Ads 468x60px

.

සියල්ල කුණු වී ඇති රටක පොලිසිය ගැන කවර කතාද?


"කෙල්ල කවුරුහරි කොල්ලෙක් එක්ක 
පැනල යන්න ඇති"

මේ, මෙගා ටෙලිනාට්‍යයක දෙබසක් නොව, උදෑසන පාසල කරා ගිය දියණිය පෙරළා නිවෙසට නොපැමිණීම නිසා පැමිණිලි කිරීමට ගිය මවුපියන්ට කයිට්ස් පොලිසිය දැක්වූ උපහාසාත්මක ප්‍රතිචාරයය. 


අවසානයේ පොලිසිය පැමිණිල්ල ලියාගෙන ඇත්තේද වාද - විවාද කිරීමෙන් පසුව ඕනෑවට එපාවටය. සමූහ දූෂණයට ලක්කර මරාදැමූ "විද්‍යා" නම් පාසල් දියණියගේ සිරුර පසුදා සොයාගනු ලැබුවේද ප්‍රදේශවාසීන් විසිනි. 

ඝාතනයට වගකිවයුතු යැයි සැක කළ කණ්ඩායමේ ප්‍රධානියා සොයා අල්ලාගෙන තිබුණේද ප්‍රදේශවාසීන් මිස පොලිසිය නොවේ. පොලිසිය කර තිබුණේ අල්ලාගත් සැකකරු දේශපාලන මැදිහත්වීම මත මුදා
හැරීමය. පසුව 'සැකකරු' වැල්ලවත්ත ප්‍රදේශයේ ලැගුම්හලක නතරවී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ අහම්බෙනි. 

විද්‍යා පාසල් දැරිය පිළිබඳ සිද්ධියේදී හරියට රාජකාරි නොකළ නිසා පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබුණද ප්‍රධාන වගඋත්තරකාරයා වූ යාපනයේ නියෝජ්‍ය පොලිස්පති තවමත් සුපුරුදු අසුනේ රාජකාරි කරමින් සිටින බවද මෙහිදී නොකියා නොහැකිය.

රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ ඉකුත් කාලයේ කාන්තා ඝාතන රැසක් සිදුවිය. ඒ අතර සිදුවූ ද්විත්ව ඝාතනයක විත්තිකරුවන් තිදෙනකු ඉකුත්දා අධිකරණයේදී නිදොස් කොට නිදහස් කෙරිණි. මේ අධිකරණ තීන්දුවට එරෙහිව කොටකෙතන ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයකද නිරත වූහ. 


එහෙත් නිදහස් කෙරුණු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරුන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පොලිසිය වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත්, නිර්දෝෂී පුද්ගලයන් නිරපරාදේ සැකකරුවන් බවට පත්කර නඩු පවරා ඇති බවත්ය. 

නඩුවක් පැවැරිය යුතු නිසා සැක කටයුතු කවුරුන් හෝ අත්අඩංගුවට ගෙන ව්‍යාජ සාක්කි සකසා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත්නම් එය බරපතළ කාරණයකි. අධිකරණය ලබාදී ඇති නඩු තීන්දුවට අනුව පෙනීයන්නේ පොලිසිය විශ්වසනීයත්වයෙන් තොර ආකාරයට කටයුතු කර ඇති බවය.

අනුරාධපුර විශේෂ මහාධිකරණය ඉකුත්දා උතුරු මැද නියෝජ්‍ය පොලිස් පතිවරයාට කළ නියෝගයකින් පොලිසියේ මෙවැනිම වගකීම් විරහිත හැසිරීමක් ගැන අනාවරණය වී ඇත. 


බාලවයස්කාර දැරියක අපයෝජනය කළ වරදට අධිකරණයෙන් අත්හිටුවූ සිර දඬුවම් ලබා සිටින විත්තිකරුවකු අදාළ දැරියට මරණ තර්ජන කර තිබේ. ඊට අදාළ පැමිණිල්ල මාස එකහමාරක් තිස්සේ තිරප්පනේ පොලිසිය විසින් විභාගයට ගැනීම පැහැරහැර ඇත. 

රාජකාරිය පැහැරහැරීමක් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබඳ ලිඛිතව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝගය කර ඇත.

මේ සියලු දෙයින් පෙනෙන්නේ අන් කිසිවක් නොව පොලිසියට මේ අපරාධ රැල්ල මැඬලීමට තබා ළමා අපයෝජනවලට එරෙහිව කටයුතු කිරීමේ වුවමනාවක් හෝ නොමැති බවය. 


කාට කාගෙන් හිරිහැර අතවර වුවද පොලිසියට ඒ කිසිවක දිග පළලක් නැත. "උස් තැන්වලදී හැකිළීමත් මිටි තැන් දුටු විට පිප්පීමත්" පොලිසියේ පිළිවෙතය. ඊට උතුර - දකුණ කියා වෙනසක් නැත. සියල්ල කුණු වී ඇති රටක පොලිසිය ගැන කවර කතාද?

දිගින් දිගට ලියා පලක් නැත. මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. නොපමාව පොලිස් කොමිසම බලාත්මක කිරීම අවශ්‍යය. ළමා අපයෝජන හා කාන්තා හිංසන සම්බන්ධයෙන් නඩු ඇසීමට විශේෂ අධිකරණයක් පිහිටුවීම අනෙක් පියවරය. 


වැරැදිකරුවන්ට ලබාදෙන සිර දඬුවම් අත්හිටුවීමේ නීතිය ඉවත් කර නීතිරීති දැඩි කිරීම අත්‍යවශ්‍යය. එවැනි පියවර ගැනීමෙන් තොරව මේ නරාවළෙන් සමාජය ගොඩගැනීම කළ නොහැකිය.

නරකාදිය ඉදිරියෙන් දෑස් පියාගෙන යෑමට උත්සාහ කරන්නෝ බොරුකාර කපටියෝ වෙති.
 
Related Posts with Thumbnails