Ads 468x60px

.

මේ කතාව හිටපු චණ්‌ඩීන්ට සහ ඉන්නා චණ්‌ඩීන්ටයි

ඉන්නා අයගේ චණ්‌ඩිකම් වලට වඩා "හිටපු" අයගේ චණ්‌ඩිකම් වැඩිය. ඒ ඉන්නා අයත් සමාජයේ ගැවසෙන අනිත් අයත් ගැන "හිටපු" අය තුළ හට ගන්නා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සහ තමන් තුළම හටගන්නා "හීන මානය" නිසාය. 

හිටපු අය තුළ හටගන්නා මේ "හීනමානය" තරමක්‌ භයානකය. ඊට හේතුව එවැනි අයෙකුගේ 'චණ්‌ඩිකම්' තරමක්‌ බරපතළ විය හැකි නිසාය.

පසුගිය දවසක කළුබෝවිල මහරෝහලේදී එහි ආරක්‍ෂක නිලධාරිනියකට පහර කන්නට සිදුවූයේ මෙවැනි හිටපු චණ්‌ඩියෙක්‌ අතිනි. වටින් ගොඩින් කීවා මිස කතාව කීවේ නැත. කතාව මෙබඳුය. 


යුද හමුදා විශ්‍රාමික නිලධාරියකු සිය පුත්‍රයා සමග කළුබෝවිල මහ රෝහලට උදෑසන 5.30 ට පමණ පැමිණ ඇත්තේ සිය ලේලියගේ අලුත උපන් දරුවා බැලීමටය. එහෙත් ආරක්‍ෂක නිලධාරීන් පවසා ඇත්තේ රෝගීන් හමුවට යැමට ඇති වේලාව වන්නේ උදෑසන 6.00 ට නිසා
එතෙක්‌ රැඳී සිටින ලෙසය. විටින් විට දරුවන් අතුරුදන් වීමේ සිද්ධීන්ද වාර්තා වීම නිසා රෝහල් ආරක්‍ෂක අංශය සිය රාජකාරිය අකුරටම ඉටු කරන්නේය.

කෙසේ හෝ මෙම "හිටපු" නිලධාරියා හා ඔහුගේ පුත්‍රයා මෙම වැඩ පිළිවෙළට එකඟතාව දක්‌වා නැත. ඒ අතර දෙපාර්ශ්වය අතර බහිස්‌ බස්‌වීමක්‌ ද සිදුවී ඇත. රෝගීන් බලන වේලාව එළැඹි විට හිටපු නිලධාරියාගේ බිරිඳ රෝහල තුළට ගොස්‌ දරුවා පිටතට රැගෙන විත් තිබේ. රෝහල් ආරක්‍ෂාව යටතේ එවැන්නක්‌ සිදු නොවිය යුතු නිසා, එහි සිටි ආරක්‍ෂක නිලධාරිනිය ඒ ගැන අදාළ "හිටපු" විශ්‍රාමිකයාට කරුණු පැහැදිලි කර තිබේ.

ඉන් කුපිත වූ හිටපු යුද හමුදා නිලධාරියාගේ පුත්‍රයා අමානුෂික ආකාරයෙන් එම රෝහල් ආරක්‍ෂක නිලධාරිනියට පහරදී තිබේ. සිදුවීම 24 වැනිදා සිදුවූ අතර 27 වැනිදා වනවිටත් ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය.

'හිටපු' අයට මෙවැනි චණ්‌ඩිකම් පහළ වන්නේ ඔවුන් වීරයන් ලෙස ඔසවා තැබූ සමාජය තුළම වීම විශේෂත්වයකි. එක්‌ අතකින් මේ "චණ්‌ඩිකම්" බෝවන රෝගයක්‌ මෙනි. තාත්තාගෙන් පුතාට, පුතාගෙන් බිරිඳට, යාළු මිත්‍රාදීන්ට පවා මේ චණ්‌ඩිකම් බෝවිය හැකිය. 


සමාජයේ අපි අසන, දකින මෙවැනි චණ්‌ඩිකම් බොහෝ විට අසවල් ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරියකුගේ සමීප ඥතියකුගේ හෝ මිත්‍රයකුගේ හෝ දේශපාලනඥයකුගේ පුත්‍රයකු, ඥතියකු, ගෝලබාලයකු විසින් කළා යෑයි කියෑවෙන අවස්‌ථා බොහෝය.

ප්‍රශ්නය එය නොවේ. මෙවැනි චණ්‌ඩින්ගේ "බයිට්‌" බවට පත්වන්නේ සමාන මට්‌ටමේ අය නොවීමය. ඒ අතර සිටින්නේ කළුබෝවිල මහ රෝහලේ ආරක්‍ෂක නිලධාරිනිය මෙන් සමාජයේ අහිංසකව ජීවත් වන පිරිස ය.

මෙවැනි චණ්‌ඩීන්ට කේන්ති යන්නේ සාධාරණ හේතු ඇතුව නොවේ. රටේ පවතින නීතිය උල්ලංඝනය කිරීමට ඉඩ නොදුන් විටය. මාර්ග නීති කඩමින් යන චණ්‌ඩින්ගෙන් 'ට්‍රැෆික්‌' රාළහාමිලාට වන අකරතැබ්බ ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. 


විවිධ ආයතනවල "සිකියුරිටි" රස්‌සාවේ යෙදෙන, කම්කරු රැකියාවේ යෙදෙන අයට මේ "චණ්‌ඩිකම්" ගැන අත්දැකීම් ඇතුවාට සැක නැත. 'හිටපු' චණ්‌ඩින්ගෙන් අත්දැකීම් ගෙන අහිංසකයන්ට පාට්‌ පෙන්නීම බෝවන රෝගයක්‌ වන්නේ ඒ චණ්‌ඩිකම්වලට නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවුණු විටය. 

රෝගයට හරිහැටි ප්‍රතිකාර නොලැබුණු විට රෝගය බෝවීම වැළැක්‌විය නොහැක. එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීම කළුබෝවිල රෝහලින්ම ඇරඹිය හැක. මෙය හිටපු සහ ඉන්නා චණ්‌ඩීන් සියලු දෙනාටම වලංගුය.
 
Related Posts with Thumbnails