Ads 468x60px

.

විපක්ෂ නායක ධුරය දරන ආර්.සම්බන්ධන්


8 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ට හිමි වී ඇත. ටී.එන්.ඒ. සභාපති ත්‍රි'මල දිස්ත්‍රික් මන්ත්‍රි ආර්. සම්පන්දන් නව විපක්ෂ නායකයා ලෙස පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

ඒ අනුව, දින ගණනක් පැවැති 'විපක්ෂ නායක' ධුරය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වී ඇත. විපක්ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ආසන 16ක් නියෝජනය කරයි. 

ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රි ධුර 6කි. මන්ත්‍රි ධුර 95ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමි කරගත්
එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවකට යෑම නිසා විපක්ෂ නායක ධුරයට හිමිකම් කීමට තිබූ අවස්ථාව අහිමි කරගත්තේය.

ශ්‍රීලනිපය හැර නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂවලට දිනාගැනීමට හැකිවී ඇත්තේ මන්ත්‍රි ධුර 14ක් පමණි. ජාතික ආණ්ඩුවට එකඟ නොවන, හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඒ මන්ත්‍රිවරුන් 14 දෙනා සමඟ 'නිදහස් සන්ධානය ලෙස විපක්ෂයේ' අසුන් ගැනීමට තීරණය කර ඇත. 


මේ 'මන්ත්‍රි පිරිස' එකතුවී විපක්ෂ නායක ධුරය තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද, ජනාධිපතිවරයා ඊට මැදිහත් නොවීම ප්‍රශංසා කටයුතුය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් දැක්වූවා නම් එය දේශපාලන සදාචාරය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසීමක් ලෙස සැලැකීමට සිදුවේ.

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විපක්ෂ නායක තෝරා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් සඳහන් නොවීම නිසා 'සම්ප්‍රදායට' හා 'ව්‍යවහාරයට' අනුව යමින් කළ මේ තෝරා ගැනීම අතිශය නිවැරැදිය; කාලානුරූපය; සබුද්ධිකය. 1977 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම්ටය. 


80 දශකය ආරම්භය වන විටත් උතුරේ 'ඊළාම්වාදීන්' සංවිධානය වෙමින් සිටි අතර 'විපක්ෂ නායක' ධුරයට හිමි වරප්‍රසාදවලට මුවාවෙමින් ඊළාම්වාදීන් පෝෂණය කරන බවට ප්‍රබල චෝදනාවක් දකුණේ ජාතිවාදීන්ගෙන් හා අන්තවාදීන්ගෙන් එල්ල විණි. මේ අතර මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට විපක්ෂ නායකයකුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂය කටයුතු කළේය.

කෙසේ වුවද 1983 ජූලි දෙමළ සංහාරයට විරෝධය පළ කරමින් මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර රට බෙදීමට සහාය නොදෙන බවටත්, ඒකීය රාජ්‍යය ආරක්ෂා කරන බවටත් සියලුම මන්ත්‍රි වරුන් විශේෂ දිවුරුමක් ලබා දිය යුතු යැයි ආණ්ඩුව නියෝග කළේය. 


අවසානයේ මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා මන්ත්‍රි වරුන්ගේ ආසන අහෝසි වී ගියේය. ඒ කිසිදු ආසනයකට අතුරු මැතිවරණ නොපැවැත්වීමද විශේෂත්වයකි. ඉන් සිදුවූයේ මධ්‍යස්ථ දෙමළ නියෝජිතයන් සිටි ස්ථානය දෙමළ අන්තවාදී ඊළාම්වාදීන්ට හිමි වීමය.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට විපක්ෂ නායක ධුරයත්, මන්ත්‍රි ධුරත් අහිමිවන තැනට වැඩ කළ එජාපය විපක්ෂ නායක ධුරය යළි උතුර නැඟෙනහිර නියෝජනය කරන දෙමළ මන්ත්‍රිවරයකුට ලබාදීමට මැදිහත් වීමෙන් එදා කළ වරද නිවැරැදි කරගෙන ඇත.


දෙතැනක ජීවත් වුවද, භාෂා දෙකක් කතා කළද, එක සමාන ප්‍රශ්නවලින් පීඩාවට පත්වන සිංහල ජාතිය හා දෙමළ ජාතිය එකිනෙකාගේ 'සතුරා' ලෙස වෙස් ගැන්වූ සිංහල - දෙමළ 'ජාතිවාදීන් හා අන්තවාදීන්' තිරශ්චීන යුද්ධයකට රට ඇද දැමුවේය. ඉන් සිදුවූ හානිය අතිමහත්ය. 


සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ඉන් දුකට, වේදනාවට හා විනාශයට පත් වූහ. එහෙත් සිංහල මෙන්ම දෙමළ අන්තවාදීන්ගේ, ජාතිවාදීන්ගේ හා අවස්ථාවාදීන්ගේ වෑයම වී ඇත්තේ නිවා දැමූ ගින්නේ ඉතිරි වූ අළු යට ඇති ගිනි පුළිඟු යළි අවුළුවාලීමටය.

මෙවර මහ මැතිවරණයේදී සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිවාදී අන්ත වාදීන්ට 'ඡන්දය' ලබා නොදීමෙන් ඒ උත්සාහය එක හෙළාම බැහැර කිරීමට උතුරේ මෙන්ම දකුණේ බහුතර ජනතාව පියවර ගෙන ඇත. 


දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබාදීම දෙමළ ජාතිවාදී අන්තවාදීන්ට උඩගෙඩි දීමක් යැයි පැවැසීම ජාතිවාදය හා අන්තවාදය ප්‍රතික්ෂේප කළ බහුතර දෙමළ ජනතාව හෑල්ලුවට ලක් කිරීමකි.

කෙසේ වුවද මේ රටේ සත්‍යගරුක, යුක්තිගරුක ජනතාව අපේක්ෂා කළ පරිදිම විපක්ෂ නායක පුටුවේ අසුන් ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන්ට හැකි වී ඇත. 


පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට පමණක් දෙවැනි වන රටක 'දෙවැනි අගමැති' ලෙස සැලැකෙන විපක්ෂ නායක ධුරයේ අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව ආර්. සම්පන්දන් මහතා කටයුතු කරනු ඇතැයි සියලුදෙනාගේ අපේක්ෂාවයි. 

සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ සාධනීය දේට පූර්ණ සහාය දීමත්, නිශේධනීය දේ සහෝදරත්වයෙන් පෙන්වා දී වැරැදි නිවැරැදි කරගැනීමට උපකාර කිරීමත් 8 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂයට පැවැරෙන ඓතිහාසික වගකීමය. 

රටකට බලපෑම් කළ හැකි විපක්ෂ නායක ධුරය දරන්නා ලෙස දෙමළ පමණක් නොව මුස්ලිම් ඇතුළු සුළු ජාතීන්වද විපක්ෂයේ ජවිපෙ හා නිදහස් සන්ධානය නියෝජනය කරන කොටස්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ආර්. සම්පන්දන් මහතා නොසලකා, නොහැරිය යුත්තකි.

සිංහල ස්වෝත්තමවාදය, අන්තවාදී ජාතිකවාදය, ඊනියා දේශප්‍රේමය පසෙක දමා විපක්ෂයේ නායකත්වය පිළිගෙන සම්මුතිවාදී ආණ්ඩුවට රට පෙරට රැගෙන යෑමට උදවු කරනවාද? නැද්ද? යන්න 'නිදහස් සන්ධාන' මන්ත්‍රිවරුන් පිරිස නොපමාව තීරණය කළ යුතුය. 


විපක්ෂ නායක ආර්. සම්පන්ධන් හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කළ යුත්තේ විපක්ෂ මන්ත්‍රි කණ්ඩායම සමඟ එක්ව සම්මුතිවාදී ආණ්ඩුවට මඟපෙන්වන විසම්මුතිවාදී විපක්ෂයක් ලෙස වැඩ කිරීමය.
 
Related Posts with Thumbnails