Ads 468x60px

.

'අනතුර නිසා සුක්කානම ගැල වී යා නොහැකියි' තාජුදීන්ගේ මෝටර් රථය ගැන විශ්ලේෂණ වාර්තාව


රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුදීන් සමග පිළිස්සුණු KQ-6543 දරන මෝටර් රථය ගින්නෙන් බරපතල ලෙස පිළිස්සී ඇති බැවින් එම ගිනි ගැනීම ගැටීමක් හේතුවෙන් ඇති වූ එකක් දැයි යන්න සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි බවට ටොයෝටා ලංකා සමාගමේ
මූලස්ථාන කාර්මික උපදේශක ඩබ්ලිව්.එල්. විල්සන් පෙරේරා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

අදාල සමාගම විසින් පසුගිය 01 වැනිදා මෙම ලිපිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ වසීම් තාජුදීන් සමග පිළිස්සීමට ලක් වූ රථය සම්බන්ධයෙන් හා එම අනතුර පිළිබඳ විශ්ලේෂණයක් සිදු කර වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ලෙස අධිකරණය විසින් ඉකුත් 14 වැනි දා අදාල සමාගම වෙත නිකුත් කළ නියෝගයට අනුව ය.

මෙම අනතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අසා තිබූ ප්‍රශ්න මාලාව සඳහා එම ආයතනය මගින් පිළිතුරු ලබාදීම සිදු කර ඇති අතර, රිය අනතුරින් මෙම මෝටර් රථයේ ඉදිරිපස කොටස, දකුණු පස හා වම් පස බඳ කොටස හා වාහනයේ යටි පැත්තේ කොටස්වලට තැලීම්, ඇදවීම් හා කැඩී යාම් සිදු වී ඇතැයි ද සඳහන් කර ඇත.

එසේම මෝටර් රථයේ ඇතුළත කොටස් සම්පූර්ණයෙන් ම දැවී ගොස් ඇති බැවින් අනතුර හේතුවෙන් රියැදුරුට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ මතයක් ප්‍රකාශ කළ නොහැකි බව ද ටොයෝටා සමාගමේ මූලස්ථාන කාර්මික උපදේශක ඩබ්ලිව්.එල්. විල්සන් පෙරේරා මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මෙම අනතුර හේතුවෙන් රථයේ සුක්කානම ගැල වී යා නොහැකි අතර රථය ගිනි ගැනීම නිසා ඇති වූ තාපය හේතුවෙන් සුක්කානම උණු වී හැලී ගොස් ඇති බව පෙනී යන බව ද එම ලිපියෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

එසේම ඉදිරිපස හා පසුපස රෝදවලට හානි සිදු වී ඇති බවත් ගිනි ගැනීම හේතුවෙන් වාහනයේ ඇතුළත හා පිටත පිළිස්සී යා හැකි බොහෝ කොටස් පිළිස්සී ඇති අතර ඇතැම් ලෝහ කොටස් අධික තාපය නිසා උණු වී හැලි ගොස් ඇති බවත් එහි සඳහන් කර තිබේ.

මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගැනීමට ලක් ව ඇති බැවින් හා එහි ඇතුළත වානේ ලෝහ කොටස් හැර අනෙක් අලෝහ කොටස් හා මිශ්‍ර ලෝහ කොටස් සම්පූර්ණයෙන්ම පාහේ උණු වී හැලී ගොස් ඇති බැවින් ද, දීර්ඝ කාලයක් තුළ පාරිසරික හේතූන්ට භාජනයවීම නිසා රථයේ ඉතිරිව ඇති කොටස් මළ බැඳිමකට ලක් ව ඇති බැවින් ද ඉහත කරුණුවලට අමතරව වෙනත් මතයක් ප්‍රකාශ කළ නොහැකි බව ද මෙහි දී එම ලිපියෙන් අදාල සමාගම අධිකරණයට දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සපයා දී තිබූ ලියාපදිංචි සහතිකයේ ස්කෑන් පිටපත් විස්තර අනුව එය ටොයෝටා විට්ස් වාහනයක් බව පෙනී යන අතර එම වාහනය තම ආයතනය විසින් ආනයනය කර ලියාපදිංචි අයිතිකරුට හෝ පෙර ලියාපදිංචි අයිතිකරුවන්ට හෝ විකුණන ලද වාහනයක් නොවන බව ද එම ලිපියේ සඳහන් ය.

ලියාපදිංචි සහතිකය අනුව මෙම වාහනය රීක්න්ඩිෂන් හෝ පාවිච්චි කළ වාහනයක් ලෙස ආනයනය කළ වාහනයක් බව පෙනී යන බව ද මෙම මාදිලියේ වාහන තම ආයතනය විසින් සෘජු ව ආනයනය නොකරන බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
 
Related Posts with Thumbnails