Ads 468x60px

.

ස්‌වභාවික විපත්වලින් 'ලිංගික සොමි' ගන්නා පරපුටුවන්ට කියන වග නම්..!


කොස්‌ලන්දේ මීරියබැද්ද කන්ද නාය ගොස්‌ අවසන්ය. මේ විපත්තියෙන් මියගිය පිරිස තුන් හාරසියයක්‌ වන්නට ඇතැයි මුලදී සිතුවද එම ගණන පනහට අඩු බව හෙළිවීම යම් ප්‍රමාණයක අස්‌වැසිල්ලකි. 

කෙසේ වුවද මේ ඛේදවාචකය ක්‍රමයෙන් අතීතයට එකතු වෙමින් තිබේ. කිසිදු විපතක්‌ සදාකාලික නැත. විපත අවසන් වුණු තැනින් ජීවිතය යළි පටන්ගත යුතුව තිබේ.

එහෙත් මේ විපත තවදුරටත් පවත්වාගෙන යැමේ උවමනාවක්‌ ඇතැම් අය තුළ තිබේ. එයින් පළමුවන කොටස වන්නේ පිටරට මාධ්‍යවලට තොරතුරු දෙන මෙරට සමහර ජනමාධ්‍යකාරයන් ය. 


එක්‌තරා විදේශීය රූපවාහිනි චැනලයක මෙරට වාර්තාකාරිය ඉදිරිපත් කළ සජීවී වාර්තාවකින් කියෑවුණේ දිගින් දිගටම කඳු නායයැම වැළැක්‌ වීමට ආණ්‌ඩුව කිසිවක්‌ නොකරන බවය. මෙය කවරනම් ගොන්
කතාවක්‌ද.? කඳු නායයැමට මනුෂ්‍යයා ද වගකිව යුතු බව ඇත්ත. 

සෝදා පාලුව, වැරදි ලෙස කළ ඉදිකිරීම් යනාදිය කඳු නායයැමට බලපාන බවත් ඇත්ත. එහෙත් හදිසියේ කන්දක්‌ බිමට පහත් වන විට වහා එතැනට දිවගොස්‌ අතින් අල්ලා කන්ද නැවැත්වීමට ලංකා ආණ්‌ඩුවට තබා ඇමරිකන් ආණ්‌ඩුවටවත් බැරි ය. 

ස්‌වභාවික විපත්වලින් සතුටට පත් වන දෙවන කණ්‌ඩායම වන්නේ විපතටපත් අයට සහන සැලසීමට වතුර බෝතලයේ සිට කලර් ටී වී දක්‌වා බඩු එකතු කරන අය සහ මුදල් එකතු කරන අය ය. මීට අමතරව මෙවැනි ස්‌වභාවික විපත්වලින් 'සොමියක්‌' ගන්නා තව පිරිසක්‌ වෙයි. 

ඒ වූ කලී ඒවා බැලීමට ට්‍රිප් යන අය ය. බස්‌ කුලියට අරගෙන අරක්‌කු බොමින් බයිට්‌ කමින් සින්දු කියමින් කොළඹින් ගමන පටන් ගන්නා ඔවුහු කොස්‌ලන්දට යන විට සිටින්නේ අඩ සිහියෙනි. 

කසිප්පු හා බයිට්‌ මිලට ගැනීමටත් ආහාර ගැනීමටත් තැන තැන නවත්වමින් යන ගමනට බොහෝ කාලයක්‌ ගත වන නිසා විපතට පත් අය අතර බෙදාහැරීමට ඔවුනට සිදුවන්නේ පිළුණු වූ ආහාර ය. එහෙත් කසිප්පු මත නිසා ඔවුනට පිළුණු ගඳ නොදැනේ.

මෙවැනි විපත්වලට මූල්‍යාධාර සැපයීම සඳහා සල්ලි එකතු කරන ආධාර කණ්‌ඩායම් කොතෙකුත් සිටිති. මෙය මහත් සැප ගෙනෙන වැඩකි. මෙසේ එකතුකරන සල්ලිවලින් භාගයක්‌ පමණ කොස්‌ලන්දට යන මගදී වියදම් වන්නේය. 


කොස්‌ලන්දට ගිය විට ඉතිරි භාගය බෙදා දීමට ඔවුන් තුළ ලෝභකමක්‌ හටගනී, ඒ ආපසු යන මග වියදමට එය අවශ්‍ය බැවිනි. ඒ නිසා මේ පිරිස්‌ කරන්නේ අත තිබෙන ජංගම දුරකථන වලින් අනාථයන්ගේ පින්තූර ගෙන ඒවා කොළඹ ගෙන ගොස්‌ නැවත වරක්‌ ආධාර එකතු කිරීමය.

ඔවුන් අනාථ කඳවුරු අතර සැරිසරන්නේ සතුන්වත්තට ගියාක්‌ වැනිය. ඔවුන් අනාථ කඳවුරු දකින්නේ මිනිසුන්ගෙන් පිරී ගිය සතුන්වත්තක්‌ ලෙසය. අනාථයන්ගේ සිරුරුවල මඩ ගෑවී සුව නොවූ තුවාලවලින් ගහන වූයේ නම් පෙර කී පිරිස ප්‍රසිද්ධියේම දුක්‌ වන්නට පටන් ගන්නේ මේ ගමනේදී ඔවුන් ලබන සොමියේම කොටසක්‌ ලෙසය.

සුනාමියේදී මේ කාලකණ්‌ණි වැඩේ මෙසේම සිදු විය. 'සුනාමි ට්‍රිප්' සංවිධානය කළ සංචාරක සමාගම්වලට හොඳ ආදායමක්‌ ලැබිණ. එසේම සුනාමි අනාථයන්ට උදව් කරන ව්‍යාජයෙන් 'සුනාමි සංචාරකයෝ' සිය ලිංගික අවශ්‍යතා ද සම්පූර්ණ කරගත්හ. 


මේ සියලු අතීත පාඩම් නිසාදො කොස්‌ලන්ද බලාගැනීමට තමන්ට හැකි බවත් වෙනත් අයගේ ආධාර අනවශ්‍ය බවත් ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. එය එසේම විය යුතුය.
 
Related Posts with Thumbnails