Ads 468x60px

.

වැරදිලාවත් ඔබ අතින් අන් අයකු හපාකෑමට ලක්‌වුවහොත්


රෝහල කුමටද? වෛද්‍යවරයා හමුවීමටය. වෛද්‍යවරයා කුමටද? රෝගියාට නිසි ප්‍රතිකාරය නිර්දේශ කිරීමටය. ෆාමසිය කුමටද? නිසි බෙහෙත රෝගියා වෙනුවෙන් නිකුත් කිරීමටය.

සුනඛයකු විසින් සපාකෑ කළුතර ප්‍රදේශයේ වයෝවෘධ මිනිසකුට, කළුතර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක්‌ විසින් ජලභීතිකාව වලක්‌වන එන්නත වෙනුවට විද ඇත්තේ, ජලභීතිකාව බල්ලාට වැළඳීම වලක්‌වන ප්‍රතිශක්‌තිකරන එන්නතකි.

සිද්ධිය මෙසේය. 


සුනඛයකු ගේ සපාකෑමට ලක්‌වූ ඒ මිනිසා, මොකක්‌දෝ කරුමයකට, නාගොඩ පිහිටි ප්‍රධානම රෝහලද ඇතුළුව රජයේ රෝහල් ගණනාවක්‌ පසුකරමින් කළුතර පිහිටි ප්‍රසිද්ධ නමක්‌ ඇති පෞද්ගලික රෝහලකට
පැමිණෙන්නේය. ඒ ඉකුත් 4 වැනිදාය. 

පුද්ගලික රෝහලේ වෛද්‍යවරයා තුවාල ලත් තැනැත්තාව පරීක්‍ෂාකර බලා ජලභීතිකා රෝගයට ලක්‌වීමේ අවදානම වලක්‌වනු පිණිස එන්නතක්‌ නියම කරයි. එම එන්නත රෝහලේ නොතිබුණි. ඒ නිසා එය නගරයේ ෆාමසියකින් රැගෙනවිත් වෛද්‍යවරයා අතට පත්කරයි. 

එහිදී ඒ වෛද්‍යවරයා එන්නත ඒ අතින් ගෙන, මේ අතින් හෙදියට දෙන්නේ මෙලෝ විචාරයකින් තොරවය. එන්නත අනිනු හැර, බෙහෙතක ස්‌වභාවය ගැන මෙලෝ සංසාරයක්‌ නොදන්නා නර්ස්‌ නෝනා වෛද්‍යවරයාගේ නියෝගය අකුරට ඉටුකරයි. 

මෙය එන්නත් මාලාවක්‌ නිසා, සාමාන්‍ය ක්‍රමවේදය පරිද්දෙන්ම මේ ලබාදුන් එන්නතේ ලේබලය ප්‍රතිකාර සටහන මත අලවයි. ඉන් සති දෙකක ඇවෑමෙන් ඔහු පැමිණෙන්නේ එන්නත් මාලාවේ දෙවැනි එන්නත විදගැනීමටය. දෙවැනි දිනයේ හමුවන වෛද්‍යවරයා ප්‍රතිකාර සටහන අතට ගෙන කියවයි.

ප්‍රතිකාර සටහනේ ඇති කලින් ලබාදුන් එන්නතේ ලේබලයට ඔහුගේ ඇස යයි.

කිරි අප්පට බල්ලො පැනපි.....

මේ කිරිඅප්පාට විද ඇත්තේ බල්ලාව ජලභීතිකාවෙන් බේරාගැනීමට විදින එන්නතකි. තේරෙන භාෂාවෙන් කියයි නම් බලු බෙහෙතකි.

වරද කොතැනද? වැරදි එකක්‌ නොව, වැරදි මාලාවකි. පළමු වැරැද්ද කරන්නේ ෆාමසියෙනි. හරි බෙහෙත වෙනුවට බලු බෙහෙත දෙන්නේ එතැනින්ය. ඒ දුන් බලු බෙහෙත දොස්‌තර උන්නැහේද හැඳිනුවේ නැත. 


එය දෙවැනි වරදයි. සිරින්ජරය සහ කටුව ඇතිනම්, ඒ කියන්නේ එය එන්නතක්‌ මෙන් පෙනේනම්, වෙන කිසිවකුත් නොවිමසා ඒ තුළ foමලීන් තිබුණද ඔහේ ඇන දමන නර්ස්‌ නෝනා තෙවැනි වරද කර තිබේ. අවසානයේ මොකක්‌දෝ පිනකට ඒ ලොකු උන්නැහේ බලු බෙහෙතින් 'සළු' වුණේ නැත. දෙවැනි එන්නත ගැනීමටත් යහතින් එන්නට උන්දෑ ආයු සම්පත්තිය ලබා තිබුණේය.

මෙය තවත් එක්‌ සිදුවීමක්‌ ලෙසින් ලඝූ කළ හැකි කරුණක්‌ නොවේ. මේ වනාහී සෞඛ්‍ය සේවය මුදලාලිලා අතට පත්වීමේ ෙ€දවාචකයට තවත් එක්‌ උදාහරණයකි. එයින් අදහස්‌ වන්නේ රජයේ රෝහල්වල හෝ ආණ්‌ඩුවේ ඩිස්‌පැන්සරියේ බෙහෙතකටවත් වරදක්‌ නොවන බව නොවේ. නමුත් රජයේ රෝහල සහ පෞද්ගලික රෝහලත්, 'ෆාමසි' කඩයත් සැස» විට රජයේ රෝහලෙන් අත්වැරැදක්‌ සිදුවීමට ඇති සම්භාවිතාව අඩු අගයකි.

පෞද්ගලික රෝහල්වල සිටින හෙදියන් සහ රජයේ රෝහලේ හෙදිය අතර දැනුමේ පරතරය අහසට පොළොව මෙනි. පෞද්ගලික රෝහලේ හෙදියක්‌ වීමට ඇති උපරිම සුදුසුකම කොහෙන් හෝ හෙද පාඨමාලාවක්‌ හදාරා සිටීම වන අතර එහි අවම සුදුසුකම සිනාසී ප්‍රසන්න අයුරින් කථාකිරීමට හැකිවීමය. 


ෆාමසියක්‌ පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය ඖෂධවේදී විභාගය සමත්වූවකුගේ සහතිකය පමණි. අද මසකට රුපියල් 15,000ක පමණ 'සාධාරණ මිලකට' කෙනෙකුට සිය ඖෂධවේදී විභාගය සමත්වීමේ සහතිකය කුලියට දිය හැක. 

බලපත්‍රලාභී ඖෂධවේදියා දෙවුන්දරතුඩුවේ සිටියදී, ඒ බලපත්‍රයට පේදුරුතුඩුවේ ෆාමසියක්‌ අටවාගෙන බෙහෙත් දීමට තව කෙනෙකුට හැකිය. එය හරියට කෙනෙකුගේ රියෑදුරු බලපත්‍රයක්‌ මාසික කුලියකට ලබාගෙන රියදුරු බලපතක්‌ නැති කෙනෙක්‌ රිය පැදවීම වැනිය.

මෙය අතිශයින් භයානක තත්ත්වයකි. අවසානයේදී ෆාමසියෙන් බල්ලාට දෙන එන්නත කොල්ලාට දෙයි. පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට එන ඔලු ගණනට 'සම්තින් එක' හොයන දොස්‌තර උන්නැහේ මෙලෝ විචාරයකින් තොරව එය විදගන්නට හෝ ඇන දමන්නට අණදෙයි. 


නර්ස්‌ නෝනා 'යර්ස්‌ ' කියමින් එය ඉටුකරයි. අවසානයේ ඔබගේ වටපිටාවේ ඇත්තන් නොබියව ඔබව ආශ්‍රය කරයි. ඒ වැරදිලාවත් ඔබ අතින් අන් අයකු හපාකෑමට ලක්‌වුවහොත් කිසිදු ආපදාවක්‌ නැති බැවිනි. මක්‌නිසාද යත් ඔබේ ගෙදර ටොමියා මෙන්ම ඔබත් එකම ජලභීතිකා එන්නත ලබා ඇති නිසාය.
 
Related Posts with Thumbnails