Ads 468x60px

.

"රජයේ ප්‍රවාහන සේවය, පාසල්, රෝහල් නොදකිං - රජයේ රැකියා" - මරු.......

අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවල සුලභව දැකිය හැකි විහිළු කතාවක්‌ තිබේ. එයින් කියෑවෙන්නේ රාජ්‍යසේවය ගැනය. එහි සඳහන් වන්නේ මෙසේය.

"රජයේ ප්‍රවාහන සේවය" - නොදකිං
" රජයේ පාසල්" - නොදකිං
"රජයේ රෝහල්" - නොදකිං
"රජයේ රැකියා" - මරු.......


"රජයේ රැකියා මරු" කියා රජයේ සේවයට බැඳෙන බොහෝ දෙනෙකුට අවසානයේ රටේ ජනතාවගෙන් අසන්නට ලැබෙන්නේ නොදකිං කියනවාටත් වඩා නරක "වාසුදේව" ගණයේ කුණුහරුපය. රජයේ ආයතනයකින් සේවය ලබා ගැනීමට ගොස්‌ "කට්‌ට" කා පුරුදු කාටත් එය සාධාරණ යෑයි සිතෙනු නිසැකය.

"රජයේ ආයතනයකින් වැඩක්‌ කරගන්නට ගියොත් එපා වෙනවා."... වැනි කතාබහ මීට ටික කලකට ඉහතදී බොහෝ සෙයින් අසන්නට ලැබුණේ එහෙයිනි. එහෙත් මේ වනවිට ඒ තත්ත්වයේ යම් වෙනසක්‌

ඇතිව තිබේ. විශේෂයෙන් ජනතාවගේ පාර්ශ්වයේ සිට රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට අවශ්‍ය පියවර රැසක්‌ ගන්නා බව කිව යුතුය.

පසුගිය දිනෙක රාජ්‍ය පරිපාලන, ප්‍රජාතාන්ත්‍රීය පාලනය සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් එහි ලේකම් ඡේ. දඩල්ලගේ මහතාගේ අත්සනින් නිකුත් කරන ලද චක්‍රලේඛයක්‌ මගින් විශේෂිත දැනුම්දීමක්‌ කර තිබිණි. 


ඒ අනුව රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සියලුම රාජ්‍ය ආයතන මහජනතාව සමඟ කරනු ලබන ලිපිගනුදෙනුවලදී "ඔබේ සේවය සඳහා කැපවූ" යන පාඨය ලිපිය අවසානයේ සටහන් කළ යුතුය. 

එපමණක්‌ නොව ඒ ඒ ජනතාවගේ ගැටලුවලට පිළිතුරු සටහන් යෑවීමේදී මවු භාෂාවෙන් එය සටහන් කිරීමද කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ දක්‌වා තිබේ. මෙය වඩාත් අනගි සේම ඉදිරිගාමී පියවරක්‌ ලෙස අපි දකින්නෙමු.

එමෙන්ම එම ලිපි සඳහා සතියක්‌ ඇතුළත ලිපිය ලද බවට පිළිතුරක්‌ ද සති හතරක්‌ ඇතුළත ඒ සඳහා විසඳුම් සහිත පිළිතුරු ලිපිය යොමු කිරීමට ද චක්‍රලේඛය මගින් දන්වා ඇත.

තවදුරටත් එහි සඳහන් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ දිවා භෝජනය විවේකය විනාඩි 30 කට පමණ සීමා විය යුතු බවය.

අදින් දශක පහකට පමණ ඉහතදී රාජ්‍ය නිලධරයකු ජනතා ප්‍රශ්න විසඳීමෙහි ලා දැක්‌වූ සමීපතම, සුහදශීලී හා ක්‍රියාශීලී පිළිවෙතක්‌ තිබිණි. වර්තමානයේ ද නැවත ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එවැනි පසුබිමකි.

"යහ පාලනය" ලෙස අර්ථගන්වන්නෙත්, මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නෙත් එම විධිමත් ක්‍රියාවලියයි. රාජ්‍ය සේවයේ නියුතු සියල්ලන්ටම පාහේ මේ වනවිට දැඩි වගකීමක්‌ පැවරී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඒ "යහපාලනය" රාජ්‍ය සේවය තුළ වඩාත් සාර්ථක ලෙස ව්‍යාප්ත කිරීමටත්, ඒ ඇසුරින් රාජ්‍ය සේවයේ ගුණාත්මක බව වර්ධනය කිරීමටත් පූර්ණ වශයෙන් දායකත්වය ලබා දීමය.

රාජ්‍ය සේවයේ නියුතු බොහෝ දෙනෙක්‌ රාජකාරියට පැමිණෙන්නේ උදේ කෑමට, තේ පානයට, දහවල් කෑමට, සවස තේ පානයට සහ සාප්පු සවාරියේ යැමට දැයි සිතෙන තරමටම රාජ්‍ය සේවයේ සේවා ගුණාත්මක බව පිරිහී තිබිණි. 


සේවා සපයා ගැනීම පිණිස යම් රාජ්‍ය ආයතනයකට පැමිණෙන අයෙකුට දින කිහිපයක්‌ නොව සති ගණනින් සිය කාරිය ඉටු කර ගැනීමට නොහැකි අවස්‌ථා ද බොහෝ ය. සති කිහිපයක්‌ රස්‌තියාදු කර අවසානයේ එය කළ හැක්‌කේ එම ආයතනයට නොව වෙනත් රාජ්‍ය ආයතනයකට බව කියා හරවා යෑවූ අවස්‌ථා ද දුසිම් ගණනිනි.

රාජ්‍ය තත්ත්වය පිළිබඳව මේ වන විට රටේ ජනතාව තුළ යම් පමණක හෝ කලකිරීමක්‌ ඇත්නම් එය නිවැරැදි කළ හැක්‌කේ රාජ්‍ය සේවකයන්ටමය. ඒ ජනතාව අතර රාජ්‍ය සේවකයාගේ ම ඥතියා, හිතවතා, මිත්‍රයා සිටින බව අමතක නොකළ යුතුය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ම ඇති දෙපාර්තමේන්තුවක්‌ වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ "වෙනස" ඇති කරන්නේ චක්‍රලේඛය නිකුත් වීමට පෙර සිටම බව සටහන් කළ යුතුය.

පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයේ පරිදි "ජනතා සේවය සඳහා කැපවූ" යන්න රාජකාරි ලිපියක අග සටහන් කිරීමෙන් නොනැවතී එය ප්‍රායෝගික ක්‍රියාදාමයක්‌ බවට පත් කරන්නට කටයුතු කළ යුතුය.
 
Related Posts with Thumbnails