Ads 468x60px

.

කිරි අම්මාට කළ සාහසික අපරාධයක්‌

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ගව ගාලක සිටි දින කිහිපයකට පෙර පැටවකු බිහි කළ කිරි එළදෙනගේ තන බුරුල්ල කපා දමා ඇති කිසියම් පිරිසක්‌ එහි බැඳ සිටි ගවයකුගේ පාදයක්‌ද මන්නයකින් කපා දමා පලාගොස්‌ තිබේ. සීදුව "ලයන් සිටි" නිවාස සංකීර්ණය ඉදිරිපිට මුතුරාජවෙල දෙසට විහිද ඇති මාර්ගයේ නිවෙස්‌ හිමියකුට අයත් ගව ගාලක බැඳ සිටි කිරි වැස්‌සියකුට හා ගවයකුට මෙම තිරිසන් ප්‍රහාරය එල්ල කර ඇත.

එහෙත් මෙම සිද්ධිය පිළිබඳ මෙතෙක්‌ කිසිදු පැමිණිල්ලක්‌ තමන් වෙත ලැබී නැතැයි අප කළ විමසීමකදී මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ සීදුව පොලිසියේ නිලධාරියෙක්‌ පැවැසීය.

ගව ගාල හිමියා එම සිද්ධිය මේ අයුරින් වසන් කරගෙන සිටීම මවිතයට කරුණක්‌ බව ඒ පිළිබඳව තතුදන්නා පිරිස්‌ පවසති.

මේ සම්බන්ධව අප කළ විමසීමකදී එම ගවගාල ඉදිරිපිට පිහිටි නිවසකට ඉකුත් දිනෙක රාත්‍රියේ ඇතුළු වූ සොර කණ්‌ඩායමක්‌ පසුව ගව ගාලේ සැඟව සිටීමට යැමේදී ගවයන් කලබල වීම නිසා එම සොරුන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර ඇතැයි ඒ අවට ප්‍රදේශවාසීහු පිරිසක්‌ පැවැසූහ.

සොරකමේ පැමිණි සොරුන් රැගෙන ආ මන්නා ඇතුළු තියුණු අවිවලින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි ද ඔවුහු සඳහන් කළහ.

එහෙත් එම ප්‍රකාශය කළ කිසිවකුත් සොර කණ්‌ඩායමක්‌ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කරනු සියෑසින් දැක නොතිබිණි.

මේ වන විට සීදුව ප්‍රදේශයේ සිදුවන සොරකම් හා කොල්ලකෑම් දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර එසේ සැරිසරන සොර කණ්‌ඩායම් මන්නා ආදී තියුණු අවි රැගෙන එන බවට මෙම සිද්ධියත් සමඟ කියෑවෙන්නට වීම නිසා ප්‍රදේශය පුරා භීතියක්‌ පැතිර යැමට ද පටන්ගෙන ඇත.
 
Related Posts with Thumbnails