය ඕස්ට්‍රේලියාවට ගොඩ බැසීම ඉලක්කකර පැමිණියේද යන්න පිළිබඳ විමසිලිමත් විය යුතු බවට මතයක් නිර්මාණය වෙමින් පවතී.


යානය සෙවීමට අධිතාක්ෂණික DRONA ඩේ‍රා්න සබ්මැරීනයක් ඇමෙරිකාව විසින් එක්කර ඇත. ඕස්ට්‍රේලියාවට අයත් ඕෂන් ෂිල්ඩ්ස් නෞකාව මගින් මුදාහල මෙම සබ්මැරීනයට අඩි 14000 තරම් ගැඹුරට  කිමිදිය හැකි බවත්, මෙහි ඇති දියුණු කරන ලද සෝනාර් පද්ධතියට යානයේ කළු පෙට්ටියෙන් නිකුත් කරනා ping සංඥා හසුකරගෙන එමගින් කළුපෙට්ටිය සොයා ගත හැකි බවත් පෙන්ටගන් ප්‍රකාශක ජෝන් කිර්බි පවසයි.


බ්‍රිතාන්‍ය සතු HMS Tireless නම් සබ්මැරීනයද සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා ඕස්ට්‍රේලියාව අවට මුහුදට පැමිණ ඇත. චීනයද තවත් සබ්මැරීනයක් මුදාහැරීමට සූදානමින් සිටියි. නමුත් බෝයිං සමාගම පවසනුයේ ඩේ‍රා්න සබ්මැරීන මෙහෙයුමට එක් වූවත් MH 370 යානයේ කළු පෙට්ටියේ බැටරි බලය අප්‍රේල් 7 දාට පසු නිමවන බැවින් එයින් තවදුරටත් ping සංඥා නිකුත් කළ නොහැකි බවයි. 


ඒ අනුව ඉදිරි කාලයේ දී කළු පෙට්ටියට තමුන් සිටිනා තැන ගැන අපට ඉඟි කිරීමට නොහැකි බැවින් එය සොයා ගැනීම ඉතා අසීරු  විය හැකි බව පැහැදිලි වෙයි. 

කෙසේ නමුත් සාගර පතුල සෝදිසි කිරීමට ලොව ඇති දියුණුතම ක්‍රමය මෙකී අධි තාක්ෂණික සබ්මැරීන් බවත් අත්ලාන්තික් සාගරයට ඇද වැටුණ ප්‍රංශයේ එයාර් බස් යානයේ සුන්බුන් සොයා දුන්නේද මෙවැනිම යානයක් බවත් BBC ආයතනයේ ආරක්ෂක වාර්තාකරු ජොනතන් බේලි පවසයි.

01-04-2014 දින මලයාසියානු රජය යානය සමග ගුවන් ගමන් පාලකවරු පැවැත්වූ සංවාදයන්ගේ පිටපත් මාධ්‍යයන්ට නිකුත් කර ඇත. ඒ අනුව යානයෙන් ලද අවසන් පණිවුඩය වනුයේ “Good night Malaysian Three seven zero”  යන්න බව තහවුරු වෙයි.  


එහෙත් මින් පෙර මැ‍ලේසියානු බලධාරීන් පවසා තිබුණේ යානයේ අවසන් පණිවුඩය “All right good night” යන්න බවයි. මෙම පරස්පරය නිසා යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් මලයාසියානු රජය සහ එරට ගුවන් සේවයට එරෙහිව නැවතත් දැඩි විරෝධය දක්වන්නට පටන් ගෙන තිබේ.

ඔවුන් මුලින් කීවේ යානයෙන් ලද අවසන් පණිවුඩය “All right good night” යන්න බවයි. එපමණක්ද නොවෙයි. එම පණිවුඩය නියමුවා පැවසුවේ වෙනත් පාර්ශ්වයකට දැයි ඔවුන් සැක පළ කළා. ඒ අවස්ථාවේ බාහිර පුද්ගලයෙකු නියමු කුටියේ සිටියාදැයි ඔවුන් විමසා සිටියා. 


මේවාගේ ප්‍රකාශ නිසා සෝදිසි මෙහෙයුම් කරන පිරිස් නොමග ගියා. මලයාසියානු රජය අනතුර ගැන යමක්  සඟවනවා. “යැයි යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීහු  පවසති. යානයේ ගමන්ගත් මගීන්ගෙන් බහුතරය චීන ජාතිකයන් බැවින් බිජින් නුවර මලයාසියානු තානාපති කාර්යාලයට දැඩි විරෝධතාවයකට මුහුණදීමට සිදුව ඇත. 

ඔවුන් පවසනුයේ යානයේ එක තහඩු කැබැල්ලක්වත් නොමැතිව යානය විනාශ වූ බව විශ්වාස නොකරන බවය. මේ අතර මලයාසියානු අගමැති නජිබ් රසාක් 02.04.2014 දින ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් සමග මෙහෙයුම් කඩිනම් කිරීමට සාකච්ඡා කරනු ඇති බව වාර්තා වෙයි.

ගුවන් අනතුරු පිළිබඳ පර්යේෂණ පවත්වන කණ්ඩායම් (Air craft Accedent investigetors) පවසනුයේ යානයේ ඉන්ධන අවසන් වීම නිසා එය ස්ථීර ලෙසම මුහුදට වැටී ඇති බවයි.


යානය සාගරයට කඩා වැටුණාද නොඑසේ නම් ඉන්ධන අවසන් බැවින් එය සාගරය එකට පහත් කිරීමේ දී ගිලීගියාද යන ගැටලුව ඇතැම් පාර්ශ්වයන් මතු කළද ගුවන් අනතුරු විශ්‍ලේෂකයන් පවසනුයේ යානය ස්ථිර ලෙසම කඩා වැටී ඇති බවයි. 


යානයේ ඉරණම තීන්දු වූයේ කෙසේදැයි හරියටම කීමට එහි කළු පෙට්ටිය සොයා ගෙන එහි අඩංගු දත්තවලට අනුව පරීක්ෂණාගාරයක් තුළ සිමියු‍ලේටරයක් පියාසර කරවා බැලිය යුතු යැයි ඔවුහු පවසයි.

මේ අතර මලයාසියානු ‍පොලිස්  ප්‍රධානී ම්. අබුබකර් පවසනුයේ යානයේ නියමුවන්, කාර්ය මණ්ඩලය සහ මගීන්ගේ තොරතුරු වෙන වෙනම විශ්‍ලේෂණය කළ බවත් යානය පැහැර ගැනීමකට ලක්වූයේ යැයි සිතිය නොහැකි බවත්ය. එහෙත් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ තවදුරටත් පවත්වන බව වාර්තා වෙයි.


මේ අතර 03-04-2014 දින BBC  ප්‍රවෘත්ති සේවය සිය වබේ අඩවිය මගින් වාර්තා කර  තිබුණේ මසක් ගෙවී ඇති MH 370  යානයේ අබිරහස නිරාකරණය වීමට තව මාස කිහිපයක් හෝ වසර කිහිපයක් ගතවිය හැකි බවයි. එමෙන්ම එය කිසි දිනක නිරාකරණ නොවූ සදාකාලික අබිරහසක් වීමටද ඉඩ ඇති බව එම වබේ අඩවිය පවසා තිබුණි.


අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
 
Related Posts with Thumbnails