Ads 468x60px

.

කුඩු ජාවාරමුන්ට මරණ දඬුවම යන කතාවට ජනතාව 'හුරේ' දමන දවස


ඊයේ පුවත්පත්වල 'කුඩු' ගැන අලුත්ම අලුත් ප්‍රවෘත්ති දෙකක්‌ පළ වී තිබුණා. ඉන් එක්‌ ප්‍රවෘත්තියක සඳහන් වූයේ මීගමුවෙන් මහ කුඩු මොළ කාරයන් හයදෙනකු විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් බවයි.

(මෙවැනි කාඩ, අං ගිලින ලද කපටියන් 'මොලකරුවන්' ලෙස හැඳින්වීම ගැන අපි තදින්ම විරුද්ධ වෙමු. එය වෙනම කතාවකි.) ඊළඟ ප්‍රවෘත්තිය
කොලොන්නාවේදී කරන ලද විශේෂ මෙහෙයුමකින් පසුව කුඩු ජාවාරම් කරුවන් 44 දෙනකු අත්අඩංගුවට ගත් බවයි. ගණන සුළු පටු නැත. 


කුඩු බිස්‌නස්‌ කරන එවුන් මෙපමණ ප්‍රමාණයක්‌ නම් කුඩු ගසන එවුන්ගේ ප්‍රමාණය කොතරම් දැයි අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ සියලු කුඩුකාරයන් වේයන් මතුවන්නාක්‌ මෙන් එක දිගට හුඹස්‌ වලින් එළි බසින්නට පටන් ගත්තේ දැනට මාස කිහිපයක පමණ සිටය. ඒ කුඩු ජාවාරම්කරුවන් මර්දනය කර ඇතැයි දිගින් දිගටම කී පසුබිමකය.

රටේ හිරගෙවල් මේ වන විට සුපිරි කුඩු බිස්‌නස්‌කාරයන්ගේ සුපිරි නවාතැන් පළවල් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. සිපිරි ගෙවල් පිරී ඇත්තේ කුඩු ගෙන්වන, බෙදන සහ කුඩු ගසා නන්නත්තාර වන පිරිසගෙනි. කුඩු ගසන්නන්ගේ 'ආතල්' කැඩුනු නමුත් වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමේ ආතල් එක අපි මාස ගණනක්‌ තිස්‌සේ අත් වින්දෙමු.


එමගින් මෙරට සියලු කුඩු සමාගම් වඳ වි ගියා යෑයි සිතූ නමුත් තත්ත්වය එසේ නොවන බව දැන් පෙනෙන්නට තිබේ. 

වෙලේ සුදා සහ සහෝදරයෝ සමාගමේ සමහර අධ්‍යක්‍ෂවරු තවමත් අත්අඩංගුවට පත්වෙමින් සිටිති. වැලිකඩ පිහිටුවා ඇති සමහර කුඩු සමාගම්වල සභාපතිවරු ඇතුලේ නමුත් පරිපාලන නිලධාරීන් එළියේ ය. එහෙයින් කුඩු ජාවාරම නැවැත්වීම ලෙහෙසි නැත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම නියම කිරීම සුදුසු යෑයි ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මේ අතර වාරයේ ය. අත් දෙකම උස්‌සා අපිදු එම යෝජනාවට එකඟතාව පළ කරන්නෙමු. අප කියන්නේ මරණ දඬුවම නියම කිරීමෙන් නො නැවතී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම දක්‌වා එම යෝජනාව වැඩිදියුණු කරන ලෙස ය. 


එවිට මත්ද්‍රව්‍ය භාවිතා කර නිවස, ගම, රට විනාශ කරන කෂඩයන් සියල්ලන්ගේම නෑදැ හිතවතුන් අලුගෝසු තනතුරට ඉල්ලුම් කරනු නිසැක ය. ඒ නිසා රටේ සෙසු ජනතාවට ද ඒ සද්කාර්යයට සහභාගි විය හැකි සේ, ප්‍රසිද්ධ ස්‌ථානයකට ගෙනවිත් ගල් ගසා මරණ අන්දමේ දඬුවමක්‌ ක්‍රියාත්මක කළ හැකි නම් වඩාත් සුදුසු බව අපගේ හැඟීමය.

ඊනියා අහිංසාවාදීන් මෙයට විරුද්ධ වනු නිසැකය. කුඩු ජාවාරමුන් මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ අමු අමුවේ නො මරා මරන්නේ 'ගල් ගසා' නොව, 'කුඩු ගස්‌සවා' බව ඒ උදවිය සිහි තබා ගැනීම සුදුසු ය. මේ වන විට බොහෝ කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත් වුව ද, වැඩේ එතරම් 'සීරියස්‌' ලෙස ගන්නේ නැත්තේ ද මේ දඬුවම් ලබාදීමේ ක්‍රමයේ අඩුපාඩුව නිසා ය.

කුඩු ජාවාරම්කරුවන් 'ජයටම' බිස්‌නස්‌ ගොඩ දමාගන්නේ දේශපාලන අනුහසින් බව කිසිසේත් අමතක කළ යුතු නැත. පසුගිය කාලයේ හෙළිදරව් වූ කුඩු ජාවාරමුන් රැසකගේ නම් සමඟ දේශපාලනඥයන්ගේ නම් ගම් ද බැඳී තිබුණු බව කිව යුතු ය. 


ආසන්නම උදාහරණය ලෙස මීගමුවේදී අත්අඩංගුවට පත් කුඩු ජාවාරම් කරුවන් අතර පළාත් සභා මන්ත්‍රීවරයකු හා ආසන සංවිධායකවරයකුගෙ ගෝලයකු ද සිටිම ගෙනහැර දැක්‌විය හැක. 

ජනාධිපතිවරයා නොව ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධ වේදිකාවකදී ජනතාව කුල්මත් කරන ආකාරයේ කතා කිව හැකි ය. එහෙත් මේ දේශපාලන සබඳතාවන්ට ගත හැකි ප්‍රායෝගික නීතිමය ක්‍රියාමාර්ග කවරේ ද යන්න ද රටට හෙළි කළ යුතු ය. 

මන්ද මේ කුඩු කතාවල ඇත්තම කපටි මොළකාරයන් දේශපාලනඥයන් වන බැවිනි. කුඩු ජාවාරමුන්ට මරණ දඬුවම යන කතාවට ජනතාව 'හුරේ' දමන්නේ එවිට ය.
 
Related Posts with Thumbnails