Ads 468x60px

.

ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ෆේස්බුක් හොර මාධ්‍යවේදියා


ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ මාධ්‍ය වේදීන්ගේ මුහුණුවලට සිය මුහුණ ව්‍යාජව ඇතුළු කර රූපවාහිනී ආයතනයක ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක ශිල්පියකු, ගුවන් විදුලි නාලිකාවක අධ්‍යක්ෂවරයකු, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු ලෙස ව්‍යාජව
පෙනී සිටි අයෙකු නුවරඑළිය මූලස්ථාන පොලීසිය මගින් පසුගිය 25 වනදා සවස අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කාන්තාවකගෙන් ලද පැමිණිල්ලක් අනුව කපුහෙම්පල අක්මීමන ප්‍රදේශයේ පදිංචි ප්‍රියංග දේවප්‍රිය සිරිවර්ධන නමැති තිස් හැවිරිදි පුද්ගලයකු මෙසේ නුවරඑළියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මුහුණපොතේ තමන් ඉහත තනතුරු දරන බවත් කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති බවත් සඳහන් කොට ඇත.

අදාළ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට මෙම පුද්ගලයාගේ මුහුණ ව්‍යාජ ලෙස ඇතුළු කොට නිර්මාණය කරන ලද ඡායාරූප ඔහුගේ මුහුණු පොතේ ගිණුමට එක්කොට ඇති අතර එම ඡායාරූප නිසා බොහෝ දෙනෙකු රැවටී ඇති බවට කරුණු වාර්තා වී තිබෙනවා.

මොහු මීට මාස කිහිපයකට ඉහතදී මුහුණු පොතෙන් හඳුනාගත් තරුණියක මාර්ගයෙන් නුවරඑළියට පැමිණ ඇති අතර එහිදී නුවරඑළිය නගරාධිපතිවරයාද සම්මුඛ සාකච්ඡාවකට එක්කොටගෙන ඇත.

මොහු ව්‍යාජ ලෙස සකස් කරගන්නා ලද මාධ්‍ය හැඳුනුම්පත් සහ හඳුනා ගැනීමේ කාඩ්පත් භාවිත කරමින් බොහෝ පුද්ගලයින් රවටා ඇතැයි අනාවරණය වී තිබෙනවා. නුවරඑළිය මහ නගර සභා සෞඛ්‍ය ඒකකයට ද මොහු එක් අවස්ථාවක බලපෑම් කොට ඇති අතර නුවරඑළිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අලුත් අවුරුදු උත්සවයක් සඳහා මොහු විසින් අදාළ මාධ්‍ය ආයතනයේ අනුග්‍රාහකත්වය ලබාදී තිබේ.

එම මාධ්‍ය ආයතනයේ ලාංඡනය යොදා සහතිකපත් පවා නිර්මාණය කොට උත්සවයේදී ලබාදී ඇත. එසේම මොහු කළුබෝවිල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයකු බව පවසා අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වෛද්‍ය සායනයක්ද පවත්වා ඇතැයි වාර්තා වනවා. මෙම පුද්ගලයා විවාහක එක්දරු පියෙකු වන අතර මොහු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලීසිය විසින් සිදු කරනවා.
 
Related Posts with Thumbnails