Ads 468x60px

.

''අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්‌.''

ජැන්ඩියට හැඳ පැළඳි කඩවසම් තරුණයෙක්‌ ඡේම්ස්‌බොන්ඩ් වර්ගයේ බෑගයක්‌ද අතින් ගෙන මීගමුව බලා යන බසයකට නැංගේය. එහි ඉදිරි අසුනේ වාඩි විය. දහඩිය දමන්නට වූයෙන් හේ තම බෑගය අසුන මත තබා බිමට බැස්‌සේය.

බසය මගීන්ගෙන් පිරෙද්දී තරුණයා බසයට නැංගේය. තම අගනා බෑගය බිම තබා ඇති අයුරු හේ දුටුවේය. එම අසුනේ උස මහත මැදිවියේ කාන්තාවක්‌ වාඩිවී බුලත් විටක්‌ සපමින් සිටියාය

''මම ඔය සීට්‌ එක බුක්‌ කරලයි බැස්‌සෙ ඇයි මේ බෑග් එක බිම තිබ්බේ?'' තරුණයා මඳක්‌ කෝපයෙන් ඇසීය. ''බිම තිබ්බෙ මට වාඩි වෙන්න' කාන්තාව ගොරෝසු හඬකින් අවඥසහගතව කීවාය.

''සීට්‌ එක ගත්තට කමක්‌ නෑ. ඇයි මේ බෑග් එක බිම තිබ්බේ'' තරුණයා ඇසීය. ''බෑග් එක සීට්‌ එක උඩ තියෙද්දි වාඩි වෙන්න බැහැනෙ ඒකයි බිම තිබ්බේ.'' කාන්තාව පෙරට වඩා උස්‌ හඬින් කීවාය.

''මේ බෑග් එක බොහොම වටිනා එකක්‌'' තරුණයා එහි තිබූ දූවිලි තම ලේන්සුවෙන් පිස දමමින් කීවේය. ''කීයක්‌ විතර වටිනවද මහත්තයා?''

කාන්තාව උපහාසාත්මක ස්‌වරයෙන් ඇසුවාය.

''අට දාහකට වැඩියි. ගිය සතියෙ ගත්තෙ.'' හේ උජාරුවෙන් කීවේය.

''අයියෝ මහත්තයෝ අටදාහක බෑග් එක බිම තිබ්බම මොකද ලක්‍ෂ පනහක්‌ හැටක්‌ වටිනා මේ අලුත්ම බස්‌ එක තියෙන්නෙත් බිමනෙ ඕයි.'' ඕ මහා හඬින් කියද්දී මගීහු මහ හඬින් සිනාසුණහ. වැරැද්දක්‌ කරලත් තව එනවා නිවැරදි වෙන්න තරුණයා උස්‌ හඬින් කීවේය.

''අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්‌.'' කියමින් ඇය නැඟී සිටිද්දි තරුණයා තම බෑගයද ඔසවා ගෙන බසයෙන් බැස යන අයුරු දක්‌නට ලැබිණි.
 
Related Posts with Thumbnails