Ads 468x60px

.

පිං‍පොංගේ දුව දෙරණදී සිරස ගැන කී කතා නිසා බිරිඳත් මල පැනලා.

රංගන ශිල්පී රජිත හිරාන් චාමිකර වඩා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ‘පිං‍පොං’ නමිනුයි. හාස්‍ය රංගනය තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ රජිත පසුගිය දවසක දෙරණ නාලිකාවේ සජීවී වැඩසටහනකදී අසීරු අවස්ථාවකට මුහුණ දුන් ආකාරය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. 

එය අන්තර්ජාල වබේ අඩවිවලද පළ වුණා. මෙම සිදුවීම ගැන වැඩිදුර විස්තර රජිතගෙන්ම විමසමින් අප රජිත හිරාන් චාමිකර හෙවත් ‘පිං‍පොං’ කතාබහකට මෙලෙස එක් කරගත්තා.

රජිත, මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇති දෙරණ නාලිකාවේ සජීවී වැඩසටහනකදී ඔබ මුහුණ දුන් සිද්ධිය ගැන කතා කරන්නයි අප ඔබව මේ කතාබහට එකතු කරගත්තේ ......


මේ දවස්වල හැමෝම මගෙන් අහන්නේ ඔය සිද්ධිය ගැනයි. මෙන්න මේකයි එදා සිද්ධ වුණේ. පහුගිය දවසක මම දෙරණ නාලිකාවේ වැඩ සටහනකට ගියා. ඒ වැඩසටහනට මගේ බිරිඳ ඇන්ඩ්‍රියා සහ මගේ දුව

ඇමැන්ඩාත් මාත් එක්ක ගියා. වැඩසටහන මෙහෙයවන පූර්ණිකා අපෙන් ප්‍රශ්න අහද්දී මගේ දුව දුන්න සමහර උත්තර අපිව අපහසුතාවයට පත් කළා. 

එක අවස්ථාවක මගේ බිරිඳ කිව්වා මෙයා දැන් මෙහෙම විහිළු කළාට ගෙදරදී ඉන්නේ හිට්ලර් වගේ කියලා. ඒ වෙලාවේ මම කිව්වා මම හිට්ලර් මෙයා ගෙදරදී ජයලලිතා කියලා. ඒ වෙලාවේ දුව එකපාරටම එයාගේ අම්මව පෙන්නලා කියනවා “තාත්ති කියන්නේ බොරු” අම්මා ජයලලිතා ‍නෙවෙයි බය ලලිතා කියලා” .... 

ඔන්න ඔය විදියට තමයි වැඩසටහන කෙරුණේ. කොහොම කොහොම හරි වැඩසටහන නිමාවුණා. සාමාන්‍යයෙන් අපි ටී.වී. වැඩසටහනකට ගියාම වැඩසටහන ඉවර කරද්දී එම නාලිකාවට ස්තුති කරනවානේ. මමත් වැඩසටහන නිමා කරද්දී දෙරණ නාලිකාවට ස්තුති කළා. 

ඒ වෙලාවේදී දුව එකපාරටම කියනවා. හැබැයි අපේ ගෙදර නම් බලන්නේ සිරස කියලා. කැමරාව යොමුවෙලා තිබුණේ පූර්ණිකාට. මගේ බිරිඳ දුවගේ කට වැහුවා. දුව එයාගේ අම්මාගේ අත තල්ලුකරලා පැනලා අපේ ගෙදර බලන්නේ සිරස කියලා ආයෙම සැරයක් හයියෙන් කිව්වා.

ඉතින් දුව කිව්වේ ඇත්තද ?


දුව උදේ නැගිට්ට හැටියෙ බලන්නේ සිරසේ යන කාටූන්. හවසට බලන්නෙත් ස්කුබිඩු. සිරසේ යන ළමා චිත්‍රපටත් බලනවා. ඒ හින්දා එයාට දැනුණු දේ එයා කිව්වා. දුවට වයස පහයි. අවුරුදු පහක ළමයෙක් කරපු දේකට දඬුවම් දෙන්න බැහැනේ. ඉතින් මොනා කරන්නද? 


අනික ගහේ කටු උල්කරන්න ඕන නැහැ කියලා කියමනක් තියෙනවා නේ. මගේ තාත්තා මට අවුරුදු පහේ දී මීට වඩා අපහසුතාවයට පත්වෙලා තියෙනවලු. ඒක වෙන්න ඇති අද මමත් මේ විදිහට රැග් කන්නේ.

රජිතත් පුංචි කාලෙදී බොහොම දඟකාර මුඛරි ළමයෙක්ද ?


ඔයා අහල ඇති නේද අර ඇම්ඩන්ගේ කතන්දර. මම පුංචි කා‍ලේ අපේ ගෙවල් පැත්තේ කොල්ලෝ නිතරම කියන දෙයක් තියෙනවා. කවදහරි ඇම්ඩන්ගේ කතා ටෙලි නාට්‍යයකට හැදුවොත් ඇම්ඩන්ට හරියන්නේ මෙන්න මූ කියලා ඒ අය මට කියනවා. 


මම පුංචිකා‍ලේ කරන්නෙම ඇම්ඩන් වැඩ. ඒ දවස්වල අම්මයි තාත්තයි මාව මඟුල් ගෙදරකට හරි නෑදෑ ගෙදරකට හරි එක්ක ගියාම ආපහු ගෙදර එනකල් ඉන්නේ ඇඟේ ‍ලේ වතුර වෙලාලු. ඇයි ඉතින් මගෙ කට ඇවිස්සුණොත් ඒ දෙන්නගෙ ආත්ම ගෞරවය ඉවරයිනේ. මගෙ දුවට මගෙ ගතිගුණ ඒ විදියටම පිහිටලා තියෙනවා.

මීට කලිනුත් දුව හින්දා රජිත අපහසුතාවයට පත් වූ අවස්ථා තියෙනවද ?


ඒ ගැන නම් කියන්න වචන නැහැ. මාත් එක්ක ගමන් බිමන් යද්දි දුවට අවධානය යොමු වෙනවානේ. මම නැතුව එයාගේ අම්මා එක්ක හරි වෙන කෙනෙක් එක්ක හරි තැනකට යද්දි ඒ අවධානය නැහැ. 


ඒ වෙලාවට මෙයා එතැන ඉන්න අයට කතාකරලා “ඔයගොල්ලෝ දන්නවද මම කවුද කියලා. මම තමයි පිං‍පොංගේ දුව කිලා කියනවා. එදා ටී වී එකේදී ඔය සිද්දිය වුණ හින්දා රටම ඒක දැක්කා. මඟුල් ගෙවල්වලදි නෑදෑ ගෙවල්වලදී මෙයා අපිව අපහසුතාවට පත්කරපුවා ටීවී එකට දැම්මොත් වෙනමම වැඩසටහනක් කරන්න පුළුවන්.

ඒ වගේ සිද්ධි හින්දා රජිත කනගාටුවට පත්වෙනවද ?


අවුරුදු පහක ළමයෙක් කරන කියන දේවල්වලට කලබල වෙන්න තරම් මම බොළඳ නැහැ. අනික දැනුම් තේරුම් ඇති වයසට එද්දී මගෙ දුව ඔය විදියට හැසිරෙන එකක් නැහැ. මගෙ දරුව කියන සමහර දේවල්වලට මට පුදුමත් හිතෙනවා.

ඒ මොන විදියේ දේවල් ද ?


දුව හරි බැරෑරුම් වචන කියනවා. එයා මොනව හරි කරන්න හදන කොට අපි එපා කිව්වොත් මට එක අවස්ථාවක් දීලා බලන්න. කියල දුව කියනවා. මම හරි මගෙ බිරිඳ හරි දුවට බැන්නොත් සැර කළොත් එයා අඬන්නේ නැහැ. “මම ඔයගොල්ලන්ගෙන් වෙන්වෙලා යනවා. සදාකාලයටම සමුගන්නවා” කියල කියනවා. මේ ළමයට මේ වගේ වචන එන්නේ කොහෙන්ද කියල අපිටත් පුදුමයි.

රජිත තමන්ගේ චූටි දුවගේ දඟකාරකම් ගැන විවෘත මනැසින් බලනවා. රජිතගේ බිරිඳ මේ වගේ අවස්ථාවන් ගැන දක්වන ප්‍රතිචාර කොහොමද ?


එයත් දරුවව තේරුම් ගත්තු අම්මා කෙනෙක්. හැබැයි එදා දෙරණට ගිහින් වෙච්ච දේට නම් හොඳට කලබල වුණා. දුවව ආයෙම ටී වී වැඩසටහන් වලට එක්ක යන්න එපා කියලා මට මගේ බිරිඳ කිව්වා.

රජිත බිරිඳගේ තීරණේට එකඟ වුණාද ?


ධාතුසේන රජ්ජුරුවෝ කලා වැවෙන් වතුර දෝතක් අරගෙන මේ තමයි මගෙ ධනය කිව්වා වගේ මටත් මගෙ දරුවට දෙන්න තියෙන්නේ මම නළුවකු විදියට හම්බකරගත්තු දේ තමයි. 


දුවට ටී වී සාකච්ඡාවලට යන්න වෙන්නේ එයාගෙ තාත්තා රජිත හිරාන් හින්දා. ඒ නිසා මම ඉදිරියටත් මගෙ දරුවව මේ වගේ සාකච්ඡාවලට එක්ක යනව කියල මම කිව්වා. ඔය කතාබහ දුරදිග ගිහින් බිරිඳයි මමයි දවස් දෙක තුනක් කතාබහ නොකරත් හිටියා.

එදා සිද්ධිය ඒ තරමට දුරදිග ගිහින් වගේ ...?


ටී වී සාකච්ඡාවලදී වෙච්ච දේ මහ ලොකුවට දුර යයි කියල අපි හිතුවේ නැහැ. ඒත් මේ සිද්ධිය අන්තර්ජාලයටත් ගියා. ඒ යටින් ගොඩක් දෙනෙක් තමන්ගේ අදහස් දාල තිබුණා. සමහරු නම් මේක වයස පහක ළමයෙක් තමන්ගේ හිතට දැනිච්ච දෙයක් අවංකවම ප්‍රකාශ කිරීමක් විදියට දැකලා තිබුණා. 


තවත් අය දරුවො හරියට හදාගෙන නැහැ කියලා මටයි බිරිඳටයි දොස් කියලා තිබුණා. ඔය අතරේ “උඹත් උඹගේ තාත්තා වගේම ටීවී එකට ඇවිත් මිනිස්සුන්ට ගොංආතල් දෙනව“ කියල මගෙ පුංචි දරුවට කියපු අයත් ඒ අතර හිටියා. මගේ බිරිඳගේ හිත රිදුණේ ඒවාට. ඔන්න ඔතනින් තමයි අපේ වචන හුවමාරුව ඇතිවුණේ.

රජිත මීට පස්සේ දරුවව මාධ්‍ය ඉදිරියට ගෙන ඒමෙන් වළකිනවද ?


සමහරු මේ සිද්ධිය මහා ලොකුවට ගත්තාට මම මේවායින් කලබල වෙන්නේ නැහැ. මම රංගන ශිල්පියෙක්. මම කරන්නේ මිනිස්සු සතුටු කරන එක. මට ආදරය කරන පිරිසක් මේ රටේ ඉන්නේ ඒ හින්දා. ඒ ජනප්‍රියත්වය තමයි මම හම්බ කළ ධනය. 


මා ලැබූ ඒ දේවල් මගෙ දරුවට අයිතියි. මිනිස්සු එයාව රජිතගේ දරුව විදියට දකින්න කැමති නම් එයාව ප්‍රසිද්ධ මාධ්‍යය ඉදිරියට ගෙන  යන්න වෙනවා. ඒ හින්දා ඉදිරියේදීත් මම මගේ දුවව ටී වී ‍පෝග්‍රෑම්වලට එකතු කරගෙන යනවා.
 
Related Posts with Thumbnails