Ads 468x60px

.

කුරුණෑගල බියර් දන්සලක්


වෙසක් සමයේ පැවැත්වෙන අනේක විධ දන්සල් අතරේ ඊයේ (6දා) උදෑසන විවෘත වූ හදිසි බීර දන්සලකින් උපරිම ප්‍රයෝජන ගත් කුරුණෑගල ප්‍රදේශවාසීහු බීර බෝතල් දුසිම් ගණනින් සිය නිවෙස් වෙත රැගෙන ගියහ.

මේ හදිසි බීර දන්සල විවෘත වූයේ බීර බෝතල් පුරවා ගත් කන්ටේනයක් හදිසි අනතුරකට ලක්වූ අවස්ථාවේදීය. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ

බඩගමුව, රක්ෂිත වනාන්තරය මැදින් දිවෙන මාර්ගයෙන් ඉවතට පැනීම නිසා ඊයේ අලුයම 4ට පමණ මෙලෙස අනතුරට ලක්වූයේ කොළඹ සිට දඹුල්ල බලා බීර බෝතල් තොග පුරවාගත් කන්ටේනර් රථයකි. 

ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටී ඇති බීර ලොරිය රියැදුරාට පාලනය කර ගත නොහැකි වීමෙන් මාර්ගය අයිනේ පිහිටි තාවකාලික වෙළෙඳසලක්ද බිමට සමතලා කරමින් ගසක හැපී නතර වී තිබිණි.

ලොරියෙහි ප්‍රවාහනය කරමින් තිබූ බීර පිර වූ බහාලුම කුරුණෑගල දඹුල්ල මාර්ගය හරහා වැටී තිබිණි.


අනතුර හේතුවෙන් බහාලුම කුඩුපට්ටම් වී එහි අසුරා තිබූ බීර බෝතල් විශාල ප්‍රමාණයක් කුඩු වී විනාශ වී තිබූ නමුත් වැඩි ප්‍රමාණයක් නිරුපද්‍රිතව තිබෙනු දැක ගත හැකි විය. පසුව ඒ ස්ථානයට එක්වූ ප්‍රදේශවාසීන් විසින් විනාශ වී ගිය බහාලුම තුළ ඉතිරිව තිබූ බීර බෝතල් සහ ටින් එළියට ගෙන පානය කරන්නටත්, නිවෙස්වලට ගෙන යන්නටත් වූහ.


ඊයේ දහවල් වන විට මේ ආරංචිය පැතිරීමෙන් වාහනවලින් පවා එම ස්ථානයට පැමිණි ජනතාව බියර් බෝතල් දුසිම් ගණනින් වාහනවලට පටවාගෙන ගෙන ගියහ. ඇතැම් පුද්ගලයන් එම ස්ථානයේදීම බියර් පානය කරන ආකාරයත්, ඇතැමෙක් බීමතින් හැසිරුණු ආකාරයත් දැක ගත හැකි විය.

බියර් බහාලුම මාර්ගය අවහිර වන අයුරින් පතිත වී තිබීම නිසා ඊයේ අලුයම සිටම කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ අධික රථවාහන තදබදයක් පැවැතිණි. අනතුරට පත් බහාලුම මාර්ගයෙන් ඉවත් කර වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන විට ඊයේ මධ්‍යහ්නයට ආසන්න වී තිබිණි. 


අනතුරින් තුවාල ලැබූ ලොරි රථ රියැදුරා, එහි සහායකයා සහ විනාශයට පත් වූ තාවකාලික වෙළෙඳසල තුළ නිදා සිටි කාන්තාවක් හා කුඩා දරුවන් දෙදෙනකුද තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති. කුරුණෑගල පොලිසිය අනතුර පිළිබඳ වැඩිපුර පරීක්ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails