Ads 468x60px

.

මෙවන් අග්‍රගණයේ සංඝ පීතෘවරයකුගේ අපවත්වීම රටට, දැයට පුරවාලිය නොහැකි පාඩුවකි


මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක ධුරන්දර අග්ගමහා පණ්‌ඩිත සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්‌සී රතනපාල බුද්ධරක්‌තාභිදාන මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹර බැබළුනු අතිශය විරල ගණයේ බුද්ධ පුත්‍රයකු ලෙසින් කළ අප්‍රමාණ ජාතික, ශාසනික මෙහෙවර නිමවා අපවත්ව සිටිති.

ස්‌වකීය පරමාදර්ශී ජීවිතය දෙස, බස, රැස උදෙසාම කැප කළාවූද ජාතික සංස්‌කෘතික අභිලාෂයන් සුපැහැදිලිව පසක්‌ කර ගනිමින් සියලු තන්හි පැණසරව අති උතුම් ශාසනික සම්ප්‍රදානයන් ඉෂ්ට සිද්ධ කළාවූද අප

මහනාහිමියෝ බොදු, නොබොදු සියලු දනන්ගේ නමස්‌කාරයට ද ගෞරවයට ද පාත්‍ර වී වැඩ විසූහ.

භික්‍ෂුත්වයේ අරමුණ ස්‌වාර්ථය නොව පරාර්ථය වේ යන බුද්ධ වචනය අප මහනාහිමියන්ගේ පරමාදර්ශී ජීවන චර්යාවෙහි ආදර්ශය බවට පත්ව තිබිණි. සිව්දෙසින් තමන් වෙත එළඹෙන භික්‍ෂූන් වහන්සේලාට ද රාජ්‍ය පාලනයේ නිරත සකලවිධ දේශපාලකයන්ට ද මඟ නොමඟ පෙන්වීමේ අතිවිශිෂ්ට කුසලතාව මහනාහිමියන් වෙතින් අපි දිටිමු.

මහනාහිමියෝ කිසි විටෙක කීර්ති, ප්‍රශංසා, ලාභ, අලාභ යනාදියෙන් සිය පිළිවෙත වෙනස්‌ නොකළ අභීත ගණයේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්‌ ලෙස ජාතියේම බුහුමනට පාත්‍ර වූහ. ප්‍රිය වචනය උන්වහන්සේ කෙරෙහි නිබඳවම විය. අර්ථචර්යා හා සමානාත්මතා දාන යනාදී ගුණ උතුරා ගිය සෙයකි.

නාහිමියන්ගේ කිත් සිරුර බොහෝ දේ වැඩුණ ද කිසි විටෙක අල්පේච්ඡතා ගුණයෙන් බැහැර නොවූ සේක. ජාතීන් අතර මතු නොව ආගම් අතර ද සංහිඳියාව අත්‍යවශ්‍ය බව මහනාහිමියෝ තිරසාරව දැක්‌වූහ. සංඝ පීතෘවරයකු ලෙස මුවපුරා, හදපුරා බහුමානයෙන් දැක්‌විය හැකි විශිෂ්ට සංඝ පරපුරක අමිල මැණිකක්‌ සේ අපි මේ උතුම් මහනාහිමියන් හඳුන්වමු.

අද ඇතැම් විට කාය වාක්‌ සංයමයෙන් තොරව ආවේගශීලීව හැසිරෙන ඇතැම් භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව මහනාහිමියෝ සංවේගයට පත්වූහ. එමගින් සසුනට වන විපත ගැන ද සඳහන් කළහ. සම්බුද්ධ ශාසනයෙහි චිරස්‌ථායිභාවය උදෙසා විනා වෙනත් අරමුණක්‌ වෙනුවෙන් මහනාහිමියෝ කිසි විටෙක පෙනී නොසිsටියහ.

මෙවන් අග්‍රගණයේ සංඝ පීතෘවරයකුගේ අපවත්වීම රටට, දැයට පුරවාලිය නොහැකි පාඩුවකි. දෙස්‌ විදෙස්‌ පතල කිතුගොසින් සපිරි මහනාහිමියෝ බෞද්ධ ලෝකයටම සාඩම්බරයක්‌ වූහ. ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වය ඉසිලූ අස්‌ගිරි පාර්ශ්වයේ උත්තරීතර පදවිය සඳහා සංසාර පින් වැඩූ අප මහනාහිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. 


එසේම අප සමඟ බුදුමඟ සරන්නා වූ සියලු බොදුනුවන් වෙනුවෙන් ද අන් සියලු ජනකොටස්‌ වෙනුවෙන් ද මෙම අපවත්වීම පිළිබඳව සංවේගය ද නමස්‌කාර පූර්වකව පළකර සිටිමු.
 
Related Posts with Thumbnails