Ads 468x60px

.

නංගි.. ඔයාට එන හැඟීම් එක්‌ක මට හයියෙන් ගහන්න කියලා... සනත් අයියා කිව්වා - සේමිණි


සේමිණි ඉද්දමල්ගොඩ මේ දිනවල ප්‍රවීණ නළු සනත් ගුණතිලකගේ 'සිනහව අතරින්' චිත්‍රපටයේ 'කුමාරි' ලෙස දක්‍ෂ රංගනයක නියෑළෙන්නීය. 'කුමාරි' සේමිණිගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්‌ බවද ඇතැම් විචාරකයෝ මේ වන විටත් අදහස්‌ පළ කරති.

කුමාරි චරිතය ඔස්‌සේ සිය උපරිම රංගන දක්‍ෂතා පෙන්වන සේමිණි ඉද්දමල්ගොඩ ශිල්පිනිය සමඟ කළ සාකච්ඡාවක්‌ මතු පෙළ ගැසේ.

කුමාරි... මේ දවස්‌වල තිරයේ ඔබව දකින චරිතය... රසිකයන්ට වගේම ඔබටත් මේ චරිතය පිළිබඳ විශේෂත්වයක්‌ ඇති?

ඔව්... කුමාරි කියන්නේ සාමාන්‍ය ගැහැනියක්‌ම නොවේ. සාමාන්‍ය ගැහැනියක්‌ ගත්තාම බොහෝ විට දෙපැත්තට වැනෙනවා. ඒත් කුමාරි

එහෙම නොවේ. තීරණයක්‌ ගත්තොත් ඒ තීරණයෙන්ම ඉන්න... වෙනස්‌ නොවන චරිතයක්‌.

ඔබ මේ චරිතයට කැමැති වෙන්න හේතුව?

කුමාරි... මුළු ලෝකෙම කාන්තාවන් තුළ සිටින චරිතයක්‌. හොඳ නරක, වෛරය, ක්‍රෝධය, කුහකකම වගේම ආදරය, කරුණාව යන හැම ගුණයක්‌ම එකට එකතුවන චරිතයක්‌. ඒ නිසා මම කුමාරිට කැමතියි.

ඒ කියන්නේ මෙවන් චරිත මීට පෙර ලැබී නෑ?

මීට පෙර සුදු හංසි චිත්‍රපටයේ මේ වගේ චරිතයක්‌ කළා. ඒත් ඊට වඩා කුමාරි වෙනස්‌.

කුමාරි... ඔබට අභියෝගයක්‌ වුණාද?

මෙහෙමයි... කුමාරි රඟපාන්න හුඟාක්‌ අමාරු වුණේ නෑ. ඒ නිසා මහා විශාල අභියෝගයක්‌ වුණේ නෑ. සාමාන්‍ය ජීවිතයේදීත් මගේ චරිත ලක්‍ෂණ කුමාරිට සමානයි. කුමාරි තුළ වගේම මා තුළත් ආදරය තියෙනවා. ඒ වගේම තමයි මටත් හරියට කේන්ති යනවා. ඒ නිසා මේ චරිතය රඟපාන්න අපහසු වුණේ නෑ. සනත් අයියා (සනත් ගුණතිලක) අවශ්‍ය සහාය මට ලබා දුන්නා.

කොහොමද සනත් ගුණතිලකගේ අධ්‍යක්‍ෂණය ඔබ දුටුවේ?
සනත් ගුණතිලක කියන්නේ අධ්‍යක්‍ෂවරයෙක්‌ වගේම නළුවෙක්‌නේ. ඔහුට හොඳ අත්දැකීම් තියෙනවා. ඒ නිසා සනත් අයියා නළු නිළියන් මෙහෙයවන ක්‍රමය වෙනස්‌. දර්ශනතළයේදී විතරක්‌ නොවේ ඔහු අප සමඟ ගනුදෙනු කරන්නේ. උදේ පාන්දර දැකපු වෙලාවේ ඉඳලා ඔහු අපිව මෙහෙයවනවා.

මේ චිත්‍රපටයේ ඔබට රඟපාන්න අසීරුම අවස්‌ථාවක්‌ තිබුණද?

ඔව්.. සනත් ගුණතිලකගේ කම්මුලට ගහන දර්ශනය අමාරු වුණා. ඔහු සිනමාවේ දැවැන්තයෙක්‌. එහෙම දැවැන්තයෙකුට ගහන්න පුළුවන්ද. අත දිග ඇරල කම්මුලට ගහන්න තියෙන්නේ. එහෙම ගැහුවොත් තදට වදිනවා. ඒත් ඒක කරන්න බැහැ කියලා මම කිව්වා. 


නෑ... නෑ.... නංගි.. ඔයාට එන හැඟීම් එක්‌ක මට හයියෙන් ගහන්න කියලා... සනත් අයියා කිව්වා. මම ඉතින් අත දිග ඇරලා කම්මුල් පහරක්‌ දුන්නා. සනත් අයියගෙ රෝස පාට කම්මුල රතුපාට වුණා... මගේ අතේ ඇඟිලි පහර තුනක්‌ සනත් අයියගෙ කම්මුලේ තිබුණ...

මේ චරිතයට සනත් ඔබවම තෝරාගන්න හේතුවක්‌ තිබුණද?

දවසක්‌ ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මියගේ ප්‍රසංගයක්‌ බලන්න මම ගියා. මම අසුන් ගත්තේ සනත් අයියාත්, මාලිනී අක්‌කාත් මැද. සනත් අයියා මාලිනී අක්‌කා අතීතය ගැන කතා කළා. හරිම සුන්දර කතා බහක්‌. මමත් ඒ කතාබහට එකතු වුණා. 


ඒ කතා කරද්දී තමයි සනත් අයියාගෙ හිතට මා ගැන අදහසක්‌ ඇවිත් තියෙන්නේ. පසු දවසක මට කතාකරලා කිව්වා... "නංගි ඔයා මගේ ඊළඟ චිත්‍රපටයේ කුමාරිට හරි යනවාමයි කියා මට හිතුනා.. ඒ හිතුනේ එදා අපි හමුවුණ දවසේ කියලා."

ඉන්පසු චරිතය ගැන සාකච්ඡා කළා?

නෑ... ඉස්‌සෙල්ලාම සනත් අයියා මට ලියුමක්‌ දුන්නා. කුමාරි මොන විදිහේ කෙනෙක්‌ද... කුමාරිගේ ගති ලක්‍ෂණ සහ දේහ ලක්‍ෂණ මොනවද කියා ඒ ලියුමේ ලියා තිබුණා. නංගී ධම්මිකගෙනුත් අහන්න මේ චරිතය කරනවට කැමතිද කියලා. ලියුම අවසානයේ ලියා තිබුණා.

ඔබේ සැමියා ධම්මික ඉද්දමල්ගොඩ කැමැති වුණාද ඔබ මේ චරිතය රඟපානවට?
මම ධම්මිකගෙන් ඇහුවා. සනත් අයියගෙ ලියුමත් පෙන්නුවා. එයා අකැමැති වුණේ නෑ....

ඔබ දැන හිටියද මේ චිත්‍රපටයේ කුමාරි සනත්ගේ සැබෑ ජීවිතයේ චරිතයක්‌ කියලා?

විශේෂයෙන් නොකිව්වාට හැමෝටම දැනෙනවා චිත්‍රපටය බලද්දී කුමාරිත් ඉන්නවා. විමලුත් ඉන්නවා. රිචඩ් පවා ඉන්නවා කියා. ඒක ඔයාටත් දැනෙන්න ඇති.

රිචඩ්ට රඟපෑ ක්‍රිස්‌ගේ රංගනය ගැන මොනවද හිතෙන්නේ?

ඇත්තටම ක්‍රිස්‌ හොඳ පුද්ගලයෙක්‌. ආධුනිකයෙක්‌ විදිහට ඔහු මා සමඟ සාකච්ඡා කළා. මා දුන් උපදෙස්‌ ඔහු හරියටම ධාරණය කරගත්තා. අපි කතා බහ කරලා තමයි කළේ. ක්‍රිස්‌ ඒ චරිතය පුළුවන් තරම් උපරිමයෙන් කර තිබෙනවා. ඒක තාත්විකයි.

හොඳයි... ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු?

ප්‍රසන්න ජයකොඩිගේ "28" චිත්‍රපටය එන්න තියෙනවා. ඒ චරිතය මීට වඩා හාත්පසින්ම වෙනස්‌. මම එහි මළමිනියක්‌. කුමාරිට වඩා පරස්‌පර චරිතයක්‌. ඒ ඇරෙන්න වෙන වැඩ ඉදිරියේදී භාර අරගෙන නෑ. මේ දවස්‌වල රසිකයා මාව කුමාරි ලෙස දකිනවා. තව ටික දවසකින් 'මළමිනියක්‌' විදිහට 28 චිත්‍රපටයේ දකිනවා.

ඇයි ටෙලි නාට්‍යවලින් ඉවත්වුණේ?

හොඳ වැඩක්‌ ලැබුණේ නෑ. ඒ කියන්නේ හොඳ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ හොඳ චරිතයක්‌ කරන්න ආරාධනාවක්‌ නෑ. කොහොමත් දවස්‌ කුලියට ටෙලි නාට්‍යවල වැඩ කරන්න මම කැමැති නෑ. ඊට වඩා හොඳයි පැත්තකට වෙලා ඉන්නවා.

ඔබ දැන් ක්‍ෂේත්‍රයේ අත්දැකීම් බහුල නිළියක්‌. චිත්‍රපටයක්‌ අධ්‍යක්‍ෂණය කරන්න හිතිලා නැද්ද?

අපෝ... නෑ. කිසිම දැනුමක්‌ නෑ. මම චිත්‍රපටයක්‌ අධ්‍යක්‍ෂණය කළොත් ඒක 'ඇක්‌ෂන් කට්‌' විතරක්‌ වේවි. ඒ නිසා ඒ වැඩේට අත ගහන්න යන්නේ නෑ...
 
Related Posts with Thumbnails