Ads 468x60px

.

විධායක ජනාධිපති ක්‍රමය තබා එයට අයත් මයිල් ගහක්‌වත් අහෝසි කිරීමට කාටවත් අවශ්‍ය නැති බව


දින සියය අදින් අවසන්ය. මේ ලෝක ධාතුව මත අවසන් වූ පළමුවන දින සියය මෙයද? නැත. මෙබඳු දින සියයවල් කෝටි ගණනක්‌ ලෝකය පටන්ගත් කාලයේ පටන් අද දක්‌වා ගෙවී අවසන් විය. එසේ නම් අදින් අවසන් වන දින සියය වැදගත් වන්නේ කොහොමද? 

එසේ වන්නේ මෛත්‍රී පාලනය පටන් ගෙන අදට දින 100 ක්‌ සම්පූර්ණ වන නිසාය. මෛත්‍රී ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මාකට්‌ කරන ලද්දේ දින 100 ඉස්‌සරහට දමාගෙනය. 

මෙයට ඉස්‌සර කවදාවත් කවුරුවත් දින 100 ක්‌ තුළ මේ මේ දේවල් ඉටුකර දෙනවා යයි කියමින් දේශපාලන ව්‍යාපාර දියත් කර නැත. එබැවින්, අතීතයේ පටන් දින සියයවල් කොපමණ ගෙවුණත් අදින්
අවසන් වන දින සියය කතා කරන්නට තරම් වටිනා මාතෘකාවක්‌ වන්නේය.

මෛත්‍රී ජනාධිපතිතුමා සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය පටන් ගන්නා ලද්දේ මෛත්‍රී පාලනයක්‌ - සිය දිනකින් අලුත් රටක්‌ යයි කියමිනි. මෙහි ප්‍රථම පියවර මෛත්‍රී ජනාධිපති වීමය. 


දෙවැන්න රනිල් වික්‍රමසිංහ අගමැති වීමය. තුන්වැන්න අතුරු අයවැයක්‌ ගෙනවුත් ජීවන වියදම අඩු කිරීමය. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය බලාත්මක කිරීම සහ ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම ඊළඟ කාරණාය. 

ඒ අනුව රවි කරුණානායක මුදල් ඇමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය මගින් ගෑස්‌, පෙට්‍රල්, ටින්මාලු, කිරි පිටි, යනාදියද කහ සහ කොත්තමල්ලිද මිල අඩු කරන ලදී. අය වැය පැමිණි දවසේ මෙරට ජනයා අයවැයට මහත්සේ ප්‍රශංසා කරන්නට වූහ. 

දෙවැනි දවසේදී කොත්තමල්ලි සහ කහ මිල අඩු කිරීම මගින් ජනතාවට සහනයක්‌ වී නැති බවත් කොත්තමල්ලි යනු මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය නොවන බවත් කියමින් ඔවුහු මැසිවිලි නගන්නට වූහ. මාසයක්‌ ගතවන තැන ඔවුහු සමස්‌ත අයවැයටම බණින්නට පටන් ගත්හ. ඊළඟට ඔවුහු එය කොත්තමල්ලි අයවැයක්‌ බව කීහ. 

රනිල්ගේ ආණ්‌ඩුව කිරිපිටි, ඉන්ධන, ගෑස්‌, ටින් මාලු යනාදියෙහි මිල අඩුකළ බව කාටවත් මතක නැත. ඒවා මතක්‌ කරන්නටද කාටවත් වුවමනා නැත. මන්ද මිනිසුන් ජීවත් වන්නේ ගෑස්‌, ඉන්ධන, ටින්මාලු, කිරිපිටි සහ කොත්තමල්ලි යනාදියෙන් පමණක්‌ නොවන නිසාය. 

ජීවත්වනු පිණිස ඔවුන්ට තවත් බඩු භාණ්‌ඩ දහසකුත් එකක්‌ හෝ වඩාත් වැඩි ගණනක්‌ අවශ්‍යය. මාසේ අන්තිමට බඩු ලැයිස්‌තුව ගන්නට කඩයට ගිය විට අයවැයෙන් තමන්ට වාසියක්‌වූ බවක්‌ ඔවුනට හැඟෙන්නේ නැත.

දින සියයේ වැඩසටහන යටතේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බව ඡන්ද රැස්‌වීම් වලදී කියන ලදී. එහෙත් ඡන්දයෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයට අයත් අත්තනෝමතික බලතල පමණක්‌ අඩු කරන බව කියන ලදී. 


මේ ක්‍රියාවලියේ නම 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය ය. එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දින පාර්ලිමේන්තුවේ සත්‍යග්‍රහයක්‌ පැවැති බවත් සන්ධාන මන්ත්‍රීවරුන් බිම ඉඳගෙන භාවනානුයෝගීව සිටි බවත් අපි සියලු දෙනාම දනිමු. 

මේ අනුව පෘථග්ජන අපට නම් සිතුනේ විධායක ජනාධිපති ක්‍රමය තබා එයට අයත් මයිල් ගහක්‌වත් අහෝසි කිරීමට කාටවත් අවශ්‍ය නැති බවය. විධායක ජනාධිපති ක්‍රමය දින සියය තුළ අහෝසි කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ යුතුය. එම විසුරුවා හැරීම නියමිතව ඇත්තේ අදටය. එහෙත් එය එසේ වන්නේ නැත. දින සියය ගෙවී යන්නේ ඒ අන්දමටය.
 
Related Posts with Thumbnails