Ads 468x60px

.

ඇලකට පැන සිය දිවි නසාගන්නට පෙර හෝ වෙඩි කන්නට පෙර වෙලේ සුදා ආරක්‍ෂා කරගනිමු!


"ගම්පොළ විතානගේ සමන්ත කුමාර" අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා පොලිසියේ අභිමානය තවදුරටත් රැකගන්නට එය පූර්ණ හේතුවක්‌ වී තිබේ. ගම්පොළ විතානගේ සමන්ත කුමාර යනු රජයේ ඉහළ නිලයක්‌ දැරුවකු හෝ පෞද්ගලික අංශයේ විධායක තනතුරක්‌ දැරුවකු නොවේ. 

ඒ නිසාම ඒ නමින් ඇමැතූ විට කිසිවෙකුත් ඔහු හඳුනන්නේ නැත. එහෙත් "වෙලේ සුදා" යෑයි කී විට රටම ඔහු හඳුනා ගත්තේය. ඒ "කුඩු බිස්‌නස්‌ කාරයකු" වශයෙනි.

වෙලේ සුදා අල්ලා ගැනීම පොලිසියට අභිමානයක්‌ බව අපි කීවෙමු. එසේ කියන්නේ හේතු කාරනා දෙකක්‌ උඩය. පළමුවැන්න පසුගිය කාලයේ

"පොලිසිය" ගැනත් පොලිසියේ මහත්වරු ගැනත්, පොලිසියේ සමස්‌ත ක්‍රියා කලාපය ගැනත් රටේ ජනතාවගේ එතරම් පැහැදීමක්‌ තිබුණේ නැති බැවිනි.

දෙවැන්න, වෙලේ සුදා රටින් පැන බොහෝ කාලයක්‌ ඉක්‌ම යනතුරුත් ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුගේ කුඩු ජාවාරම නවතා දැමීමට හැකියාවක්‌ නොලැබීමය. රටින් පැන අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ වසර තුනක කාලයක්‌ තුළ වෙලේ සුදා රුපියල් මිලියන දසදහසකට ආසන්න වටිනා මත්කුඩු තොග පිටින් මෙරටට එවා ඇති බව කියෑවේ.

වෙලේ සුදා අත්අඩංගුවට ගත්තේ පකිස්‌ථානයේ සිට වෙනත් රටකට, වෙනත් නමකින් පැන යැමට සූදානමින් සිටියදීය. දැනට හෙළිවී ඇති තොරතුරු අනුව කොළඹ බගතලේ පාරේ සුපිරි නිවාස දෙකක්‌ සහ හෝර්ටන් පෙදෙසේ එක්‌ නිවසක්‌ද වෙලේ සුදාට අයත්ය. 


ඊට අමතරව බැංකු සුරක්‍ෂිතාගාර, ස්‌වර්ණාභරණ, මුදල් විවිධ ගිණුම්වල තැන්පත් කර ඇති බව කියවේ. මේ සියල්ලේම වටිනාකම රුපියල් මිලියන 200 ඉක්‌මවන බවද කියවේ.

1997 වයස අවුරුදු 19 ක කාලයේ පටන් මේ වෙනතෙක්‌ 18 වසරක්‌ තිස්‌සේ කුඩු ජාවාරමේ නිරතව සිටි "වෙලේ සුදා" අත්පත් කරගෙන ඇති ධනස්‌කන්ධය එපමණකට සීමා වෙතැයි අපි විශ්වාස නොකරමු. පොලිසිය පරීක්‍ෂණ පවත්වන්නේ ඒ ගැනය. "වෙලේ සුදා" පිළිබඳව හැඳින්වීම එතෙකින් නිමය.

දැන් වෙලේ සුදා සිටින්නේ අත්අඩංගුවේය. තවත් ටික දිනකින් "වෙලේ සුදා" බඩෝවිට ඇළට පැන දිවි නසා ගත්තේය යන ආරංචිය අහන්නට අපි කැමැති නැත. එසේත් නැත්නම් ආයුධයක්‌ පෙන්වන්නට ගොස්‌ වෙඩි කෑමේ සිද්ධියක්‌ වුවද සිදුවීමට බැරි නැත.

එය ද අපි අසන්නට කැමැති නැත. සමහර විට වෙලේ සුදාගේ ජාවාරම් කාර හිතවතකු විසින්ම වෙළේ සුදා ඝාතනය කළේ යෑයි ආරංචි වන්නට ද ඉඩකඩ ඇත. මේ මොහොතේ ඒ කිසිවක්‌ම අසන්නට හෝ ප්‍රවෘත්තියක්‌ ලෙස පළකරන්නට අපි නොකැමැත්තෙමු. 


හැකි උපරිම ආරක්‍ෂාව යොදවා මේ මොහොතේ වෙලේ සුදා ආරක්‍ෂා කළ යුතුය. ඒ තවමත් වැලිකඩ ඇතුළු බන්ධනාගාර වල රජ සැප විඳිමින් කාලය ගත කරන "කුඩු රජවරු" මෙන් වෙලේ සුදා ආරක්‍ෂා කරන්නට නොවේ.

කුඩු ජාවාරම මෙතරම් පහසුවෙන් කරගෙන යන්නට වෙලේ සුදාට පහසුකම් සැපයූවේ කවුද? ජාවාරමට සම්බන්ධ අන්තර්ජාතික මෙන්ම දේශීය පාදඩයන් කවරහුද යන්න නිශ්චිතවම හඳුනා ගැනීමටය.

රටේ කුඩු ජාවාරම යහමින් පැතිර යන්නට ඒවාට සම්බන්ධ යෑයි විවිධ දේශපාලනඥයන්ගේ නම් ගම් කියෑවිණි. එහෙත් කුඩු ජාවාරම්කාරයන් අල්ලා ගැනීමෙන් පසු සිය දිවි හානිකර ගන්නා මට්‌ටමේ "නිවුස්‌" මිස ඊට සම්බන්ධ වූ කිසිවෙක්‌ ගැන ආරංචි මාත්‍රයක්‌ හෝ පසුගිය දශකයක කාලය තුළ අසන්නට ලැබුණේ නැත. තොරතුරු වමාරන්නට පෙරම අදාළ මිනිහා පරලොව ගොසිනි.

වර්තමාන දේශපාලනය හැඩගැසී ඇති ආකාරයට "කුඩු බිස්‌නස්‌" නොව බුලත් විට වෙළඳාමක්‌ හෝ දේශපාලන හයියකින් තොරව කරගෙන යැමට බැරි බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ තිබියදී "කුඩු බිස්‌නස්‌" ගැන කවර කතාද?

වෙලේ සුදා ගෙන් හෙළිකරගත යුත්තේ මේ කාරනාය. දේශපාලන අධිකාරියේ සිට කුඩු ජාවාරමට සම්බන්ධ පොලිස්‌ නිලධාරීන්, ව්‍යාපාරිකයන්, සියලු දෙනා ගැනම හෙළිකර ගත යුතු මෙන්ම ඉක්‌මනින්ම රටට හෙළි කළ යුතු වන්නේය. 


එපමණක්‌ නොව දීර්ඝ කාලයක්‌ බන්ධනාගාර ගතව ජංගම දුරකථනයෙන් බිස්‌නස්‌ මෙහෙයවන පුද්ගලයන්ගෙන්ද දැන් තොරතුරු හෙළි කරගත යුතුය. මේ සියල්ලම ඉතා කෙටි කාලයක්‌ තුළ නිම කිරීමට පොලිස්‌පති තුමාට හැකියාව ලැබේවා යෑයි ආශිර්වාද කරමු.

එතෙක්‌ වෙලේ සුදාගේ ආරක්‍ෂාව ඔබට බාරය. "වෙනසක්‌" බලාපොරොත්තු වූ රටක දේශපාලන අධිකාරියේද වගකීම එය බවද සිහිපත් කරමු.
 
Related Posts with Thumbnails