Ads 468x60px

.

දුම්බර මිටියාවතේ "අඩියක්‌ ගසා" පිස්‌සු කෙළින්නට යන අයට කියන වග නම්...


අමු නිර්වස්‌ත්‍රයෙන්
දිය කෙලින්නට 
යන්න එපා...

දුම්බර මිටියාවතේ සොඳුරුම ගම් පෙදෙස මීමුරේ, අසංවර සංචාරකයාට ගොදුරුව ඇති පුවත අපි අනේක වාරයක්‌ මාධ්‍ය මගින් පෙන්වා දී ඇත්තෙමු. බුරුතු පිටින් එහි ඇදී යන කණ්‌ඩායම් වල වැඩි කොටස මේ අද්විතීය දුම්බර වන අඩවියට හානිදායක ලෙස හැසිරෙමින් මෙහි පැමිණෙන්නේම "අඩියක්‌ ගසා" පිස්‌සු කෙළින්නටය. 

මෙනිසාම කලක පටන් මීමුරේ යන පාරේ මඟදී හමුවන "හීන් ගඟ" එකම පිස්‌සු ලෝකයක්‌ බවට පත්වී තිබේ. වසර සිය දහස්‌ ගණනක්‌ පැරැණි ඔවුන්ටම ආවේණික සංස්‌කෘතික උරුමයක්‌ සමග ජීවත් වූ මීමුරේ වැසියාට ලඡ්ජා බය නැති වුන්ගේ සරදමට ලක්‌වන්නට සිදුවීම සැබැවින්ම අභාග්‍යයකි. 

හීං ගඟ ඉවුරේම "බෝතලය" කඩා ගන්නා එහි යන තරුණ මහලු පිරිමි කොටස්‌ අවසානයේ නැගිටින්නේ කටු සී සීකඩ යන ලෙස බෝතලේද
ගලේ ගසා කඩා "කුණුහරුප වර්ෂාවක්‌" ද සමගිනි. අනතුරුව බොහෝ විටම එහි දිය කෙළින්නේ අමු නිර්වස්‌ත්‍රයෙනි. පුදුමය එය නොවේ,

නගරබදින් එන නෝනා මහත්වරුද දැන් බොහෝවිටම හැසිරෙන්නේ මෙවන් පිරිමින්ටත් වඩා අන්ත විදිහටය. හීං ගඟෙන් නතර නොවන මේ සංකර සංචාරක නඩ එතැනින් ඔබ්බට වූ කයිකාවල, මීමුරේ ගම තුළටද ගොස්‌ මීමුරේ ඔය ආශ්‍රිත පෙදෙසේද "වන සතුන්" මෙන් හැසිරීම අද මීමුරේ ජනතාවට සැබෑම සංස්‌කෘතික බලපෑමක්‌ බවට පත්ව තිබේ.

ගොවිතැනෙන් - බතෙන්, කැලෑවෙන්, කොළෙන් දෙයක්‌ උපයාගෙන අල්පේච්ඡ අහිංසක දිවියක්‌ ගතකරන මීමුරේ වැසියාට සැබවින්ම මේ සංචාරක සංස්‌කෘතිය හිත පාරන මහා කරදරකාරී චිත්ත පීඩාවකි.

හුන්නස්‌ගිරියේ සිට කිලෝ මීටර් 30 ක්‌ පමණ ඈත දුෂ්කර තැනක පැළපදියම් වුවත් පෙර කළ පාපයකට දො මෙවන් නොහික්‌මුණු සංචාරක පිරිස්‌ පැමිණ කරන "විනාශය" මීමුරේ වැසියා ඉවසා සිටින්නේ ඔවුන් සතු ඉවසීමේ ගුණාංගය නිසාමය. 


එසේ නැතිව වනාතමුල්ලේ හෝ හැටේවත්තේ වැනි තැනකට ගොසින් කරන මෙවන් නොසන්ඩාල වැඩක්‌ වුවහොත් සිදුවන්නේ කුමක්‌ද යන්න අමුතුවෙන් කියා දිය යුතු නැත.

මීමුරේ සභ්‍යත්වය විනාශ කරමින් ගැමියන්ගේ නිවසට එබී බැලූ එම සංචාරක සංස්‌කෘතිය දැන් වෙනත් මුහුණුවරකින් නොහොත් "යක්‍ෂා වේශයෙන්" මීමුරේට කඩා වැදී ඇති පුවතක්‌ අපට දැනගන්නට ලැබුණේ මේ නොබෝදාය. 


එනම් සංචාරක ව්‍යාපාරය නොහොත් මීමුරේ සංචාරක ආකර්ෂණය පිටුපස ආ කඳවුරු බිම් සංස්‌කෘතියක්‌ එහි බින්න බැස ගැනීමය. "ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාසේ" කියන්නා බඳු මේ කඳවුරු බිම් සංචාරක ව්‍යාපාරය අද මීමුරේ ගැමි සංස්‌කෘතිය එයින් අතුගා දැමීමට තරම් බලවත් බව පසුගියදා අප එහි කළ සංචාරයකදී තහවුරු විය. අප අධ්‍යයනය කළ පරිදි කරුණු මෙවැනිය.

මීමුරේ ගම ස්‌වයංපෝෂිත ගම්මානයකි. පිටතින් මේ ගමට අවශ්‍ය වූයේ ලුණු තුනපහේ ටික පමණකි. බතේ බුලතේ සිට එළවළු අඩුම කුඩුම ටික ගම්මානය තුළම සරිකර ගැනීම මේ ගම්වැසියන්ගේ පාරම්පරිකව පැවත එන සිරිතකි. 


සුන්දර ලකේගල පාමුල දුම්බර වනාන්තරය අසබඩ පිහිටි මෙගම මැදින් කෙත්වතු යාය පෝෂණය කරමින් ගලා ගියේ මීමුරේ ඔයයි. මෙම මීමුරේ ඔය කෙත්වතු, එළවළු කොරටු පෝෂණය කළා පමණක්‌ නොව ගමේ සෑම සියලු දිය අවශ්‍යතාවන් සපුරාලමින් සුන්දරත්වයෙන්ද පෝෂණය කළේය. 

මෙහි එක්‌ දිය අත්තක්‌ ලෙස හඳුන්වනු ලබන අතර ඔය දෙකට මැදිවූ, දැවැන්ත කුඹුක්‌, තිඹිරි වැනි වෘක්‍ෂ දේවතාවන්ගෙන් සමන්විත අපූරු ඕවිටක්‌ද එහි විය. මේ වන වදුල වසර සිය ගණනාවක්‌ තිස්‌සේ මීමුරේ වාසීන්ට සෙවණ, සිසිලස සැලසුවේය. 

එහෙත් මීට මාස කිහිපයකට කළින් මෙහි පැමිණි කොට්‌ටාව ප්‍රදේශයේ හෝටල්කරුවකු මේ වන වදුල හෙළි පෙහෙළි කර, දෙපසින් ඇළ මාර්ග දෙකට මැදිවූ මේ අපූරු බිම්කඩ වඩා කටුකම්බි ගසා කඳවුරු බිමක්‌ තැනුවේය. ගම්වාසී කිහිප දෙනකුගේ උදව්ද ඊට ලැබුණේ කිතුල් රා, දඩමස්‌, කිතුල් හකුරු යනාදී දැ කඳවුරු බිම වෙත ලබාදෙන බලාපොරොත්තුවද සමගිනි. 


කිසිදු පූර්ව අවසරයකින් හෝ අනුමැතියකින් තොරව ආරම්භ කරන ලද මෙම කඳවුරු බිම් නවාතැන සඳහා වනයද හෙළි පෙහෙළි කරන ලද අතර, විවිධ මට්‌ටමේ කඳවුරු නවාතැන් ඉදිකර තිබේ. 

නැරඹුම් අට්‌ටාල, කූඩාරම් බිම්, ගිනි මැල, මුළුතැන් ගේ, බාබකිව් (මස්‌ පුළුස්‌සන) ස්‌ථාන, බියර් හා මත් පැන් පානය කරන ස්‌ථාන වශයෙන් පුළුල් පරාසයක බිහිවුණු කඳවුරු බිම් සංකීර්ණයක්‌ මෙහි සරල තාක්‍ෂණික මෙවලම් උපයෝගී කරගනිමින් තනා තිබිණි.

එසේම මෙම ඕවිට මැදින් වැටී තිබූ ගම්මුන්ගේ පාරම්පරික හේන් මාර්ගයද අවහිර කරමින් එය තනි පුද්ගලයකුට ගමන් කළ හැකි පරිදි කටුකම්බි දෙවැටකින් සීමා කිරීමද සිදුකෙරුණු අතර, මීමුරේ ගැමියන්ගේ බහුතරයේ විරෝධය මැද මෙය ඉදිකෙරුණේ කුමන හෝ අදිසි හස්‌තයක්‌ මේ පසුපස සිටිය නිසාය.

මෙම කඳවුරු බිම ක්‍රියාත්මක වීමේදී මීමුරේ විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන් ප්‍රමුඛ බහුතර ජනයාගේ විරෝධය මීට එරෙහිව නැඟ ඒමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඩීන්ස්‌ටන් හා තෙල්දෙණිය වන සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන වල වන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කඳවුර බිම වසා දමා කඳවුරුකරුවන්ට මීමුරෙන් පිටව යන තැනට ඔවුහු කටයුතු කළහ. 


එනිසා මෙම කඳවුරු බිම් භීතිකාව ගමෙන් පිටමං වූවේ යෑයි සිතා මීට විරුද්ධ වූවන් ඇතුළු ගැමියන් හිත හදාගත්තෝය. එහෙත් විශ්මය නම්, ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් හා නීතිය ක්‍රියාත්මක කළහැකි නිලධාරීන් හැමෝම දැන සිටියදී මාසයකට පමණ පසුව විත් පෙර කඳවුරු බිම්කරුවාම නැවතත් එතැනම මෙම කඳවුරු බිම ආරම්භ කිරීමය.

එපමණක්‌ නොව, මෙම කඳවුරු බිමට කිතුල් රා, දඩමස්‌ සපයන පුද්ගලයන්ද සෘජුවම සම්බන්ධව කටයුතු කරන අතර, මෑතක සිට ගංජා සහ වෙනත් මත් කුඩු වර්ග ගෙන එන බව තමන්ට ඔප්පු කර පෙන්විය හැකි බව අප මේ ගැන සොයා බැලීමට ගිය අවස්‌ථාවේදී ගමේ තරුණ කණ්‌ඩායමක්‌ පැවසූහ. 


තවද මී මුරේ ගමට මේ දක්‌වා කවරදාකවත් සිදු නොවූ ආකාරයේ කතාවක්‌ අහන්නටත් සිදුවූ බවද ඔවුහු අපට අවධාරණය කළහ. එනම් ගණිකා වෘත්තියද මේ තුළ පටන් ගෙන තිබීම බව ඔවුහු කියා සිටියහ.

මේ සම්බන්ධව ගමේ තරුණයන්, ගැමියන් වශයෙන් ඔබ යම් පියවරක්‌ නොගත්තේ මන්දැයි අප කළ විමසීමේදී ඔවුහු කියා සිටියේ "ඇයි නැත්තේ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හාමුදුරුවන් වහන්සේ සමග අප සහභාගි වුණු රැස්‌වීමේදී මේ කරුණු හෙළි කළා.


කඳවුරු බිම් කාරයන් සමග දඩ මස්‌, රා, සපයන කීප දෙනෙකු සම්බන්ධව ඉන්න බව ඇත්තයි. නමුත් බහුතරය මීට විරුද්ධව කතා කළත් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමා අපට දොස්‌ කිව්වෙ ගමේ බහුතරය කැමති නම් තමුන්ට විරුද්ධ වෙන්න හේතුව මොකක්‌ද කියලයි. 

එහෙම දෙයක්‌ නෑ. ගමේ බහුතරය විරුද්ධයි. මේක ගිනි තියල දාන්න කලින් අකුලගෙන යන්න කියන්න" තරුණයන් පිරිස ආවේගයෙන් අප සමග පැවසූහ.

සැබෑය. ඔවුන්ගේ කරුණු දැක්‌වීම මත අප මෙදින දහවලේදී කඳවුරු බිමට සීරුවෙන් ඇතුල් වූයෙමු. එදින කඳවුරු බිම ක්‍රියාත්මකව පැවති දිනයක්‌ නොවීය. මුරකරුවන්ද එහි නොසිටියහ. මේ අවස්‌ථාව ප්‍රයෝජනයට ගත් අපි කඳවුරු බිම පරීක්‍ෂාවට ලක්‌කළ අතර ඡායාරූපගත කිරීමද සිදුකළෙමු. 


ගැමියන් කී පරිදිම අපට මෙහිදී දැකගත හැකි වූයේ ඔවුන් පාරම්පරිකව පාවිච්චි කළ මාර්ගය සිහින් දෙවැටකට සීමාකර ඇති සැටියකි. එම දෙවැට දිගේ ගොස්‌ කඳවුරු බිමට ඇති ප්‍රවේශ කිහිපයකින් ඇතුළුව අප මෙම ස්‌ථානය සිහින් පරීක්‍ෂාවට බඳුන් කළෙමු. එක්‌ තැනෙක ගිනි මැල ගසන තැනකි.

ඊට යාබද පොල්අතු කුටීරයේ හිස්‌ බීර ටින් හා අරක්‌කු හිස්‌ බෝතල්ය. තවත් තැනක කූඩාරම් ගසන පාදම්ය. මස්‌ රෝස්‌ කරන ස්‌ථානයක්‌ද එහි විය. දෙපසින්ම සුපිරිසිදු අගනා දිය දහරා දෙකක්‌ ගලායන මේ බිම සැබැවින්ම පරිසරයේ උත්තම භූමියකි. 

රුක්‌ දෙවිවරු වැඩ වාසය කළ තැනකි. දැන් මේ දෙවිවරු කොහේ වෙත්දැයි මම කල්පනා කළෙමි. විටෙක ඔවුන් මීමුරේ පමණක්‌ නොව දුම්බර වනපෙතද හැරදා යන්නට ඇත්තේ මේ පාපිෂ්ඨකම් බලා හිඳින්නට බැරි නිසා විය යුතුය. 

දඩමස්‌, මත්පැන්, ගංජා, කුඩු, ගණිකා වෘත්තිය රජයන මේ බිම දැන් කිළිටි වී ගිය ස්‌ථානයකි. හතරවට කටුකම්බි ගසා තිබුණු අතර මීට අවසර දුන්නේ කවුරුන්ද, පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න ගැටලුවකි.

එහෙත්, පෙරකී පරිදි උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා ගමේ පැවති රැස්‌වීමේදී බඩේ බිත්තර තබා ගනිමින් ගමේ තරුණයන්ට එල්ල කළ වාග් ප්‍රහාරයේ පිටුපස බලවතකු ඇතැයි කල්පනා කළ හැකිය. 


ඒ අදමිටු බලවේගය කවුරුන්ද යන්න හෙළිකරන ලෙස අප උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ප්‍රශ්න කරන්නෙමු. පරිසරයේ හදවත බඳු, දුම්බර කඳුකරයේ මුදුන්මල්කඩක්‌ බඳු මීමුරේ ගම්මානයට වින කටින මේ කඳවුරු බිම් සංචාරක නවාතැනට අවසර දුන්නේ පරිසර ඇමැතිවරයාද යන්න අපි ප්‍රශ්න කරමු.

අපට වාර්තාවන හැටියට මෙහි හිමිකරුවා කොට්‌ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අභීත නම් අන්වර්ථ නාමයෙන් ඔහු පෙනී සිටී. අප මීමුරෙන් එන ගමනේදී එවන් එක්‌ කඳවුරුකරුවකු කැමරාවට ග්‍රහණය කරගන්නටද අපට හැකිවිය. 


ඕනෑනම් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයාට, උඩදුම්බර පොලිසියට, පරිසර පොලිසියට හෝ වෙනත් කුමන හෝ බලවතකුට ඔහුගෙන් ප්‍රශ්න කළ හැකිය. ඔහු නිදැල්ලේ හැසිරෙන්නෙකි. පැහැදිලිවම මෙය නිදැල්ලේ සිට කරන ව්‍යාපාරයකි. එහෙත් මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන සැඟව ඇති බව පෙනේ.

දුම්බර මිටියාවත, මීමුරේ ගම්මානය බිල්ලට දී මේ හොරගල් අහුලන බලවතා කවුද යන්න දැනගැනීමට මීමුරේ ගැමියන් මෙන්ම දුම්බරට ලැදි පරිසරලෝලීන් සැවොම බලා හිඳී. එහෙයින් නීතිය ක්‍රියාත්මක කරන්න. මේ නීති විරෝධී කඳවුරු බිම වසා දමන්න· අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

- ජගත් කණහැරආරච්චි

දුම්බර වනසන අධමයන් පළවා හරින්න
- දුම්බර මිතුරෝ

ලෝක උරුම දුම්බර වනාන්තරයේ පරිසර වටිනාකම්වලට හා එහි ගම්මානවල සංස්‌කෘතික වටිනාකම්වලට එරෙහිව ක්‍රියාත්මක වන විනාශකාරී ක්‍රියාවන්ට අප දැඩි ලෙස විරෝධය පළකරනවා. 


මීමුරේ කඳවුර බිම මෙම පරිසර පද්ධතියටත් ගමටත් මහා විනාශයක්‌. දැනටමත් මත්ද්‍රව්‍ය මෙහි භාවිත වන බවට අප හඳුනාගත්තා. දඩමස්‌ ව්‍යාපාරයෙන් සිදුවන බවට සාක්‍ෂි තිබෙනවා.

අප බලධාරීන්ට වගකීමෙන් යුතුව පවසන්නේ මෙම විනාශකාරී කඳවුරු බිම මීමුරේ ගම්මානයෙන් ඉවත් කරගන්නා ලෙසයි. නැතහොත් ජනතා විරෝධයක්‌ මීට එරෙහිව මතුවේවි. අද්විතීය දුම්බර වනපෙතේ, එහි සතා සිව්පාවා පාරිසරික වැදගත්කම මෙන්ම දුම්බරට ආවේණික වූ සංස්‌කෘතිකාංග කෙලෙසන අධමයන්ට එරෙහිව කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රදීප් ජයසිංහ 

- උප සභාපති දුම්බර මිතුරෝ පරිසර හා සංස්‌කෘතික සංගමය

පැමිණිල්ලක්‌ ආවොත් සොයා බලනවා
- උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්

මීමුරේ සංචාරක කලාපයක්‌. විවිධ සංචාරක කටයුතු එහි සිදුවෙනවා. විවිධ සංචාරක කටයුතු එහෙ සිදුවෙනවා. ඒත් නීතිවිරෝධී කඳවුරු බිමක්‌ ගැන මේ දක්‌වා මට පැමිණිලි ලැබිලා නැහැ. 


මේ ප්‍රදේශයේ වනාන්තරය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිසා නීතිවීරෝධී, අනවසර කඳවුරු බිම් ගැන වගකිව යුත්තේ, පියවර ගත යුත්තේ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවයි. 

ඒත් මේ කඳවුරු බිම තියෙන්නේ මීමුරේ ගමේ කොටසක කියල නම් මම ඒ ගැන සොයා බලනවා. ග්‍රාම නිලධාරිවරයාගෙන් වාර්තාවක්‌ කැඳවල මේ ගැන කටයුතු කරන්නම්. 

ගමේ රැස්‌වීම්වලට මම ගියත් මේ ගැන වාර්තා වුණේ නැහැ. සම්බන්ධීකරණ කමිටුවට වාර්තා ලැබිලත් නැහැ. කොහොම හරි පැමිණිල්ලක්‌ ආවොත් ඒ ගැන මම සොයා බලනවා.

එම්. ජී. ඒ. තිලකරත්න
ප්‍රාදේශීය ලේකම්-උඩදුම්බර
 
Related Posts with Thumbnails