Ads 468x60px

.

ජනතාවට ඉල ඇදෙන පොලිටිකල් ජෝක්‌ස්‌..!


ඊයේ පාර්ලිමේන්තුව රැස්‌විය. කථානායකවරයකු ද පත්කර ගත්තේය. දැන් ඇත්තේ ඇමැති මණ්‌ඩලය පත්කර ගැනීමය. තවමත් කොට උඩ තිබෙන්නේ එම ප්‍රශ්නයයි. 

ප්‍රශ්නයකට හේතුවක්‌ තිබිය යුතු මුත් ඇමැතිවරු පත් නොකිරීමේ ප්‍රශ්නයට නිශ්චිත හේතුවක්‌ කිසිවකු කියන්නේ නැත. මේ වන විට ජනතාවම ඒ ප්‍රශ්නයට විවිධ හේතූන් ඉදිරිපත් කරන බව උදේ සවස
කෝච්චියේ, බස්‌රථයේ කතාබහවලට ඇහුම්කන් දෙන්නෙකුට දැනගන්නට පිළිවන. 

මේ වන විට ඇමැති මණ්‌ඩලයේ ඒ ඒ අමාත්‍යවරුන්ට හිමි අමාත්‍යාංශ හා කාර්යභාරයන් තීරණය කරන්නේ ජනාධිපතිවරයාද, අගමැතිවරයාද නැතහොත් මාධ්‍යද, වෙබ් අඩවිද යන්න තෝරා බේරා ගන්නට නොහැකි තරමට තත්ත්වය අවුල් සහගත වී ඇති බවක්‌ පෙනේ. 

කිහිප වරක්‌ම කල් ගිය ඇමැති කූට්‌ටම ඇනීමේ සෙල්ලම යළිත් එළැඹෙන හතරවැනිදාට ක්‍රියාත්මක කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.

ඇමැතිකම් බෙදාගැනීම මේ තරමට ජංජාලයක්‌ වීමට හේතුව තනතුරු ප්‍රශ්නය බව පැහැදිලිය. ප්‍රධාන පක්‍ෂ දෙකම දැන් කඹ අදිමින් සිටින්නේ තමන්ට තනිවම ආණ්‌ඩුවක්‌ හැදීමට ඇති හැකියාව ගැන පුරසාරම් දොඩවමින් බව පෙනෙන්නට තිබේ. 


ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා මේ දෙපාර්ශ්වයම එකඟ වී සිටින්නේ මේ පුරාඡේරු කතා මැදය. ජනතාවට යම් තරමක හෝ විශ්වාසයක්‌ ඉතිරිව තිබෙන්නේද ඒ නිසාය. එහෙත් මේ කේවල් කිරීම තවදුරටත් සිදු වේ නම් ජනතාව අතරින් ප්‍රබල විරෝධතාවක්‌ මතුවීම වැළක්‌විය නොහැක.

ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා එකඟ වන්නේ රටේ මහා පක්‍ෂ දෙකය. ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ අරමුණ ද රට හදන, ජනතාවට සෙත සලසන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමය. එහිදී රටේ ජනතාවට වඩා වැදගත් වන්නේ තමන්ගේ කතිරයෙන් පාර්ලිමේන්තුවට ගිය ජනතා නියෝජිතයාගේ ඇමැතිකමේ බරසාරකම නොවේ. 


ජනතාවට වැදගත් වන්නේ ජනතාව වෙනුවෙන් පක්‍ෂ දෙකම එකතුව ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කවරක්‌ද යන්නයි.

දින සියයේ වැඩපිළිවෙළේදී ද ජාතික ආණ්‌ඩු සංකල්පය අනුව වැඩ කටයුතු කෙරිණි. එහි අවසන් දින කිහිපයේදී ද මේ අඳ බාල(ගිරි) දෝෂය දකින්නට ලැබිණි. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කරගත්තේ අමාරුවෙනි. 


20 සම්මත කරගැනීම දවසින් දවස කල්ගොස්‌ නොකෙරෙන තැනටම පත්විය. රටට බොහෝ සෙයින් වැදගත් වන පනත් බොහොමයක්‌ සම්මත කරගැනීමට හැකියාවක්‌ නොලැබිණි. මේ මොහොතේ මතුව තිබෙන්නේ ද ඒ පැරණි තත්ත්වයම බව පැහැදිලිය.

ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කීවේ, මේ ආණ්‌ඩුව "සම්මුතිවාදී සන්ධානයක්‌" බවය. සම්මුතියක්‌ ඇති තැනක බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් පැනනගින පරස්‌පරතා අමාරුම තැනකට නොයා විස¹ ගැනීමට හැකියාව ඇත. ඇමැති තනතුරු බෙදාගැනීම ජාතික ආණ්‌ඩුව ජාති(ක) ප්‍රශ්නයක්‌ කරගන්නේ එවැනි තත්ත්වයක්‌ තුළය.

හතරවැනිදාට දිවුරුම් දීමට නියමිත යෑයි කියන ඇමැති මණ්‌ඩලය ගැන ද තවමත් නිවැරැදි තොරතුරක්‌ නැත. ජාතික ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය 19 වැනි ව්‍යවස්‌ථාවෙන් ප්‍රකාශිත ප්‍රමාණයට වඩා වැඩි වන නිසා ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවා අනුමැතිය ලබාගත් පසුව ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට නියමිත බව "කල් දැමීමට" හේතුව ලෙස ඉදිරිපත් කර තිබිණි.

එජාපය මාධ්‍යයට කියන පරිදි අවශ්‍ය නම් තමන්ට තනිව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට හැකියාව තිබේ. තවත් පිරිසකගේ සහාය ලබාගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ද ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකි බව එහි වගකිව යුතු අය තීරණාත්මක ලෙස කියන්නේය. 


ජාතික ආණ්‌ඩු එකඟතාව තුළ ද දෙපාර්ශ්වයම නිල නොවන මට්‌ටමේ ප්‍රකාශ නිකුත් කරන්නේ නිකම්ම නොවන බව පැහැදිලිය. ජාතික ආණ්‌ඩුවක්‌ (හවුල් ආණ්‌ඩුවක්‌) පිහිටුවීමේදී වුව තම තමන්ගේ පාර්ශ්වයනට හිමිවිය යුතු බලය පිළිබඳව මේ නිල නොවන "කොකු" ඉඟි කරයි. මේ සියල්ල ජනතාවට ඉල ඇදෙන පොලිටිකල් ජෝක්‌ස්‌ය. 

එහෙත් එයින් ලැබෙන්නේ විනෝදයක්‌ නොව සමස්‌ත දේශපාලනය ගැන කලකිරීමකි. ජනතාවගේ පාර්ශ්වයේ සිට ලියන අප කල්පනා කරන්නේ, මේ පොඩි අවුල අනාගතයේ ජාතික ආණ්‌ඩුවේ විශාල අර්බුද ඇතිකරන්නට වුව හැකියාවක්‌ ඇති ගැටලුවක්‌ බවය.

ඒ නිසා හවුල අවුලක්‌ වීමට පෙර ඉක්‌මනින්ම සැබෑ "එකඟතාවකට" එළැඹීම යහපත් බව අපේ විශ්වාසයයි.
 
Related Posts with Thumbnails