Ads 468x60px

.

ලෝකාන්තයෙන් වැටුණු විදේශිකයා බේරාගත් ගුවන් මෙහෙයුම


නුවරඑළිය හෝර්ටන්තැන්න ලෝකාන්තය නැරඹීමට ගොස් ප‍්‍රපාතයට ඇදවැටුණු චීන ජාතිකයෙකු ගුවන් හමුදා කණ්ඩායමක් සිදුකළ වික‍්‍රමාන්විත මෙහෙයුමකින් බේරා ගැනුණා.

ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ ලෝකාන්තයෙන් පහළට ඇදවැටුණු චීන ජාතිකයා ගසක එල්ලී සිටින බවට ලද තොරතුරක් අනුව අද දහවල් එම මෙහෙයුම දියත් කළ බවයි. 


බෙල් 212 වර්ගයේ ගුවන් යානයක්  සහ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ කාර්ය බළකා සෙබළුන් සිව්දෙනෙකු එම මෙහෙයුමට එක්වුණා. දිවි බේරාගත් චීන ජාතිකයා ප‍්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත්
කළ බවද ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. ලෝකාන්තයේ සිට එක එල්ලේ පහළ බෑවුමේ දිග අඩි 2854ක් පමණ වනවා.

‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දේශීය හා විදේශීය  සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.මුහුදු මට්ටමින්  අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය.

හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි.හොදින් හිරු එළිය නොමැතිවූ විට මීදුම ගලාවිත් ප‍්‍රදේශයම වැසීයයි. ඒනිසා වෙනත් ප‍්‍රදේශයක මෙන් දිවාකාලයේ පැය හයක් හතක් හැර ඉතිරි කාලය මීදුම නිසා සාමාන්‍ය වැඩවලට බාධා එල්ලවේ.

එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ලෝකාන්තය නමින් හදුන්වනවා. එතැන් සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය පුංචි ලෝකාන්තයයි.

ලෝකාන්තයෙන් පහළ බැලූවිට කුඩා පෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දක්කනට ඇත. එසේ දක්නට ඇත්තේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත් වෙනවා. ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.

ලෝකාන්තයෙන් පහළට කෙනෙකු  සෙවීම සදහා යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. නමුත් එම මාර්ගයේද ගමන ඉතාමත් දුෂ්කරයි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි.

එම නිසා ලෝකාන්තයෙන් පහළට වැටුණ කෙනෙක් නන්පේරියල් වත්තේ උඩකොටසින් හොයාගෙන තවත් කිලෝමීටර් තිස්පහක් පමණ දුරක් පහළ පිහිටි බළන්ගොඩ මූලික රෝහලට රැගෙන යායුතුයි.



 
Related Posts with Thumbnails