Ads 468x60px

.

මිල පාලනය හරිහැටි සිදුකිරීමට නම් රජය දැන් කළ යුතු දේ


පාන් මිල සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක්‌ ඇති වී තිබේ. පාන් ගෙඩියක බර කිරාබැලීම සඳහා මේ වන විට පාන් විකුණන සෑම වෙළෙඳ සලකම තරාදියක්‌ පැවතීම පාරිභෝගික අධිකාරිය විසින් අනිවාර්ය කර තිබේ. පාන් විකුණන වෙළෙඳසල් වල තරාදි තැබීම මගින් පමණක්‌ මේ ප්‍රශ්නයට විසඳුම් නොලැබේ.

පාන් ගෙඩියක නියමිත බර විය යුත්තේ ග්‍රෑම් 454 කි. එහෙත් අද වනවිට බොහෝ ස්‌ථානවල අලෙවි කරන්නට ඇති පාන් ගෙඩිවල බර ග්‍රෑම් 275 සිට ග්‍රෑම් 350 අතරය. 


එබැවින් කළ යුතුව ඇත්තේ ග්‍රෑම් 454 ක පාන් ගෙඩියක මිල රුපියල් පනහක්‌ නම් ඒ අනුව ඊට වඩා අඩු බර පාන් ගෙඩියක මිල බර අනුව
ගණනය කර ගෙවිය යුතු බවට පාරිභෝගික අධිකාරිය මගින් නීති පැනවීමය.

අනෙක්‌ අතට අද වනවිට පාන් විවිධ නම්වලින් සකස්‌ කර බෑග්වල දමා සිතූ සිතූ මිල ගණන්වලට විකුණනු දක්‌නට ලැබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ පාන් ගෙඩියක මිල රුපියල් පනහේ සිට රුපියල් 160 - 170 දක්‌වා විවිධය. ඇතැම් පාන් වර්ග විශේෂ පාන් වර්ග බවට සඳහන් කර තිබේ. මේ නිසා සියලු ආකාරවල පාන් සඳහා උපරිම මිලක්‌ නියම කළ යුතුය.

අද බේකරි බොහොමයක කිසිදු බේකරි නිෂ්පාදනයක නියමිත බරක්‌ නොමැත. බේකරි නිෂ්පාදන වල බර හා ප්‍රමාණය එන්න එන්නම අඩුවන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති. එම නිසා වහාම කළයුත්තේ සියලු ආකාරවල බේකරි නිෂ්පාදන සඳහා නියමිත බරක්‌ හා මිලක්‌ නියම කිරීමය.

මිල සම්බන්ධයෙන්ද එක්‌ එක්‌ බේකරියේ පවතින්නේ පුදුමාකාර වෙනසකි. ඇතැම් බේකරියක මාළුපාන් ගෙඩියක මිල රුපියල් විස්‌සක්‌ වෙද්දී තවත් බේකරියක රුපියල් පනහකි. තවත් එකක රුපියල් අසූවකි. සියලු ආකාරයේ බේකරි නිෂ්පාදනවල මිල ගණන් සම්බන්ධයෙන් ඇත්තේ මෙවැනි තත්ත්වයකි.

ආණ්‌ඩුව ජනතාවට සහන ලබාදීම සඳහා තිරිඟු පිටිමිල අඩු කරන ලදී. එහෙත් එම සහනය ජනතාවට නිසි පරිදි ලැබුණේ නැත. එම සහනය හිමිකර ගත්තේද බේකරි හිමියන්ය. 


රජය පැත්තෙන්ද සිදුවූ අඩුපාඩුවක්‌ වුයේ යම් භාණ්‌ඩයක්‌ සඳහා මිල නියම කරනවිට එය කවර ආකාරයෙන් හෝ අලෙවි කළද එහි උපරිම මිලට වඩා අලෙවි කළ නොහැකි පරිදි නීති නොපැනවීමය.

අනෙක්‌ අතට රජය විසින් පසුගිය අතුරු අයවැයෙන් ලබාදුන් සහන තවමත් ජනතාවට ලැබී නැත. කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සඳහා විශාල බදු සහන රජය ලබාදුන් අතර රජයේ බලාපොරොත්තුව වූයේ කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක්‌ රුපියල් ලක්‌ෂ දෙකහමාරකින් පමණ අඩු කිරීමය. එහෙත් එම සහනය තනිකරම මහා පරිමාණ සමාගම් විසින් ගිල ගන්නා ලද අතර ජනතාවට සුළු සහනයක්‌ පමණක්‌ හිමිවිය.

රජය විසින් ආප්ප, කිරිතේ සහ කහට තේ මිල ගණන් සඳහා පාලන මිලක්‌ හඳුන්වා දුන්නද අද වන විට එම මිල ගණන්වලට එම ද්‍රව්‍ය මිලදී ගත හැකි ස්‌ථාන රට පුරා ඇත්තේ අතලොස්‌සකි. 


එම මිල ගණන්වලට ජනතාව එම ද්‍රව්‍ය ඉල්ලා සිටි විට වෙළෙන්දන් පවසන්නේ එම මිලට රජයෙන් ඒවා ඉල්ලා ගන්නා ලෙසය. එම ස්‌ථාන වැටලීමට කිසිදු පියවරක්‌ රජයේ පැත්තෙන් ගැනෙන්නේද නැත.

රජය විසින් ඉන්ධන, ගෑස්‌, සීනි, ටින්මාළු ආදී ද්‍රව්‍ය රැසක බදු අඩුකර මිල අඩුකර ජනතාවට සහන සැපයීමට උත්සාහ ගත්තද ව්‍යාපාරික මාFiයාව විසින් එම සහන ජනතාවට ලබානොදුන්නේය. Riජුව මිල අඩුකළ ද්‍රව්‍ය හැර සෙසු භාණ්‌ඩ හා සේවා මිල අඩුවීමක්‌ සිදුනොවීය. 


එයින් සිදුවූයේ රජයේ බදු ආදායම අඩුවී ව්‍යාපාරිකයන් තවත් තර වීමය. එම නිසා රජය දැන් කළ යුත්තේ මේ අඩු කිරීම් සම්බන්ධ පසු විපරමකි. එසේම හැකි තරම් භාණ්‌ඩ සඳහා මිල පාලනයක්‌ද ඇති කළ යුතුය. එසේම එම මිල පාලනය හරිහැටි සිදුකිරීම සඳහා පාරිභෝගික අධිකාරිය වැනි ආයතන තවදුරටත් ශක්‌තිමත් කළ යුතුව තිබේ.
 
Related Posts with Thumbnails